Header Ads

තම මව සැනසීමට ඇය පවුලක් මිලදී ගත්තාය

අද වන විට හතළිස්  දෙවන වියේ පසුවන සුසන්ගෙ ‘The playing house project - Life once Removed’  නම් වූ මෙම ඡායාරූප එකතුව සඳහා සිය පවු‍ලේ සාමාජිකයින් ලෙස ඇය යොදාගෙන ඇත්තේ මිනිස් අනුරූය. 

විවාහ යෝජනා කිරීම, විවාහය, පවු‍ලේ විනෝද ගමන් යනාදී
පවුල් ජීවිතයේ විවිධ අවස්ථා හා සිදුවීම් නිරූපණය කරනු ලබන මෙම ඡායාරූප එකතුවේ පෙනී සිටින එකම පණ ඇති පුද්ගලයා වනුයේ සුසන්ය.

තමාගේ වයසේ පසුවන්නා වූ සෑම තරුණියකම විවාහ වියයුතුම බවට සමාජයේ වන පිළිගැනීම නිසාවෙන්  ඉමහත් පීඩනයට පත්ව එබඳු ඉරණමකට ලක් වූ තමා පමණක් නොව තමා වැනිම වූ සෙසු තරුණියන් කෙරෙහිද අනුකම්පා සහගත වූ සුසන්ට අවශ්‍ය වූයේ සමාජයේ මුල්බැසගත් සම්ප්‍රදායික අදහස් අභියෝගයට මෙන්ම  උපහාසයටද ලක් කිරීමයි. 

ඇගේ මවගේද නිරන්තර පැතුම වූයේ සිය දියණිය විවාහ වී පවුල් දිවියක් ඇරඹීම වුවද ඒ බව සිහිපත් කළ හැම විටකම සුසන්ගේ පිළිතුර වී තිබුණේ වෙළෙඳ සලකට ගොස් බඩුවක් මිලදී ගන්නාක් මෙන් තමාට පවුලක් මිලදී ගත නොහැකි බවයි. නමුත් අවසානයේදී ඇගේ විකල්ප තේරීම වන ලද්දේද එයය. එනම් රූකඩ පවුලක් මිලදී ගැනීමයි. මිලදී ගත්තා පමණක් නොව ඇය ඔවුන් සමග ගත කරන එදිනෙදා ජීවිතයේ අවස්ථා ඡායාරූප ගත කළාය.



නිව්යෝක් නුවර මෝර්මන් ආගමිකයෙකු ලෙස හැඳී වැඩුණු සුසන්ට කාන්තාවකගෙන් සමාජය අපේක්ෂා කරන සාම්ප්‍රදායික බිරියකගේ හා මවකගේ වගකීම් පිළිබඳව මුල්වරට අත්දැකීම් ලැබුණේද මෝර්මන් ධර්මයෙනි. සිය සමීපතමයන්ගේ පමණක් නොව ඇය හැදී වැඩුණු සංස්කෘතිය වෙතින්ද මෙම සම්ප්‍රදායික රාමුවට කොටු වීමට එල්ල වූ පීඩනය දරාගත නොහැකි වූ තැන සුසන් ව්‍යාජ පවුල් ජීවිතයක්  මවා පෙන්වීමට තැත් කළාය. 



ආරම්භයේදී සිය නිවෙස ආශ්‍රිතව ඡායාරූප ගැනීම සිදු කළද පසුව ප්‍රසිද්ධ ස්ථානවලදීද ඇය සිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ එවැනි දෑ දකින්නන් පත්වන කම්පනය, උපහාසය සමග මුසු කිරීමෙන් තමන් සමාජයට ලබාදීමට උත්සාහ කරන පණිවුඩය වඩාත් තීව්‍ර කිරීමටයි. එනම් සම්ප්‍රදායික සමාජ මතවාදයන් කෙරෙහි  හිතුවක්කාර ලෙස ඇලී ගැලී සිටින්නන් ඒ පිළිබඳව  දෙවරක් සිතා බැලීමට පෙළඹවීමයි.



සුසන්ගේ විශ්වාසය අනුව තවදුරටත් අපට ‘පරිපූර්ණත්වයට’ පත් වීමට උත්සාහ දැරිය නොහැකිය. මන්ද කිසිවිටෙක අප පරිපූර්ණත්වයට පත් වූ බවක් අපට නොසිතෙන නිසාත් ඉන් සෑහීමට පත් නොවන නිසාත්ය. මේ නිසා අප උත්සාහ දැරිය යුත්තේ අංග සම්පූර්ණත්වයට පත් වීමයි. කාන්තාවක අංග සම්පූර්ණත්වයට ළඟා වන්නේ අධ්‍යාපනය, වෘත්තීය, පවුල, සාර්ථකත්වය, විවාහය යනාදී මෙකී සියලුම අංශ හරහා මිස එක් අංශයකින් පමණක් නොවන බවත්, එකී එක් අංශයක් හෝ මග හැරී යාම කාන්තාවකගේ අංග සම්පූර්ණත්වයට බාධාවක් බවටත් සමාජයේ වන පිළිගැනීම වෙනස් කිරීමට සිය ව්‍යාපෘතියෙන් යම්තාක් දුරකට හෝ උපකාරයක් ලැබෙනු ඇති බව සුසන්ගේ විශ්වාසයයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.