Header Ads

රාගමින් පැන්න කුඩු රජා අල්ලන්න පොලිසි සීරුවෙන්


කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු වශයෙන් නම් දරා සිටි වසර ගණනාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයමින් සිට පසුගිය 20දා බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරක් වටිනා මත්කුඩු කිලෝ 1 1/2ක් සමඟ
අත්අඩංගුවට ගත් මහමොළකරු ඊයේ අලුයම රාගම රෝහලේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ.

මෙසේ පැනගොස් ඇත්තේ දේවකගේ තුසිත චාමර නමැති සැකකරුයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්කුඩු පැකට් කරමින් සිටියදීය.



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මේ සැකකරු කැඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු පසුගිය 26දා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබිණි.මේ සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා රාගම රෝහලවෙත බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මත රැගෙන ගොස් තිබුණේ පසුගිය 29 දින උදේ 10.00 බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරි තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.


ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මහර බන්ධනාගාරයේ උසස් නිලධාරියකු පත්කොට ඇති බවත් සැකකරුට රැකවරණය සැලැසූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා වැඩතහනමට ලක්කිරීමට පියවරගෙන ඇති බවද ඔහු සඳහන් කෙළේය.මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පලායෑම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහායක් ලැබී ඇද්ද යන්න ගැන සෙවීමට එම පරීක්ෂණය රහස් පොලිසියට භාරදීමටද තීරණය කොට ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.


මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ මේ සැකකරු හෙරොයින් කිලෝ 1 1/2ක් තබාගැනීමේ චෝදනාව යටතේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු බවයි.29 හැවිරිදි දේවකගේ තුසිත චාමර නොහොත් දිලාන් කොළඹ බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවකු බවද පොලිසිය පැවැසීය.


සැකකරුගේ දකුණු අතේ ඉහළ සිට පහළ දක්වා විශාල කැටයම් පච්චයක් කොටා ඇති බවත් ඒ පිළිබඳ කඩිනම් තොරතුරක් වේ නම් රාගම පොලිසියේ 0112957197 දුරකතන අංකයට දන්වන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. සැකකරුට පලා යෑමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලැබී ඇද්ද යන්න ගැන විශේෂ පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තීරණය කොට තිබේ.


එම ඉල්ලීම පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා යැවීමට තීරණය කොට ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරි තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
සැකකරු රෝහලේ සිටියදී රැකවරණය සැපයූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කොට ඇති අතර පොලිස් මූලස්ථානය මේ සැකකරු පිළිබඳ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.



කොළඹ සහ පිට පළාත්වලට මත්කුඩු බෙදාහරිනු ලබන බව කියන මේ සැකකරු පසුගිය 20දා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු රෝහලට ගෙනැවිත් ඇත්තේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කොට වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවක් ලබාගැනීමට බවද බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැඟවී ඇතැයි සැක කරන ඔහුගේ ඥාතීන්ගේ සහ ළඟම හිතවතුන්ගේ නිවාස ව්‍යාපාරික ස්ථාන පරීක්‍ෂා කිරීම සඳහා පෙරේදාම බන්ධනාගාරයේ නිලධාරි කණ්ඩායමක්ද යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය.




පලා ගිය සැකකරුගේ ඡායාරූපයක් සහ ඔහුගේ සිරුරේ පච්ච කොටා ඇති අන්දම දැක්වෙන ඡායාරූපයක් ඊයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පොලිස් මාධ්‍ය ඒකකය හරහා නිකුත් කර තිබිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.