Header Ads

ජනපතිගෙන් ස්වාධීන පරීක්ෂණයක්


අලුත්ගම සිදුවූ ගැටුම් පිටුපස ලොකු දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, මේ පිළිබඳ පූර්ණ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන් වන අයට ජාති, ආගම්, බේදවලින් තොරව දඬුවම් පමුණුවන බවත්, ඒ සඳහා භික්‍ෂුන් වහන්සේ ඇතුළු බෞද්ධ ජනයා,
මව්ලවිතුමන්ලා ඇතුළු මුස්ලිම් ජාතිකයනුත් විරුද්ධ නොවනු ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බේරුවලදී පැවැසීය.


අලුත්ගම හා ධර්ගා නගරය යන ප්‍රදේශයන්හි සිදුවූ ගැටුම්කාරී තත්ත්වය විමසා බලා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අතර එහි ශ්‍රවණාගාරයේදී භික්‍ෂුන් වහන්සේ, මුස්ලිම් ආගමික නායකයන්, දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්විණි.




එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. 'රටකට පොලිසි තියෙන්නේ සිවිල් නීතිය රැකීමටයි. පොලිසියට අදාළ නීතිය එයයි. ජිනීවාවල එක චෝදනාවක් වුණේ රතුපස්වල සිදුවීමයි. එහිදී මැරුණේ සිංහල තරුණයෙක්. හමුදාව එතැනට යවන්නේ අවසාන මොහොතේදී අසීරුම අවස්ථාවකයි.
අන්තර්ජාලය කියනවා සේරටම වගකිවයුත්තේ මමයි කියලා. කාටවත් ගහන්න, දේපොළවලට හානි කරන්න අපට ඉඩ දෙන්න බැහැ. කටකතා පතුරුවන්න දෙන්නත් බැහැ. ඒක භයානකයි. සාධාරණ රජයක් හැටියට රටේ විනාශයක් ඇතිවීමට අපට ඉඩදෙන්න බැහැ.
මෙතැන සහභාගි වී සිටින දෙපැත්තෙන්ම කියැවෙන්නේ එකම අදහසක්. කවුරුහරි එක්කෙනෙක්, දෙන්නෙක් ඇතුළේ ඉඳගෙන මේවාට උසිගන්වනවා. පෝයදා හාමුදුරු නමකට සිද්ධියක් වුණා නම් ඒක ඇවිළෙනවා. ඊයේ නාරාහේන්පිට සියලු ආගමික නායකයන්ගේ සාකච්ඡාවක් තිබුණා. එහිදී මහා සංඝරත්නයේ, කාදිනල්තුමන්ලාගේ, මවුලවිතුමන්ලාගේ අදහස වුණේ සාමය රැකීමයි.




මේක ඉක්මනින්ම සමථයකට පත්කළ යුතුයි. හෙට දිනයේ ලංකාව පුරා යම් දෙයක් පැවැත්වීමේ ආරංචි තිබෙනවා. මේවා නතර කළ යුතුයි. මේක මෙතැනින්ම නතර කළ යුතුයි. දිගින් දිගටම පවත්වාගෙන යනවා නම් ඒකට හයියක් තිබිය යුතුයි. නීතියට අනුව ක්‍රියා කිරීමට අප පසුබසින්නේ නෑ. හමුදාව හැමදාම මෙහෙම තියන්නත් බෑ. ජනතාව අතරේ සංහිඳියාවක් තිබිය යුතුයි.
පොලිසිය මේවාට මැදිහත් වී බැරි වුණොත් හමුදාවත් එන්න සූදානම්. මෙතැන සිටින හැමදෙනාටම සාමය අවශ්‍ය වී ඇති බව පේනවා. තමන්ගේ අනුගාමිකයන් පාලනය කිරීමට මුස්ලිම් නායකයනුත්, පන්සල්වල දායක පිරිස් පාලනය කිරීමට මහා සංඝරත්නයත් කටයුතු කරනවා නම් මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබෙනු නිසැකයි.




පොලිසිය මෙහිදී නීතිමය කටයුතු කරයි. අඹේපිටිය පැත්තේ ජනතාව යන්න බය ගමක් තියෙනවා. ඒ ගමේ ආරක්‍ෂාවට හමුදාව යොදා තිබෙනවා විනාශ වූ නිවාස සියල්ලමත්, කඩ සාප්පු සියල්ලත්, ත්‍රිවිධ හමුදාව යොදා සාදා දෙනවා. පොලිසිය මඟින් වාර්තා ලබාගෙන කටයුතු කරනවා. පෝ දා සිද්ධියට අදාළ පන්සලටත් ආරක්‍ෂාව ලබා දෙනවා.
මම බේරුවලට එන්නේ 1968 ඉඳල. මේ බෞද්ධ මධ්‍යස්ථානයටත්, මගේ මිතුරන්ගේ ගෙවල්වලටත් මම එනවා.
මම මේ පැත්ත ගැන හොඳට දන්නවා. මීට පස්සේ මොකක් හරි වුණොත් මම බලාගන්නම්. තමන්ගේ ගෙවල්වලට ගිහින් ඉන්න හැකි අය ඒවායේ පදිංචි වෙන්න. ඒවාට ආරක්‍ෂාව දෙන්නම්. අනෙක් ඒවා සාදවා දෙන්නම්. මම මේ ලංකාවට ආපු ගමන්ම ආවේ. කිසි කෙනකුට අසාධාරණයක් නොවන විදියට මම මේක විසඳනවා."


කොටපිටිය සුදර්ශනාරාමාධිපති, අන්දාගොඩ පුඤ්ඤානන්ද, බේරුවල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි, මොරගල්ලේ ආරියවිමල හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයත්, මවුලවිතුමන්ලා ඇතුළු මුස්ලිම් නායකයනුත්, අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා මර්වින් සිල්වා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, යුද හමුදාපති ජගත් ජයසූරිය, පොලිස්පති එම්. කේ. ඉලංගකෝන්, කළුතර මහ දිසාපති යූ. ඩී. සී. ජයලාල් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.