Header Ads

සෙල්ලමට සතුන් මරන කෙල්ල කාටත් එපාවේ

සත්ත්ව සංරක්ෂණය උදෙසා යැයි කියමින් සිංහයින්,රයිනොසිරයන්,සීබ‍්‍රාවන් වැනි  සතුන් මරා දමන බව කියන 19 හැවිරිදි ඇමරිකා තරුණියක මුල් කරගෙන
ලොව පුරා සත්ත්ව ලෝලයන් අතර මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.
කෙන්ඩල් ජෝන්ස් නම් වන මේ තරුණිය ඇමරිකාවේ ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නියකි. ඇයටම වෙන්වූ ෆේස්බුක් පිටුවක්ද තිබෙන අතර එය පිරී ඇත්තේ ඇය දඩයම් කළ බව කියන සතුන්ගේ ඡායාරූප වලිනි.
බිම ඇද වැටී සිටිනා සිංහයින්,රයිනෝසිරයින් වැනි සතුන්ගේ සිරුරු මත පා තබාගෙන ආඩම්බරයෙන් බලා සිටින කෙන්ඩල්ගේ ඡායාරූපයන් අන්තර්ජාලය පුරාමත් ප‍්‍රචාරය කර හැරීමට දැනටමත් ඇතැමුන් කටයුතු කර ඇත.මෙනිසාම ප‍්‍රකට පුවත් වෙබ් අඩවි කිහිපයකම ඇය සම්බන්ධයෙන් වාර්තා පළවී තිබෙනුද දැකගත හැකි විය.
තමන්ට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන කෙන්ඩල් පවසන්නේ තමන් මේ කරන්නේ සේවයක් බවයි.සිංහයින් වැනි සතුන් සැළකීමේදී එම සතුන් අනුපාතය කිසියම් මට්ටමක පවත්වාගත යුතුව ඇති බවත් නොඑසේ නම් වනයේ වෙසෙන ශාක භක්ෂක සතුන්ට ජීවත්විය නොහැකි වනු ඇති බවත් ඇය කියන්නීය.
විසදුම සතුන්ගේ ගණන පාලනය කිරීම වන බවත් මෙනිසා එම පාලනයට උදවු වන දඩයම්කරුවන් යනු සැබැවින්ම සතුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින්නන් බවත් ඇය පවසන්නීය.
ඇයගේ දැක්මට නම් වැඩි දෙනාගේ මනාපයක් පළවී නොමැති බවක් පෙනෙන්ට ඇත.දැනටමත් ඇයට එරෙහිව පෙත්සම් 2 ක් සකස් කෙරී ඇති අතර එකකට මේ වන විට අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබේ.
ඇයගේ ෆේස්බුක් පිටුවද අත්හිටුවන්නැයි පැමිණිලි ගලා එමින් තිබෙන බව සදහන්ය.
කෙසේනමුත් ඇයගේ දැක්ම පිළිගන්නා පුද්ගලයෝ කොටසක්ද සිටිති.ඔවුහු ඇයගේ කටයුතු අගය කරන අතරම ඇයට දිරියද පතන්නෝය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.