Header Ads

නිලි ගණිකාවන්ට ඉල්ලුමක් තියෙන්නේ පිරිමින්ගේ හීනමානය නිසා

අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය.

එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය. පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය.

අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි.

මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද සමීක්ෂණයක යෙදෙන ඇය නිදහස් මාධ්‍යවේදනියකද වන්නීය.

ඔබේ අරමුණ කොතෙක් යහපත් වුවත් මෙරට තුළ කාන්තාවකට හෝ තරුණියකට ගවේෂණයක් සඳහාවත් මෙවැනි සමාජ ස්ථරයකට ඇතුල්වීම ලෙහෙසි නැහැ. ඔබ එය කළේ කොයි විදියටද?
ඔව්, එය ඉතා අසීරු කරුණක් වුණා. නමුත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මාව එවකට සිටි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වූ ධර්මදාස සිල්වා මහතාට අඳුන්වා දුන්නා.

ඒ වගේම පසුකලෙක 89 භීෂණ කාලයේ අතුරුදන් වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ සුදර්ශන සහ අජිත් යන මහතුන් දෙදෙනාද මා හට බොහෝ සේ උදව් කළා. ඒ ආකාරයට එක් පැත්තක් සාර්ථක කරගත්තත් ඔවුන් ඇසුරු කර කරුණු ලබා ගැනීමේදීත් බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවුණා.

මොනවාද ඒ ගැටලු?

කොයිතරම් හොඳින් අවස්ථාවක් උදාකරගත්තත් සමහර ගණිකාවන් පිළිතුරු දෙන්නට වුණේ ඉතාමත් උදාසීන ආකාරයට ඕනෑවට එපාවට. ඒ වගේ අවස්ථාවල ඔවුන් බොරු කියන බවත් මට වැටහී ගියා. ඒ නිසා ඔවුන්ගෙන් නියම තොරතුරු ලබාගැනීමට සන්තෝෂම් මුදල් පරිත්‍යාග කරන්නට පවා සිදු වුණා. ඒ වගේම එසේ මුදල් ලබාගැනීම පිණිස තවත් සමහරු අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා. ඒ නිසා ඒ කරුණු නිවැරදිද කියා දැනගැනීමට නැවත වරක් කරුණු සොයා බලන්නට සිදුවුණා.



සමහර අවස්ථාවල ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් තම අත්දැකීම් කියා පෑවේ ඉතා ග්‍රාම්‍ය පහත් වදන් යොදා ගනිමින්. එවිට එකල විශ්ව විද්‍යාල යුවතියක වූ මා මහත් අපහසුතාවයන්ට ලක්වුණා.ඒ හැරුනු කල ඔවුන් හා ඇතිවූ මිත්‍රත්වය නිසා මා සමාජය තුළද යම් අපහසුතාවයකට ලක්වන තත්ත්වයක් ඇති වුණා.


ඒ කොයි විදියටද?

මම එක උදාහරණයක් කියන්නම්.
දිනක් මා බසයක් ගැනීමට බම්බලපිටිය බස් නැවතුම්‍පොළේ සිටින විට මා දන්නා ගණිකාවක් ඒ දෙසට ඇවිදගෙන ආවා. ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බව දන්නා එතැන සිටි පිරිසගේ නෙත් ඇය දෙසට යොමුවී අවඥා සහගත කසුකුසුවක් ද ඇතිවුණා. ඒ කිසි දෙයක් ගණන් නොගත් අර කාන්තාවද පැමිණ මගීි පිරිස අතර හිට ගත්තා. ඒ සමග මා දුටු ඇය එක්වරම මා ළඟට පැමිණ ඉතා සුහදව කතාකරන්නට පටන් ගත්තා. ඒ සැණෙකින් එතැන සිටි සියලු දෙනාගේ ඇස් යොමුවුණේ අර ගණිකාව දෙසට නොවෙයි මා දෙසට.


එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටි තරුණියක වූ මම ඒ වෙලාවෙ මහත් අපහසුතාවයකට පත්වුණා. ඒත් ඉන් පසුව මම එවැනි මා දන්නා අඳුනන කතුන් කොතැනක හමුවුවත්, ඔවුන් මගහැර යන්නට උත්සාහ කළේ නැහැ. මේ අයට සිනාසෙන පිරිමින් අතර ඇය සමග යහන් ගතවූ පිරිමින් ද සිටින්නට පුළුවන් නොවේද යන හැඟීමත් ඔවුන් කොතරම් කුහක ලෙස මේ කතුන් දෙස බලනවාද යන හැඟීමත් මා තුළ ඒ කතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කරන්නට සමත් වුණා. ඒ වගේම මේ කාන්තාවන් මා වෙනුවෙන් ලොකු උදව්වක් කළ අය නොවේද යන හැඟීමත් ඔවුන් මග හැර නොයන්නට මා ‍පොළඹවනු ලැබුවා.

ඔබ විසින් පසු කලෙක ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර නමින් ‍පොතක් එළිදක්වනු ලැබුවා. මෙය එම වෘත්තියේ හැබෑ මුහුණුවර යයි නම් කරනු ලැබුවේ ඇයි?
පිරිමින් කොතෙක් තම අවශ්‍යතාවය සඳහා යොදා ගනු ලැබුවත් සමස්ත සමාජය ගණිකාව දෙස බලන්නේ මහත් මහා කර්කශ කාලකණ්ණි ගැහැනියක් දෙස බලන ආකාරයෙනුයි. ඒ හැරුණු කල ගැහැනිය ගණිකාවක් බවට පත්ව සිටින්නේ සමාජය තුළ සිටින සුචරිතවාදීන් සේ පෙනී සිටින පිරිමින් නිසා බව බොහෝ දෙනකු අමතක කර තිබෙනවා. මේ නිසා ගැහැනිය ගණිකාවක් කරනු ලැබුවේ කවුරුන් විසින්ද කොයි ආකාරයෙන්ද යන්න පෙන්වා දීමත්, ගණිකා වෘත්තියේ යෙදෙන්නියද ඔබත් අපත් වැනි සත්වයෙක්ය යන්න පෙන්වාදීමත් මෙහි අරමුණ වුණා.

අනෙක් කාරණය වුණේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාව වටා ගොඩනැගී ඇති තැරැව්කාරයින්, ගණන්කාරයින් සහ කප්පම්කාරයින් ආදී වශයෙන් සැදුම් ලත් මේ ලෝකය ගැන විවරණයක් කිරීම. එමෙන්ම සම්භාවනීය ‍ලේඛක පියඩෝර් ඩොස් ටොව්ස්කි සිය අපරාධය හා දඬුවම නව කතාවේදී සෝන්යා නැමැති ගණිකාවගේ හදවතේ රැඳුණු මනුෂ්‍යාත්මභාවයට දක්වන ඉමහත් ගෞරවය පිළිබඳ හැඟීමද මේ කෘතිය නිම කිරීමට බලපෑ බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවකට ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම තරමටම ඔබ ලියූ වර්ගයේ කෘතියක් එළි දැක්වීමත් යම් ප්‍රමාණයක අභියෝගයක් යැයි අප සිතනවා. එම කෘතිය නිකුත් වීමෙන් පසු ඔබ ලැබූ ප්‍රතිචාර මොනවාද..?
ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයකින් පෙනෙන්නට තිබුණේ මේ සමාජය කාන්තාවකට සලකන නිර්ලජ්ජිත ආකාරයයි. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරනවා යයි ප්‍රචාරය වූ දා සිට මට පාතාල ලෝකයේදීවත් අසන්නට නොලැබුණු තරම් අසභ්‍ය වචනවලින් යුත් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා. පිරිමින් විසින් නිර්නාමිකව එල්ල කළ ඒ දුරකථන ඇමතුම් කාගේද කියා අදටත් මා දන්නේ නැහැ.

ඒ ‍පොත දොරට වඩින්නට නියමිතව තිබුණේ අනූහතේ අවුරුද්දේ දවසක තුනකුත් ගණනකට. 2.30ට මම ඒ සඳහා පිටත් වෙන්න විනාඩි 05ක් තියා ඒ විදියෙ තවත් දුරකථන ඇමතුමකින් කෙනෙක් නොසෑහෙන විදියට බැණ වැදුණා. ගැහැනියක විසින් ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම ‍පොතක් ලිවීම ගැන පවා අද මේ රටේ ජනතාව ගැන හිතන්නේ එහෙම නම් මෙවැනි රටක කාන්තාව පත්වී සිටින තත්ත්වය ගැන සිතා ගත හැකියි නේද...?

හොඳයි මේ සියලු හිරිහැර මධ්‍යයේ ඔබ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ සොයා ගත් තොරතුරු මොනවාද? අප රටේ ගණිකා වෘත්තියේ ස්වභාවය කොයි ආකාරද...? 
මූලික වශයෙන් අප රටේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කොටස් 3කට බෙදිය හැකියි.

ඒ කොයි ආකාරයටද...?

ඒ තමයි දුරකථන පණිවුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි ඉහළ පන්තියේ ගණිකාවන්, බ්‍රොතල් හවුස් නමින් හඳුන්වන ගණිකා මඩම්වල ජීවත්වන ගණිකාවන් සහ වීදි ගණිකාවන් වශයෙන්..


මූලික වශයෙන් මෙම වෘත්තිය අප රට තුළ ව්‍යාප්තව ඇත්තේ කොයි ආකාරයටද...?

එය සංවිධානාත්මක වෘත්තියක් වශයෙන් පවතින්නේ නගරබදවයි. ග්‍රාමීය මට්ටම තුළදී එය සංවිධානාත්මකව සිදුවන්නේ නැහැ.


කලින් ඔබ කියූ ගණිකාවන්ගේ ඒ ඒ සමාජ ස්ථරවලට අයත් සුවිශේෂතා මොනවාද...?

දුරකථන පණිවුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි කෝල් ගර්ල්ස්ලා නමින් හඳුන්වන ඉහළ පන්තියේ ගණිකාව බොහෝ විට තමන්ටම අයත් නිවසක ජීවත් වන්නියක්. සමහර විටක තමන් වැනිම වූ තවත් ගණිකාවක්ද ඇය සමග සිටින අවස්ථා තිබෙනවා. අද මෙන් දුරකථන පහසුකම් සුලභ නොවූ කාලයේ පවා මෙවැනි අය දුරකථන පහසුකම්, තමාගේම මෝටර් රථයක හිමිකාරිත්වය, සහ බොහේ විට සුඛෝපභෝගී මහල් නිවසක් සහිතව ජීවත් වුණා.
මේ අය තමන්ගේ සමහර ගනුදෙනුකරුවන් සිය නිවසට කැඳවා ගන්නා අතර සුඛෝපභෝගී හෝටල් කාමර ඒ සඳහා භාවිතා කරන අවස්ථාද තිබුණා. සමහර හෝටල්වල මෙවැනි තරුණියන්ගේ ඡායාරූප ඇල්බම් ඇති අතර හෝටලයේ මාර්ගයෙන් ඔවුන් ගෙන්වා ගතහැකි අවස්ථාද තිබෙනවා.


ඔබගේ ගවේෂණවලට අනුව මෙවැනි කාන්තාවන්ගේ ඇසුර පතා යන්නේ මොන විදියේ සමාජ පාන්තිකයින්ද?

අනිවාර්යයෙන්ම ඔවුන් ධනවතුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ඒ වැඩි දෙනෙක් බොහෝ විට යහපත් ආකාරයෙන් මුදල් උපයන අය නොවෙයි. ඔවුන් අතර විවිධාකාර හොර ජාවාරම් ආදියෙන් මුදල් උපයන අය වැඩියි. ඒ වාගේම දේශපාලනයේ යෙදෙන පිරිස්ද කිසිම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි ස්ථාන කරා යන බව පෙනී ගොස් තිබෙනවා. කොයි හැටි වුණත් මෙවැනි සුපිරි පන්තියේ ගණිකාවන් විසින් ඇසුරු කරන්නේ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් විතරයි.


එසේ වීමට හේතුව..?

තමාගේ රහස්‍යභාවය මෙන්ම ආරක්ෂාවද සඳහා. ඒ වගේම තමාගේ සෞඛ්‍ය සම්පන්නභාවය, රූපය ආරක්ෂාකර ගැනීම ගැනද ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා.


මෙවැනි කතුන් එක් අනුග්‍රාහකයෙකුගෙන් කොපමණ මුදලක් අය කරනු ලබනවාද...?

1997ට පෙර ඔවුන් ඒ සඳහා වරකට රුපියල් 2000-5000 අතර මුදලක් අය කරනු ලැබුවා. එය මේ වන විට රුපියල් 25,000 සිට ඉහළට ගොස් තිබෙනවා. කෙසේ වුවත් සුඛෝපභෝගී හෝටල් ගාස්තු ආදියද සමග අද දවසේ එවැන්නියක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් ලක්ෂයක් පමණ වෙනවා. ඒ හැරුණු කල මෑතදී පටන් තායි සහ රුසියානු ජාතික කාන්තාවන්ද මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙනවා. ඔවුන්ගේ මිල ගණන්ද බොහෝ විට අපේ රටේ සුපිරි ගණිකාවන්ගේ මිල ගණන්වලට සමාන තත්ත්වයක පවතිනවා.


ඔබ සඳහන් කළ ගණිකා මඩම් යනු මොනවාද...? ඒවායේ සිටින ගණිකාවන්ගේ තත්ත්වය කෙබඳුද...?

මෙම ව්‍යාපාරය බොහෝ විට කෙරෙන්නේ සම්භාහන ආයතනවල මුවාවෙන්. නමුත් ඒ සඳහා ඉතා සුඛෝපභෝගී ලෙස ඉදිකළ ධනවතුන්ගේ නිවාස වැනි මහා මන්දිර භාවිතා වෙනවා. සුවිසල් තාප්පයකින් වට කර තිබෙන මෙවැනි නිවෙස් නිරන්තර ආරක්ෂකයෙකුගේ පරීක්ෂාව යටතේ පවතින්නක්.


යම් නවක අනුග්‍රාහකයෙකුට එයට ඇතුළු වීමට අවශ්‍ය නම් ආරක්ෂකයා එහි පාලකවරියගෙන් අවසර රැගෙන එන තෙක් එතැන නතර විය යුතුයි. අද දවසේ නම් ඛිඛිඊ කැමරා ආදී උපකරණ ඇති බැවින් ඔවුනට වඩාත් පහසුවෙන් එවැනි කටයුතු කර ගෙන යා හැකි වී තිබෙනවා.

එවැනි ස්ථානයක් දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔබට ලැබි තිබෙනවාද...?

ඔව් මට යන්නට ලැබුණ ස්ථානයත් ඉතා විශාල මන්දිරයක්. මෙහි ඇති විශේෂත්වයක් වූවේ මන්දිරයේ පිට පෙනුමින් අප තුළ මැවෙන චිත්‍රයට වඩා ගෙතුළ තත්ත්වය වෙනස් වීම. එය හරියට රජයේ කාර්යාලයක් සඳහා ලක්ෂණ මන්දිරයක් වෙන් කරනු ලැබුවා වගේ. මුළු නිවසම කාමරවලට බෙදා වෙන් කර තිබුණා. ඒ හැම කුටියක් තුළම නාන කාමරයක්, ඇඳක්, මේසයක්, පුටුවක් සහ ඇඳුම් වැටක් බැගින් තිබුණා. රූමත් තරුණියන් 18 දෙනෙක් එම නිවසේ ලිංගික වෙළෙඳාම සඳහා යොදවා සිටි අතර බොහෝ විට සිදුවන පරිදි එහි පාලිකාව මැදිවිය ඉක්ම වූ මදක් සැර පරුෂ ස්ත්‍රියක් වුණා.


මෙවැනි සංවිධානාත්මක ගණිකා නිවාසයකදී එහි සිටින තරුණියන් වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ කොයි ආකාරයටද...?

ග්‍රාහකයකු සමග ගත කරන සෑම තරුණියක්ම තම පාලිකාවට ගෙවිය යුතු නිශ්චිත මිලක් තිබෙනවා. ඇය එම මුදල අනිවාර්යයෙන්ම පාලිකාවට ගෙවිය යුතුයි. ඒ වගේම එම නිවසට පැමිණෙන ගනුදෙනුකරුවා කවර විදියේ අයෙකු වුවත් ඔහු විසින් තෝරා ගත් තරුණිය ඔහුට තම සේවාව සැපයිය යුතුයි. පාලිකාවගේ අණ එයයි.


ගණිකා නිවාසයක තරුණියන් විසින් සිය පාලිකාවට ගෙවිය යුතු මුදල තීරණය වන්නේ කොයි ආකාරයටද..?

බොහෝ විට ගණිකාව ෙදෙනිකව උපයන ආදායමෙන් භාගයක් පාලිකාවට ගෙවිය යුතුයි.


මෙවැනි ස්ථානයක කෙරෙන ගනුදෙනුව කොයි ආකාර එකක්ද...?

ඒ සඳහා ඔවුන්ට නිශ්චිත කාලයක් සහ මිලක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් පැය දෙකක කාලයක් සඳහා අසවල් ගණන වශයෙන් උදාහරණයක් වශයෙන් 97 ට පෙර එය පැය දෙකක කාලයක් සඳහා රුපියල් 500ක් පමණ.


මෙවැනි ස්ථානයකදී ගණිකාව සඳහා ලැබෙන පහසුකම් මොනවාද...?

කෑම සහ නවාතැන් පහසුකම් නොමිලයේ ලැබිම පමණයි සිදු වන්නේ.


ඔවුන් අනවශ්‍ය ගැබ් ගැනීමකට මුහුණු දුනහොත්, නැතිනම් යම් රෝගයකට බඳුන් වුවහොත්...?

අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවුවහොත් ගබ්සා කරවා ගැනීම සඳහා තමන් විසින්ම වියදම් දැරිය යුතුයි. ඒ හැරුනු කල අනිවාර්යයෙන්ම සති 3කට වරක් පෞද්ගලික වෛද්‍යවරයා වෙත ගොස් තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගත යුතුයි. මේ වියදමද ගණිකා වෘත්තියේ යෙදෙන්නිය විසින්ම දැරිය යුතුයි.


ඔබගේ සමාජවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙවැනි ගණිකාවන් සහ ඔවුන් සොයා එන ග්‍රාහකයන් අතර ගොඩ නැගෙන තාවකාලික සබඳතාවය කොයි ආකාර වූවක්ද..?

එය මූලික වශයෙන් මුදල් උදෙසා කෙරෙන කායික සබඳතාවයක් මිස භාවමය එකක් නොවෙයි. ඒ නිසා ඇය තම ග්‍රාහකයා සමග යහනට පිවිසීමට ප්‍රථම කරනු ලබන්නේ ඇයට නියමිත මුදල රැගෙන මේසය මත තැබිමයි. එයට හේතු වී ඇත්තේ සමහරුන් අවසානයේදී සල්ලි නැති බව පවසා මුදල් අඩුවෙන් දීමට තැත් කිරීමයි. යම් විදියකින් අනුග්‍රාහකයා කීයක් අඩුවෙන් දුන්නත් පාලිකාවට නියමිත ගාස්තුව අඩු නැතිව ගෙවන්න ඕනෑ. ඒ නිසයි ඔවුන් එවැනි කර්කෂ ගනුදෙනුවකට යොමු වී සිටින්නේ.ඒ කෙසේ වුවත් තමා වෙතට වරක් පැමිණි ග්‍රාහකයා යළිත් තමා වෙතට කැඳවා ගැනීම ගැනත් ගණිකාවන්ගේ අවධානය යොමු වී තිබෙනවා.


මේ ආකාරයට ගණිකා නිවාසවලට පැමිණෙන පිරිමින් පිළිබඳ ගණිකාවන්ට ඇති සුවිශේෂ අත්දැකීම් මොනවාද..?

ඔවුන් පවසන පරිදි මේවාට පැමිණෙන වැඩි පිරිසක් විවාහකයින්.


එයට සුවිශේෂ හේතුවක් තිබෙන බව ඔවුන් පවසනවාද..?

ඔව් තමුන් හමුවට එන විවාහක පිරිමින්ගෙන් ඔවුන් ඒ බව විමසා තිබෙනවා. එතනදී බොහෝ විවාහක පිරිමින්ගේ ‍පොදු අදහස වී තිබෙන්නේ බිරිඳ සමග ගත කරන ඒකාකාරී ලිංගික ජීවිතයෙන් මිදී වෙනසක් බලා‍පොරොත්තුව මෙතනට පැමිණි බවයි. නමුන් එතැනට පැමිණි එවැනි පිරිමින්ගෙන් ඉතා වැඩි කොටසක් ඒ වෙනස ලෙස අත් විඳින්නේ අස්වාභාවිකයැයි සම්මත ලිංගික චර්යාවන් බව ගණිකාවන් පවසනවා. බොහෝ විට තම බිරියන් එවැනි දේට අකමැති වීම නිසා ඔවුන් මුදල් ගෙවා එවැනි ආශ්වාදයකට යොමු වන්නට ඇතැයි ගණිකාවන් පවසනවා.


තරුණියන් මෙවැනි තැන්වලට යොමු වන්නේ කොයි ආකාරයෙන්ද...?

ඉතා වැඩි පිරිසක් යොමු වී සිටින්නේ හෝටල්වල පිළිගැනීමේ නිලධාරිනියන් ලෙස සම්මුඛ පරීක්ෂණවලට පැමිණීමෙන් අනතුරුව රැවටීමට බඳුන් වීමෙන්.


ඔවුන්ගේ මාසික ආදායම කොයි ආකාරද.?

එය රටේ අනෙකුත් පිළිගත හැකි වෘත්තීන්වල යෙදෙන අයට වඩා දෙගුණයක් පමණ වැඩියි. ඔවුන් මෙයින් පිටට නොගොස් රැඳී සිටින්නටත් එයම හේතුවක් වී තිබෙනවා.


ඔබට හමු වූ තරුණියන්ගේ ගම් රටවල් කොහේද...? 

හැම දෙනෙක්ම වාගේ කොළඹින් පිට..


ඔවුන් තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් බලන්නට යන්නේ නැද්ද...?

ඉතාමත් ඉහළ මට්ටමින් සැරසී ඔවුනට වටිනා තෑගි බෝගත් රැගෙන ඔවුන් ගෙවල් දොරවල්වලට යනවා, ඔවුනට මුදල් හදල්වලින් ආධාර කරනවා. නංගිලා මල්ලිලාට ඉගෙන ගන්නට උදව් පදව් කරනවා. ගෙවල් දොරවල් හදා ගන්නවා.


එසේ ගිය තැනැත්තියකට ආපසු නෑවිත් සිටින්නට බැරිද...?

අවශ්‍ය නම් පුළුවන්. ඒත් මේ ආදායම ගැන සිතා බලන ඔවුන් නෑවිත් සිටින්නේ නැහැ.


අද වන විට සමාජය තුළ පැතිර ඇති මතයක් වන්නේ ටෙලි නාට්‍ය සහ සිනමා නිළියන්ද ගණිකා වෘත්තියේ යෙදෙන බවයි. එහි ඇත්තක් තිබෙනවාද...?

හැම දෙනකු අරභයාම නොවෙයි එහෙත් එහි ඇත්තක් තිබෙනවා. මොකද ගණිකා නිවාස පවත්වා ගෙන යන නිළියන් පවා සිටින නිසා.


ගණිකා වෘත්තිය නැමැති ධාරාවේ මෙවැනි නිළියන් වැටෙන්නේ මොන වර්ගයටද...?

මූලික වශයෙන් ඔවුන් සුපිරි පන්තියට අයත් වෙනවා. ඔවුන්ගේ මූලික අරමුණත් මුදල් වුවත් එය සිදුකෙරෙන්නේ බොහෝ විට චිත්‍රපට ජවනිකාවක ආකාරයෙන්මයි.


නිළියන් කෙරෙහි විශේෂ ඉල්ලුමක් පවතින්නේ ඇයි...?

ශ්‍රී ලංකාවේ පිරිමින්ගේ හීනමානය නිසා.


තිස්ස ප්‍රේමසිරි 
උපුටා ගැනීම ලක්බිම පුවත්පත


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.