Header Ads

රනිල් පස්සට සෝභිත හිමි පෙරට

මීළඟ ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා පසුගිය කාලයේ ඇතිව තිබූ තරගයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ අබිබවා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පාර්ශ්වය තීරණාත්මක ලෙස ඉදිරියට පැමිණෙමින් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


මීළඟ ජනාධිපතිවරණය සඳහා
පොදු අපේක්‍ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සමඟ එකඟතාවකට පැමිණීමේ විධිමත් සාකච්ඡා වටයක් උන්වහන්සේ ප්‍රමුඛ ජනතා ව්‍යාපාරය මඟින් මේ වනවිටත් ආරම්භ කර තිබේ.



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දාහත් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැගත් ප්‍රතිපත්තිමය ලියැවිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමත්, විපක්‍ෂයේ සියලු පක්‍ෂ සහ අනෙකුත් පාර්ශ්ව එකමුතු කිරීමේ ඉහළම හැකියාව ඇත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට බව අවධාරණය කිරීමත් මේ සාකච්ඡා මාලාවේ අරමුණ වී තිබේ.


මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්ඩල සාමාජිකයන් සමඟ සහ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය යන පක්‍ෂ සමඟ සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා වඩා සාධනීය මට්ටමක තිබෙන බවත් එම ජනතා ව්‍යාපාරයේ ප්‍රකාශකයකු  පැවැසීය.



මේ අතර ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සහ ආණ්ඩුවේ වමේ පක්‍ෂ සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසූ එම ප්‍රකාශකයා, ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාටද අදාළ ප්‍රතිපත්තිමය ලියැවිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ලිපියක් යවා ඇති බවද සඳහන් කෙළේය.

කිසිවකු තම ව්‍යාපාරයේ අදහසට මෙතෙක් විරුද්ධ වී නැති බවද පැවැසූ ඔහු, ඉදිරියේදී මේ හරහා පුළුල් ජනතා බලවේගයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කෙළේය.


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජ.වි.පෙ. නායකත්වයෙන් යුත් පොදු අපේක්‍ෂකයකු පිළිබඳව පසුගිය සතියේ මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය සහ ජාතික හෙළ උරුමය විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට ඊට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවට කරන යෝජනාව සම්බන්ධයෙන් විමසීමේදී අදාළ ප්‍රකාශකයා පැවැසුවේ එම කරුණු සාකච්ඡා මාර්ගයෙන් විස¼දා ගත හැකි මට්ටමක පවතින බවයි.



එසේම ඉදිරියේදී ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබා ගැනීම සඳහා වන විද්වත් සමුළුවක් පැවැත්වීමටද තම ව්‍යාපාරය සැලැසුම් කර ඇතැයි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.

සෝභිත හිමියන්ගේ සහායට කතෝලික සභාවත් එයි

මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම රටේ අවශ්‍යතාවක් වන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු සිරිල් ගාමිණී පියතුමාණෝ  පැවැසූහ.


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වැඩි අවස්ථාව හා ශක්තිය තිබෙන්නේ වත්මන් ආණ්ඩුවට බවත් එය ආණ්ඩුව විසින්ම අහෝසි කරනු ලබන්නේ නම් වඩාත් යහපත් වනු ඇති බවත් සිරිල් ගාමිණී පියතුමාණෝ ප්‍රකාශ කළහ.




මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් රටේ පවතින බව සඳහන් කළ එතුමාණෝ මෙසේද සඳහන් කළහ.




'සෝභිත හිමියන් එළැඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙනවාද යන කාරණයට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ ඉදිරිපත් කළ යෝජනාවල ඇතුළත් කාරණායි. විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි යන්න එය ස්ථාපිත කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සෑම පක්ෂයක්ම පිළිගන්නවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යැයි ජේ. ආර්. ජනාධිපතිවරයා හැර එම ධුරයට පත් වූ හැම ජනාධිපතිවරයකුම කී කාරණයක්. අප දන්නා පරිදි සෝභිත හිමියන් ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයාවන බව කියා නෑ. උන්වහන්සේ පවසන්නේ මේ රජය විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. එසේ නොවන්නේ නම් එය අහෝසි කිරීමට සුදුසු පොදු අපේක්ෂකයකු පැමිණිය යුතු බවයි. එනිසා උන්වහන්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙනවාද යන්න නෙවෙයි උන්වහන්සේ යෝජනා කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි විය යුත්තේ. එය මේ රජය විසින්ම කරනවා නම් වඩාත් හොඳයි. ඒ සඳහා වුවමනා ශක්තිය මේ ආණ්ඩුවට තිබෙනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.