Header Ads

දිස්ත්‍රික්ක 5කට තද සුළං: නිවාස 800කට හානි

ප්‍රදේශ රැසක ජන ජීවිතය අඩාල කළ තද සුළං හේතුවෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නිවාස ගණන 800 කට හානි සිදු වී තිබේ.  

වැලිමඩ, මැදගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකු ද
ජිවිතක්ෂයට පත් විය. විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසී ය.
මේ අතර තද සුළං තත්ත්වය හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලය අද සිට ලබන 21 වන දා තාවකාලිකව වසා දැමූ බව එහි උපකුලපති මහාචාර්ය චන්දන ශ්‍රී උඩවත්ත මහතා පැවසී ය. තද සුළඟින් සිසුන්ගේ නේවාසිකාගාරවලට ද හානි සිදුව තිබිණ.
මෙය විශ්වවිද්‍යාලයේ විභාග කාල සීමාව බව ත්, විදුලිය බිඳ වැටීම් සහ ආපදා හේතුවෙන් සිසුන්ට යහපත් මානසික තත්ත්වයකින් විභාගවලට මුහුණ දීමට නොහැකි බව ත් උපකුලපතිවරයා වැඩි දුරට ත් පැවසී ය.
මේ අතර බලංගොඩ, පඹහින්න, හල්පේ ප්‍රදේශයේ ඊයේ පැවති තද සුළඟින් නිවාස 25කට හානි සිදුවිය. අප වාර්තාකරු පැවසුවේ, පීඩාවට පත් ප්‍රදේශවාසීන් මේ වන විට හල්පේ සහ වෙහෙරගොඩ විදුහල්වල තාවකාලිකව ලැගුම් ගෙන සිටින බව ය.
ඉඹුල්පේ ප්‍රාදේශිය ‍ලේකම් කොට්ඨාසයේ හල්පේ ප්‍රදේශයේ නිවාස 37කට සුළඟින් හානි සිදුව ඇතැයි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසී ය.
ඔහු ප්‍රකාශ කළේ, එම ප්‍රදේශවල කඩා වැටුණු ගස් ඉවත් කිරීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති බව ය.
මේ අතර බිබිල ප්‍රදේශයට දින තුනක් තිස්සේ  තද සුළං  පැවතිණ. අප වාර්තාකරු පැවසුවේ, නිවාස දෙකක් මතට  ඊයේ රාත්‍රියේ ගස් කඩා වැටී ඇති බව ය.
බිබිල ප්‍රාදේශිය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා අද පස්වරුවේ පැමිණ එම ස්ථානය නිරීක්ෂණය කළේ ය. මේ අතර ඊයේ උදෑසන පැවති තද සුළං හේතුවෙන් රිදීමාලියැද්දේ  නිවාස 4කට සහ වෙළෙඳසලකට  හානි සිදුවිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.