Header Ads

මුළු ඉතාලියම හෙල්ලූ ලාංකික මැරයෝ

වසර කිහිපයක්‌ තිස්‌සේ කප්පම් ගැනීම්, මංකොල්ල කෑම්, පහරදීම් ජනතාව බිය වැද්දීම් ඇතුළු මැර ක්‍රියාවන්වල නිරතව සිටි මැර කල්ලියක්‌ පසුගියදා ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් කවුදැයි මේ වන විට අන්තර්ජාලය හරහා මුළු ලොවම දැනගෙන හමාරය. එහෙත් ඔවුන් කවුදැයි
කියන්නටත්, ලියන්නටත් නොහැකි තරමට අප ලැඡ්ජාවිය යුතුය. මන්ද යත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වීමය.
දෙලක්‍ෂ හතළිස්‌ දහසක පමණ ජනගහනයක්‌ සුවසේ ජීවත් වන ඉතාලියේ සිසිලි දූපතේ මෙස්‌සිනා නුවර සිදුකළ මෙහෙයුමකදී මෙම මැර කල්ලිය අත්අඩංගුවට ගැනීමට ඉතාලි පොලිසිය සමත් වී තිබේ. අත්අඩංගුවට පත් මැර කල්ලිය පුද්ගලයන් 8 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන් අට දෙනාම ශ්‍රී ලාංකිකයන් වීම බරපතළ ලැඡ්ජාවට කරුණකි.
මොවුන් පිළිබඳව ඉතාලි පොලිසියට මුල්වරට හෝඩුවාවක්‌ ලැබී ඇත්තේ 2011 වසරේදීය. එතැන් පටන් ඉතාලි පොලිසිය ඔවුන් පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි. මෙස්‌සිනා නගරයේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්‌ මහත් පරිශ්‍රමයකින් තම ආදායම් උත්පාදනය කර ගනිමින් ජීවත් වන අතර කාර්යබහුල ජීවිත ද ගත කරනු ලබති. මෙම මැරවර ශ්‍රී ලාංකික කල්ලියේ පහරකෑම්, මංකොල්ල කෑම්වලින් වැඩිපුරම පීඩාවට පත් වන්නේ මෙස්‌සිනා නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්මය.
එක්‌ අවස්‌ථාවක මෙම කල්ලියේ සාමාජිකයන් විසින් මෙස්‌සිනා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයකුට බරපතළ ලෙස පහරදී ඔහුගේ කරෙහි වූ රුපියල් ලක්‍ෂයක්‌ පමණ වටිනා රන් මාලයක්‌ බලෙන් උදුරාගෙන තිබිණි. ඒ 2011 වසරේදීය. යළිත් 2012 වසරේ ඔක්‌තෝබර් මාසයේ එක්‌තරා දිනකදී මෙම මැරයන් එම පුද්ගලයාවම හමු වී යකඩ දම්වැල්, බයිසිකල් ෙච්න්, කැඩුණු බෝතල් ආදිය ගෙන එයින් පහර පිට පහර එල්ල කරමින් ඔහු සතුව තිබූ පෞද්ගලික ලියකියවිලි සමග යූරෝ 400 ක මුදලක්‌ ද බලහත්කාරයෙන් ලබාගෙන තිබිණි. මෙම පහරකෑමෙන් එම පුද්ගලයා බරපතළ ලෙස තුවාල ලැබීය. ඔහු මාස ගණනක්‌ තිස්‌සේ එම තුවාලවලින් පීඩා විඳි අතර ප්‍රතිකාර ද ලැබීය. ඒ හේතුවෙන් ඔහුගේ දෛනික කටයුතු ද අඩාල වී තිබිණි.
පසුගිය වසරේ මැයි මාසයේ දිනක යළිත් මෙම ශ්‍රී ලාංකික මැර කල්ලියේ ප්‍රබලයන් දෙදෙනකු මෙස්‌සිනා නගරයේම වෙසෙන ශ්‍රී ලාංකිකයකුගේ නිවසට කඩා වැදී එම නිවැසියාට පහර දෙන්නට පටන් ගෙන ඇත. එම නිවස මංකොල්ල කෑම සඳහා පැමිණි මැරයන් දෙදෙනා ඒ අවස්‌ථාවේදීම ඉතාලි පොලිසියට ලැබුණු හෝඩුවාවක්‌ අනුව අත්අඩංගුවට ගැනිsණි. මෙම ශ්‍රී ලාංකික මැර කල්ලියේ අට දෙනකු මේ වන විට ඉතාලි පොලිස්‌ අත්අඩංගුවේ සිටින අතර ඔවුන් උසාවියට ඉදිරිපත් කර නිසි දඬුවම් ලබාදීමට නියමිතය. මෙම කල්ලියට සම්බන්ධ තවත් සාමාජිකයන් සිටින බවට තොරතුරු ඉතාලි පොලිසිය සතුව ඇති අතර ඔවුන් ද කඩිනමින් අත්අඩංගුවට ගනු ඇතැයි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්‍ෂාව වේ.
වසර ගණනක්‌ තම මවුබිමෙන් ඈත්ව මහත් සේ දුක්‌ පීඩා විඳිමින් නොයෙකුත් උත්සාහයන් දරා දිවා රාත්‍රි වෙහෙසී ඉපයූ මුදල් හා දේපළ මෙසේ තමන්ගේම උපන් බිමෙන් පැමිණි පාදඩයන් පිරිසක්‌ විසින්ම බලහත්කාරයෙන් පැහැරගනු ලැබීම කෙතරම් බරපතළ තත්ත්වයක්‌ද…. වෙනත් ජාතීන් නම් වෙනත් රටකදී තම රටවැසියන් වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබාදෙන නමුත් අපේම මිනිසුන් අපේම මිනිසුන් උදෙසා සිදුකරන මෙවැනි පාදඩ ක්‍රියා හේතුවෙන් මුළු ලොවටම ශ්‍රී ලාංකික යන නාමය කැළලක්‌ වනු ඇත. ලෝකයේ කොතැනක හෝ සිදුවන වංචාවක්‌, දූෂණයක්‌ වේ නම් එතැනට ශ්‍රී ලාංකිකයකුද සම්බන්ධව ඇතැයි යන්න ජනප්‍රිය කතාවකි. මෙවැනි සිදුවීම්වලින් ඒ බව තහවුරු කෙරෙනු ඇත. පසුගිය කාලයේ විටින් විට විවිධ රටවලින් දැනගන්නට ලැබුණු ක්‍රෙඩිට්‌ කාඩ් වංචා, නීති විරෝධී නොයෙකුත් ක්‍රියාකාරකම් කෙරෙහි ශ්‍රී ලාංකික පුද්ගලයන් සම්බන්ධ වී තිබිණි.
ලෝකයේ නම රැන්දූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන්, නිර්මාණ ශිල්පීන්, වීරයන්, ක්‍රීඩකයන් බොහෝ දෙනකු ඈත අතීතයේ පටන් මෑත කාලයේ ද සිටින නමුත් මෙවැනි සමාජ විරෝධී සමාජ දූෂිත ක්‍රියාවන්ගෙන් ශ්‍රී ලාංකික නාමයට බරපතළ ලෙස හානි කරන්නා වූ අධමයන් ද මේ සිරිලක්‌ දෙරණේ උපත ලැබීම සැබැවින්ම මාතෘ භූමියේ ශෝකාලාපය ද වන්නේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.