Header Ads

රටම දන්න සමාගමක අයිතිකරුට වෙඩි තියල බිරියත් වෙඩි තබා ගත් ඛේදවාචකයේ රහස් පොලිස් පරීක්ෂණය


දිනය එක්දහස් නවසිය අසූපහේ හයවැනි මාසෙ අට වැනිදා. තැන අංක 272 රාවතාවත්ත මොරටුව ලිපිනයේ තියෙන ශ්‍රී මහල් නිවෙස. මේ සව්සිරි සපිරි තැනක් රටම දන්නා
පෞද්ගලික ව්‍යාපාරයක හිමිකරුවන් ජීවත් වෙන්නෙ මේ නිවෙසෙ. 

නමුත් මේ මහල් නිවෙස සියයට සියයක්ම පවුල් ජීවිතයකට සීමා වුණු තැනක් නෙවෙයි. එහෙම ලියන්නේ මේ නිවෙස තුළ වෙනත් දේවල් සිදුවුණු නිසා නෙවෙයි. මේ නිවෙසේ මේ පවුලෙ දෙමහල්ලන්ට අමතරව තවත් අය ජීවත් වුණා. සාමාන්‍යයෙන් මුදල් හදල් යහමින් තියෙන නිවෙසක මෙහෙකරුවන් මෙහෙකාරියන් බහුලව සිටීම ස්වාභාවිකයි. මේ නිවෙසේත් එසේම මෙහෙකාරියන් කීපදෙනෙක්ම ඉන්නවා. ඒ වගේම මෙහෙකරුවෙක් ඉන්නවා. ඊට අමතරව මේ නිවෙසට වෘත්තීය ආරක්ෂකයන් යොදවා තිබෙනවා. 

වඩාත් වැදගත් කාරණය එය නෙවෙයි. මේ නිවෙසේ දෙමහල්ලන්ට අමතරව ජීවත්වෙන වෙනත් පුද්ගලයන් ඥාති සබඳතා සහිත දෙපළක් සහ වෙනත් පිරිමියෙක් සහ වෙනත් කාන්තාවක්. සමහර විට මේ අය අතර ඉතා හොඳ සබඳතාවක් ඇතැයි පෙනෙන නමුත්, එසේ නැතැයි හැඟෙන අවස්ථාත් තියෙනවා. මේ හැමදේම පෙනෙන්නේ වඩාත් අවධානයෙන් මේ නිවෙසේ සිදුවීම් දෙස බලා ඉන්නා අයට පමණයි.



මේ නිවෙසේ ජීවත් වුණා අඹු සැමියන්, රෝහණ ප්‍රනාන්දු සහ ශ්‍යාමිණී ප්‍රනාන්දු. ඔවුන් පෙම්වතුන්ව සිට විවාහ වුණ අය. මුලින් ඔවුන්ගේ මවුපියන් එරෙහි වුණත් ඒ එරෙහි වීම් නොතකා ඔවුන් විවාහ වෙනවා. හිතුවක්කාර විවාහයක් නෙවෙයි. මේ පෙම්වතුන්ගෙ ආදර කතාවේ ප්‍රබල බව නිසාම, ඒ ආදරයට අකුල් හෙළන්න කිසිවෙක්ට හයියක් තිබුණෙ නෑ. ඒ නිසා ගල්කිස්ස මුහුදු වෙරළෙ මුළු ලෝකෙටම හොරෙන් තනිවුණ පෙම්වතුන් ආදරයෙ හීන මැඳුර මේ විදියට හදා ගත්තා.

හැමෝගෙම ආසිරි සුබ පැතුම් මැද අලුත් ජීවිතය ලස්සනට ගතවෙලා ගියා. ඔවුන්ට හැමදේම තිබුණා. මිල මුදල් යහමින් තිබුණා. යාන වාහන තිබුණා. දැසි දස්සො හිටියා. මහා ලොකු ගෙයක් තිබුණා. ඉහළ සමාජයක් තිබුණා. මේ හැමදේම තිබුණා නම් සතුට ගැන මොනවටද අහන්නෙ? මේ හැමදේම එකතු කරල හදන සමීකරණයෙ උත්තරය සතුට කියලයි අපි හිතන්නෙ. ඒත් හැමදේම තිබුණත් මේ අයගෙ ජීවිතේටත් ප්‍රශ්න එන්න ගත්ත. අවුරුදු දෙකක් තුනක් හතරක් යනකොට මේ ප්‍රශ්න පිළිකාවක් වගේ සතුට වහගෙන පැතිරෙන්න ගත්ත. හැබැයි පිටට පෙනුණෙ නෑ. කලින් කිව්ව වගේ මේ පිළිකාව දැක්කෙ හොඳටෝම ළඟින් හිටපු අය විතරයි.


අනෙක් හැම කෙනෙක්ම හිතා උන්නෙ අනෙක් දේවලින් වගේම සතුටෙනුත් හිඟයක් නෑ කියල. ඒත් එහෙම නෑ. මොකක්ද ඒ ප්‍රශ්නය?
ඒ ප්‍රශ්නය ශ්‍යාමිණීගෙන් දැනගත්තෙ නිවෙසේ හිටපු මෙහෙකාරියක විතරයි. ඒ මෙහෙකාරිය ශ්‍යාමිණීව පුංචි සන්ධියේ පටන් දන්නා කෙනෙක්. ශ්‍යාමිණීව පුංචිම කාලෙ බලාගත්තෙ ඇය. එතැන් පටන් ශ්‍යාමිණී වැඩිමාලු වයසට එනතුරාම ශ්‍යාමිණීගේ හෙවණැල්ල බවට පත්වෙන්නෙ ඇය. ඒ විතරක් නෙවෙයි ශ්‍යාමිණීගේ ජීවිතේට අදාළ හැම රහසක්ම ශ්‍යාමිණී මේ මෙහෙකාරිය සමඟ බෙදා ගත්ත. වෙන එකක් තියා ශ්‍යාමිණීගේ සහ රෝහණගෙ ආදරය මුලින්ම දැනගත්තෙ අෑ. සමහර හැන්දෑවක ශ්‍යාමිණී රෝහණත් එක්ක ගල්කිස්ස වෙරළෙ ගතකරන අතරෙ ඔත්තු බැලුවෙ අෑ. නමුත් අෑ කිසිසේත්ම ශ්‍යාමිණීට වරදක් කරන්න හිතුවෙ නෑ. අෑ හැමවෙලාවකම හීන දැක්කෙ ශ්‍යාමිණීගේ ජීවිතේ සර්වප්‍රකාර සාර්ථකත්වය. ශ්‍යාමිණීගෙ විවාහයෙන් පස්සෙ, මේ මෙහෙකාරියටත් සිදුවුණා, ශ්‍රී මහල් නිවෙසට එන්න. එහෙම වෙන්නෙත් ශ්‍යාමිණීගෙ විශේෂ ඉල්ලීම මත. එක දවසක ශ්‍යාමිණී ඉහළ මහලෙ සිට දුවගෙන ඇවිත් ඇයට දෙයක් කිව්ව. ඇයත් මේ ප්‍රශ්නය දේව රහසක් වගේ රැක්ක.
"මට දරුවො නෑ කියල රොහාන් හරියට රණ්ඩු කරනව. ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කියල කියනවා..."
මේ කතාවෙ ඊළඟ කොටසත් ශ්‍යාමිණී ඒ විදියටම ඇවිත් මෙහෙකාරියට කියනව. ඒ වෙනකොට අෑ තුළ තියෙන්නෙ යම් මට්ටමක ජයග්‍රාහී හැඟීමක්.


"ඩොක්ටර්ව හම්බුණා. මගේ වරදක් නෑ කියල කිව්ව. කලබල වෙන්න එපා කිව්වා..."
ඒත් මේ වෙන කොට ඉවසීමේ සීමාවන් සම්බන්ධ ප්‍රශ්නයක් මේ නිවෙසේ තිබුණා. රෝහණ උන්නෙ නුරුස්සනා ගතියකින්. තවත් සිදුවීමක් මෙහෙකාරියට දැනගන්න ලැබෙන්නෙ මේ අතර. එදා ශ්‍යාමිණී කියන්නෙ මෙහෙම කතාවත්.
"අද මට රෝහණ ගැහුව. පාරවල් හිටල මේ බලන්නකො..."
ශ්‍යාමිණී පුංචි එකියක වගේ අෑ ඇඳවුන් ගමුව ඉහළට උස්සලා කලව පෙන්නුව. ඒ කලව රතුපාට වෙලා තිබුණෙ රෝහණගේ අත්ල පාරවල් සමඟ. ශ්‍යාමිණීගේ ඇස් අස්සෙන් කඳුළු බින්දුවක් දෙකක් එබිල බැලුව. මෙහෙකාරියට මොකක් හෝ නරක දෙයක හෙවණැලි පෙනුණ. නමුත් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හැරෙන සිදුවීමක් සිදුවුණා.


ඒ කතාවත් කියන්නෙ ශ්‍යාමලී. මීට කලින් කවදාවත්ම කියපු දෙයක් නෙවෙයි.
"මට මේ ගෙදර ඉන්න බයයි... මේ ගෙදර පිට පිරිමි දෙන්නෙක්ම ඉන්නවා. කවුරු හරි අපිට මොනා හරි කළොත්, බිස්නස් එක එහෙම් පිටින්ම අයිති කරගන්න පුළුවන්..."
පවුලට තදින්ම ආදරය කරන විශේෂයෙන්ම ශ්‍යාමලීට දරුවෙක්ට වගේ ආදරය කරන අෑ මේ හැම ප්‍රශ්නයක්ම හිතේ හංගාගෙනයි උන්නෙ. මේ අපි කතාකරන දවසෙ රාත්‍රියෙ අෑ නින්දට යන විටත් මේ කතා සියල්ලක්ම දැන උන්නෙ ශ්‍යාමලීත් ඇයත් පමණයි. එදත් හැමදාම වගේ ඉර බැහැල ගිය, සුපුරුදු පරිදි අඳුර ආපු රාත්‍රියක්. විසල් මැඳුරෙ දැල්වුණ විදුලි පහන් ආලෝකය නිසා තැන් තැන්වල ඉතිරිවෙලා තිබුණෙ අඳුරු පැල්ලම් විතරයි. ඒ රාත්‍රියෙත් අවදිව ඉන්න නියමිතව තිබුණෙ ආරක්‍ෂක නිලධාරීන් විතරයි. මේ අයට මුරකාරයන් නොකියා,
ආරක්‍ෂක නිලධාරීන් කියල කියන්න හේතු කීපයක්ම තිබුණා. ඔවුන්ගෙ සේවය ක්‍රමවත්. සේවා මුර ක්‍රමයක් තිබුණා. ක්‍රමවත්ව සකස් කරන ලද මුර සංචාර ක්‍රමයක් තිබුණා. සෑම මුර සංචාරයක් ඇතුළතදීම සීනුවක් නාද කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසාම මේ අයට රහසින් කිසිවක් සිදු නොවිය හැකි පරිසරයක් නිර්මාණය කරලා තිබුණා. යනඑන වාහන සියල්ලක්ම සටහන් තැබිය යුතුයි වෙලාවත් සමඟ. ඒ අනුව පිටත ආරක්‍ෂාව ශක්තිමත්. ඒත් අවාසනාවකට මිනිසුන්ගෙ හිත්වලට හදිසියෙ ඇතුළුවෙන ආවේගවලට එරෙහි වීමේ ක්‍රමවේදයක් කවුරුත් දන්නෙ නෑ. හිත් මුරකරන්න කෙනෙක් නෑ. අන්න ඒ නිසයි අපිට මේ කතාව, මෙතැනින් ඉදිරියට මේ විදියට වෙනස් කරන්න වෙන්නෙ.


ඉර අලුත් දවසක් අරගෙන ආවා. ගෙමිදුල සරසපු මල් ගොමුවල අලුත් මල් පිපුණා. ඒ මල් උඩ තිබුණෙ අලුත් පිනි කැට. හැමදේම අලුත්වෙලා. නිවෙසේ අයත් අවදි වුණා.
"නෝනයි මහත්තයයි තාම නිදිනෙ?" ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මේ අයගෙ කාමරයටම ඇඳ ළඟටම උදෑසන තේ එක ලබාදීම සිරිතක්. ඒත් එදා ඒ දේ කරන්න විදියක් නෑ. ඔවුන් තාමත් රාත්‍රිය හමාර කරලා නෑ.
"තාමත් මහත්තයයි නෝනයි නැඟිටලා නෑ..."
ප්‍රශ්නයක් මහා දුමාරයක් සහිතව පැතිරෙනවා. මහ මැඳුරු කවුළු පියන්වලින් එපිටට නෙවෙයි. ඒ ඇතුළත. ඔවුන් මේ නිවෙසේ උන්න ක්‍රිෂාන්තව දැනුම්වත් කරනවා මේ ගැන.


"තව පැයක් බලන්න..."
ඒ පැය ගතවෙලා යනව තත්පර කටුවලට තටු ඇවිත් වගේ.
"දෙයියනේ..!
කරදරයක් වත්ද?"
තප්පර ගාණක් ඇතුළත නිවෙසම ගිනි ගන්නවා. අර කලින් කියපු දුම අයිති මේ ගින්නට.
"මහත්තයයි
නෝනයි
මැරිල..."
මිනිස්සු එනව යනවා. නෑදෑයො යනවා එනවා. අඬනවා ‍ෙදාඩනවා. ජීවිතයේ අනියත බව විතරක් හරියටම කියල දීල මේ දෙන්න නික්ම යනවා. ඉතිරි කොටස භාර වෙන්නෙ රහස් පොලිසියට.


01. කවුද මැරුවෙ?
02. කොහොමද මැරුවෙ?
වහල තිබුණ කාමරයක්. පිට මිනිස්සු නැවැතී ඉන්න නිවෙසක්. මරණය සිදුවුණේ වෙඩි තැබීමකින්. පහසුවෙන් පිළිතුරු ලැබෙන්නෙ අංක (2) කාරණාවට. මරණකරුවන් වැටී සිටි ආකාරය අනුව, ඔවුන්ට තුවාල සිදුවී ඇති ආකාරය සහ බාහිර සාක්‍ෂි අනුව මේ පැහැදිලිවම වෙඩිතැබීමක්. මියගිය පිරිමියා වෙනම වැටී ඉන්න අතර කාන්තාව වැටී උන් ආකාරය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නෙ. ඇගේ ගවුම දෙකලවා දක්වා ඉස්සී තිබුණා. දෙපා අතර ගිනිඅවියක් වැටී තිබුණා, ඉහළට වෙන්න. ඒ අනුව කාරණා කීපයක් පැහැදිලියි.


* මරණයට හේතුව වෙඩි තැබීමක්.
* මේ වැටී තිබෙන්නේ ඒ සඳහා යොදාගත් අවිය වගේ කාරණා පැහැදිලියි. ඒත් වෙඩි තැබීම කළේ කවුද කියන කාරණය ඉතාමත්ම සංකීර්ණ විදියට අපහැදිලියි.
බාහිර පුද්ගලයෙක්ද?
නැත්නම් මේ දෙදෙනාගෙන් කෙනෙක්මද?
ඇසින් දුටු සාක්‍ෂි හෝ වෙනත් එවැනි ප්‍රබල සාක්‍ෂි කිසිවක් නැහැ. නමුත් රහස් පොලිසිය යම් යම් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් යනවා.
රජයේ රස පරීක්‍ෂක හරහා වෙනත් ආකාරයකින් පරීක්‍ෂණ කටයුතු සිදුවෙනවා.
මරණ පරීක්‍ෂක වාර්තාව සහ වෙනත් වෛද්‍ය මත ලබා ගන්නවා.


පොලිසිය තම පරීක්‍ෂණ මඟින් අනාවරණය කරගන්නවා කරුණු කීපයක්. විවිධ පුද්ගලයන්ගේ සාක්‍ෂි ඔස්සේ තමයි මේ තර්ක මතුවෙන්නෙ.
මියගිය කාන්තාව යම් බයකින් ජීවත්වෙලා තියෙනවා. ඒ වගේම ඇයට පවුල් ප්‍රශ්නත් යම් ආකාරයකින් බලපානවා. නිවෙසේ ජීවත් වූ එක් පුද්ගලයෙක් මේ මරණය සිදුවූ දිනයේ මධ්‍යම රාත්‍රියත් පසුවී පැමිණෙන්නෙ. ඒ වගේම ඔහු බීමතින් සිටි බව මුරකරුවන් කියනවා. ඔහු වෙනත් තැනක මත්පැන් බිව් බවටත් සාක්‍ෂි ලැබෙනවා. දැන් යම් ආකාරයකින් කතාවක් ගොඩනැඟෙනවා. නමුත් රස පරීෂක වාර්තාව අනුව මේ වෙඩි තැබීම මිය ගිය කාන්තාව විසින් කර ඇතැයි කියවෙනවා. පිරිමියාගේ ඝාතනය මනුෂ්‍ය ඝාතනයක් නමුත්, කාන්තාව තමන් විසින්ම වෙඩි තබාගෙන බවයි කියන්නෙ. මරණකාරියගෙ වමතේ පළමුවැනි පුරුකමත අළුපාට පැල්ලම් සහ දකුණු අතේ හඳුනා ගන්නා වෙඩි ශේෂ අනුව මේ වෙඩි තබන අවස්ථාවෙ ගිනි අවිය මරණ කාරියගෙ අතේ තිබුණ බව රසපරීක්‍ෂක නිගමනය කරනවා.
"අතේ තියල වෙඩි තියන්න ඇති..."
මෙහෙම මතයක් ඊළඟට එනවා. නමුත් ඉහත කියපු කාරණා සහිතව මළ සිරුර පරීක්‍ෂාවේදී අනුමාන කරන්නවා මරණකාරිය තම දෑත්ම යොදාගෙන වෙඩි තබන ලද බවට. නමුත් මෘත දේහයේ ඇති තුවාල පරීක්‍ෂාවේදී ගැටලුවක් එනවා.

පිරිමියාගේ තුවාල සහ මියගිය ආකාරය පිළිබඳ ප්‍රශ්න නැහැ. නමුත් කාන්තාවගේ හිසේ තුවාල තුනක් සහිතයි. තුන්වැනි තුවාලය සම්බන්ධව මතුවෙන්නෙ හරි අපූරු කතාවක්. මේ මෘතදේහය රෝහලේදී සේවකයන් අතින් බිම වැටෙනවා. ඒ බිම වැටීමෙනුයි මේ තුවාලය සිදුවෙන්නෙ. ඒ බව මුලින් නොපිළිගන්නා රහස් පොලිසියට මේ කාරණාව තහවුරු කරගන්නත් වෙනමම පරීක්‍ෂණයක් කරන්න සිදුවෙනවා. ඒ පරීක්‍ෂණය තහවුරු වීමත් සමඟ මේ උභතෝකෝටිකයට උත්තර ලැබෙනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් වෙන්නෙ රහස් පොලිසිය ලබාගන්නා විශේෂඥ සහාය.
1. හිසේ දකුණු පස, හිස උඩ, අස්ථියක් මත අඟල් 1/4ක පමණ තුවාලයක්.
2. දකුණු කනේ සිට පහළට අඟල් 1 1/2ක පමණ තුවාලයක්.
3. හිසේ ඉදිරිපස වම්පස තුවාලයක්.
මේ තුවාල පරස්පරයි. 1 සහ 2 තුවාල සම්බන්ධව ගැටලුවක් නෑ. නමුත් තමන් විසින් වෙඩි තබාගත් අවස්ථාවක අංක 3 ක්‍රමයෙ තුවාලයක් සිද්ධ වෙන්න බෑ. රහස් පොලිසිය වඩාත් අවධානය යොමු කරන්නෙ ඒ කාරණාව ගැන. නමුත් අවසාන වශයෙන් අංක

1. රස පරීක්‍ෂක
2. මරණ පරීක්‍ෂක
(වෛද්‍ය මතය)
3. අත් අකුරු පරීක්‍ෂණ
රස පරීක්‍ෂක තහවුරු කරනවා පිරිමියා මියයන්නේ වෙඩි තැබීමකින්. කාන්තාව මියයන්නෙ තමන් විසින් වෙඩි තබා ගැනීමකින් බව. මරණ පරීක්‍ෂකයන්ට අදාළ වෛද්‍ය මතයෙන් තහවුරු වෙනවා මේ මරණකාරියගෙ මෘත දේහය පරීක්‍ෂා කිරීමේදී තමන් විසින් තමන්ටම වෙඩි තබාගත් බවට සලකුණු තිබෙන බව. අත්අකුරු පරීක්‍ෂාවේදී සැකකටයුතු ලේඛන පරීක්‍ෂක පැහැදිලි කරනවා මරණකාරිය විසින් ලියූ බවට සැකකරන ලියුමක තියෙන අකුරු ඇගේම බව. ඒ වගේම අපි කතාව මුලදීම ලියපු සේවිකාවගේ සාක්‍ෂියෙ තියෙනවා සිත්තැවුලකින් සිටි බව.


ඒ අනුව අවසාන වශයෙන් අධිකරණය තීරණය කරනව
1. රෝහණ ප්‍රනාන්දු ඝාතනය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවත්
2. ශ්‍යාමිණී ප්‍රනාන්දු සියදිවි හානිකරගෙන ඇති බවත්,
නමුත් මේ පරීක්‍ෂණයේදී රහස් පොලිසිය බුද්ධිමත්ව කටයුතු නොකළා නම්, මේ නිවෙසේ නේවාසිකව සිටි, මධ්‍ය රාත්‍රිය පසුවී නිවෙසට ආ ක්‍රිෂාන්ත මේ මරණය සම්බන්ධ සැකකරුවෙක් වෙන්නට ඉඩ තිබුණා. ඒ වගේ මේ නිවෙසේ රැඳී උන් වෙනත් පුද්ගලයෙක් මෙයට අසුවෙන්නටත් ඉඩ තිබුණා. රහස් පොලිසියට ලබාදුන් සමහර සාක්‍ෂි අනුව පැහැදිලිව කතාවක් ගොඩනඟා ගත නොහැකිය. සමහර සාක්‍ෂිවලින් කියවෙන්නේ මේ දෙපළ කිසිම අමනාපයකින් නොසිටි බව. ඒ සාක්‍ෂි ලබා දෙන්නේ නිවෙසේ වෙනත් මෙහෙකරුවෙක්. වෙඩි ශබ්ද නොඇසුණ බවත් කියනවා. නමුත් සෑම අවස්ථාවකම රහස් පොලිසිය ශක්තිමත්, අවශ්‍ය කරන විශේෂඥ සහායත් සමඟ ඔවුන් තවත් ශක්තිමත්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.