Header Ads

ගැහැනු ළමයකුගේ ඇඟට භූතයෙක් ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා


ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.


පපුවේ හා හිසේ කැක්කුමක් තිබෙන බව පවසමින්
පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර ගිය මේ කතාව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුද පසුවූයේ තරමක තිගැස්මකට හා බියකට පත්වය.

රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පවා දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීම නිසා ඒ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇත. දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වී තිබෙන බව දුටු වාට්ටුවේ හෙදියෝ මේ බව පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ජේ.එම්. ජයතිලක මහතාට පවසා තිබේ.

වෛද්‍ය ජයතිලක මහතා දැරිය පරික්ෂා කර බලා ඇතත් මෙසේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යාමට හේතු සාධකයක් සොයා ගැනීමට
නොහැකිවූ නිසා තවදුරටත් ඇය වාට්ටුවේ නතරකර තැබීමට තීරණය කර ඇත්තේ මෙයට හේතුව සොයා ගැනීමටය.

දැරියගේ කටෙන් වරින් වර හිටි හැටියේ කට දෙපැත්තෙන් ලේ වහනය වූ අතර වාට්ටුවේ හෙදියන් හා කාර්ය මණ්ඩලය පමණක් නොව වාට්ටුවේ සිටි රෝගීන්ද මේ දර්ශනය දැක කිසියම් තැති ගැන්මකට ලක්වී ඇත්තේ මෙය අමනුෂ්‍ය දෝශයක් නිසා සිදුවන බව විශ්වාස කිරීම නිසාය.

මෙය අමනුෂ්‍ය දෝෂයක් හෝ භූත දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව කල්පනා කළ වාට්ටුවේ හෙදියෝ කිහිපදෙනෙක් මේ හොරය කුමක්ද කියා අල්ලා ගැනීමට සෝදිසියෙන් සිට ඇතත් වරින් වර ඇයගේ කට දෙපැත්තෙන් ලේ වහනයවී ඇත්තේ එම හෙදියන්ද පුදුමයට හා විශ්මයට පත්කරවමිනි.

ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජයතිලක මහතා රෝහලේ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ අයි.එම්. නිශ්ශංක අබේරත්න මහතා සමග සාකච්ඡුා කර මේ අබිරහස සොයාගැනීමට මෙවැනි අද්භූත සිද්ධීන් ගැන දීර්ඝ කාලයක සිට ගවේශණ හා පර්යේෂණවල නියැලී සිටින විද්වතෙකු වන මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ සම්බන්ධව පර්යේෂණය කිරීමට කැමැත්ත පළකර ඇත. පොල්ගහවෙල දිසා රෝහල බලා පසුගිය ඉරිදා අප ගියේ ඒ ඉල්ලීමට අනුවය.

වෛද්‍ය ජයතිලක, හෙද සොහොයුරියන් වන පුෂ්පකාන්ති, එච්.ආර්. සාගරිකා සහ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක යන මහත්ම මහත්මීන් විසින් කැඳවාගෙන ගොස් වරින් වර කට දෙපැත්තෙන් ලේ වහනය වන දැරිය ළඟට කැඳවාගෙන යනු ලැබූහ.

භූත දෝෂයක් නිසා කට දෙපැත්තෙන් ලේ වහනය වන බව කියන දැරිය සමග කතාබහ කළ අතර ඇය එහිදී පැවසුවේ මෙවැනි කතාවකි.

”මා 11 වැනි වසරේ ඉගෙනුම ලබනවා. ඉස්කෝලෙදී පවා මගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීමට පටන්ගත්තා. මුලින්ම නහයෙන් ලේ ආවා ඊට පස්සේ දිගටම කට දෙපැත්තෙන් ලේ ගලන්නට පටන් ගත්තා. එක පාරක් දෙපාරක් වගේ ඇස් දෙකෙන්ද ලේ ගැලූවා. මාස හතරක විතර කාලයක ඉඳලා තමා මේ විදිහට ලේ ගලන්න පටන්ගත්තේ.

ඉස්කෝලේ පන්ති කාමරයේ ඉද්දි පවා මගේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්න පටන්ගත්තා. ටීචර්ලා කිව්වා මේක හොඳ කරගෙන ඉස්කෝලෙ එන්න කියා. පහුගිය වාරෙම ඉස්කෝලෙ යන්න බැරිව ගියා. සමහර ටීචර්ලාත් කිව්වේ මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් කියා යැයි” ඇය පැවසුවාය.

වෛද්‍ය ජනක ජයසූරිය - කට දෙපැත්තෙන් මේ විදිහට ලේ ගලාගෙන යන්න කළින් මොනවාගේ දෙයක්ද දැනෙන්නේ?

දැරිය - ඇගට ලොකු බරක් වගේ දැනෙනවා. සීතල ගතියකුත් දැනෙනවා. ඊට පස්සේ එක පාරටම කට දෙපැත්තෙන් ලේ ගලනවා. මගේ තාත්තගේ තාත්තා ඒ කියන්නේ මගේ අත්තා අවුරුදු හතරකට විතර කලින් මිය ගියා. 

අත්තාගේ භූත ආත්මය මගේ ඇඟට ඇතුල්වෙලා තියනවා කියා දේවාලයකින් කිව්වා. අත්තාගේ භූත ආත්මය ඇඟට ඇතුල්වෙලා ලේ උරා බොද්දි මගේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යනවා.”

වෛද්‍යවරයා - මොකක්ද දුව ඔය අතේ බැඳගෙන ඉන්න රතුපාට නූල
දැරිය - ”දේවාලයේ කපු මහත්තයා ජීවම් කරපු රතුපාට නූලක් තමා අතේ බැඳගෙන ඉන්නේ. මේ නූල අතේ බැඳගෙන ඉන්නකොට කට දෙපැත්තෙන් ලේ ගලන්නේ නැහැ.

තනියම ඉන්න වෙලාවල්වලට ටොයිලට් එකට ගියාමත් කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යනවා. ගොඩක් කට්ටියක් එක්ක ඉද්දි කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්නේ නැහැ” යැයි දැරිය පැවසුවේ වෛද්‍යවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙය වෛද්‍ය ජනක ජයසූරිය මහතාගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය. හෙද සොහොයුරියක් වන එච්.ආර්. සාගරිකා මහත්මිය මෙසේ පැවසුවාය.

”මේ ගැහැනු ළමයා වාට්ටුවේ ඉද්දි කිහිපවරක්ම එයාගේ කටින් ලේ ගැලූවා. අපි හොඳ සෝදිසියකින් ඈතට වෙලා බලාගෙන හිිටියා. එහෙම ඉද්දිත් ළමයාගේ කටින් ලේ ගලා ගියා. මෙය අපට අදහාගත නොහැකි සිද්ධියක් වුණා.

මියගිය අත්තාගේ භූත ආත්මය ඇඟට ඇතුල්වෙලා ලේ උරා බොන බව දැනෙන බව ඇය මා සමග කීවා. අත්තාගේ භූත ආත්මය ලේ උරා බීලා ඇෙඟන් පිටවෙලා යන්න සූදානම් වෙද්දි කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන බව ඇයගෙන් ඇහැව්වාම කිව්වා අත්තා තමා සමග තරහවී සිටිය බවත් ඇය පදිංචිවෙලා හිටපු ගෙදර වත්තට ආශාවකින් මියගිය බවත් ඇය මා සමග පැවසුවා යැයි”ද හෙද සොහොයුරි සාගරිකා මහත්මිය පැවසුවාය.
භූත ආත්මයක් ශරීරයට ඇතුළුවී ලේ උරා බීම නිසා කටෙන් ලේ ගලන බව කියන දැරියගේ පියාද රෝහලට පැමිණ සිටි අතර ඔහුගෙන්ද වෛද්‍ය ජනක ජයසූරිය මහතා කරුණු විමසූ අවස්ථාවේ ඔහු මෙසේ කීය.

”මාස තුන හතරක විතර කාලයක ඉඳලා තමා දුවගේ කටෙන් ලේ ගලන්න පටන්ගත්තේ. ඉස්කෝලේ ඉගෙන ගනිද්දිත් කටෙන් ලේ ගලාගෙන ගිහින් තියනවා. මුලින්ම නාසයෙන් ලේ ගලාගෙන ගිහින්. එක් වරක් දෙකක් විතර ඇස් දෙකෙන්ද ලේ ගලාගෙන ගොස් තිබෙනවා. ඊට පස්සේ දිගටම කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්නට පටන්ගත්තා.

කුරුණෑගල ඉස්පිරිතාලයට අරන් ගිහින් නැවැත්තුවා. ස්කෑන් කළා එක්ස්රේ පරීක්ෂණ කළා. කිසිම රෝගයක් නොමැති බව දුව පරික්ෂා කළ වෛද්‍යවරුන් කිව්වා. වෛද්‍යවරුන් එහෙම කිව්වේ ස්කෑන් හා එක්ස්රේ වාර්තාද පරික්ෂා කර බලමිනි. 


දොස්තර මහත්වරුන් එහෙම කිව්වත් ගෙදර ඉද්දි හිටි හැටියේ දුවගේ කටෙන් ලේ ගලාගෙන ගියා. ගෙදරට ගොඩවෙන්න හදද්දි එකපාරටම ඇඟ වෙවුලලා වගේ කටෙන් ලේ ගලන්න පටන්ගත්තා. ඒ තමා මුලින්ම ලේ ගලන්න පටන්ගත්තු දවස.


මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් බව කල්පනා කරලා දේවාලයකට එක්ක ගිහින් සාත්තුවක් කළා. ජීවම් කරපු රතු පාට නූල දුවගේ අතක බඳින්න කියා කපු මහත්තයා දුන්නා. ඒ නූල අතේ බැඳගෙන ඉද්දි කටෙන් ලේ ගලන්නේ නැහැ.

දවසක් දුව උන්නු ගමන් ගෙදරින් යන්න ගිහින්. අපි කලබල වෙලා දුව හොයාගෙන යද්දි ගමේ මිනි පිට්ටනිය ළඟ ඉන්නවා. එයාගේ කට දෙපැත්තෙන් ලේ ගලා තිබෙන අන්දම දැක්කා. දුව ක්ලාන්තය හැදිලා වැටෙන්න යද්දි අප අල්ලා ගත්තා. 


කටින් ලේ ගලමින් සිටි දුව පාරේ ගමන් කරන අන්දම ගමේ කිහිපදෙනෙක් දැක ඒ බව පැවසුවා යැයි”ද දැරියගේ පියා පැවසීය. පවුලේ තොරතුරු හෙළිකරමින් ඔහු වෛද්‍යවරයා සමග මෙසේද කීවාය.

”අගහිඟකම් නිසා බිරිඳ මැදපෙරදිග රස්සාවකට ගියා. බිරිඳ රට ගිහින් අවුරුදු හතක් විතර වුනා තවම ලංකාවට ආවේ නැහැ. ඉඳලා හිටලා මගෙත් එක්ක දුවත් එක්ක කතා කරනවා. සල්ලි එවන එකත් අඩුයි. මගේ වැඩ තහනම් කරලා අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. එක පුතෙක් හදිසි අනතුරකට ලක්වෙලා එක්තැන් වෙලා. 


මේ දුවට හොඳට ඉගෙන ගන්න පුළුවනි. බොහොම අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නේ. බොහොම අමාරුවෙන් ජීවිතය ගැට ගසාගනිද්දි තමා දුවට මේ කරදරය වෙන්න පටන්ගත්තේ. බිරියගේ අම්මා තමා දුව රැුකබලාගන්නේ. නැන්දම්මාත් දැන් රෝගාතුර වෙලා. ප‍්‍රශ්න ගොඩක ඉන්නේ.

රස්සාව හදාගන්න වයඹ දැයට කිරුළ පැවති කාලයේ ජනාධිපතිතුමාට ලියුමකින් පැමිණිලි කළා. මේ ගැන පරීක්ෂණයක් කරපු මහත්වරු ලොකු තැන්වලට දැනුම්දීලා රස්සාව හදාගන්න හදන්නේ මෙයා අපිට කිව්ව නම් හදලා දෙනවානේ කියා බැන්නා. තවම රස්සාව ලැබුණේ නැහැ යැයි දැරියගේ පියා පැවසුවේ හැඬූ කඳුළින් යුතුවය.

දවසක් එක පාරටම අතේ බැඳගෙන හිටපු රතු නූල ගැලවී ගියා. ඊට සුළු මොහොතකට පසු දුවගේ කටෙන් ලේ ටිකක් ගලාගෙන ආවා යැයි”ද ඔහු කීවේ අලූතින් වූ  සිද්ධියක් ගැන තොරතුරු හෙළිකරමින්ය.

හිටිහැටියේ කටෙන් ලේ ගලාගෙන යන දැරිය ප‍්‍රතිකාර ලබන දැරිය සිටින ඇඳ සමීපයේ රෝගයකට ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගතව සිටින ආර්.ඒ. ප‍්‍රියන්ති මහත්මිය මේ සම්බන්ධව අප සමග මෙසේ පැවසුවාය.

”මේ ළමයා පැත්තකට හැරිලා නිදාගෙන ඉද්දි එක පාරටම එයාගේ කටින් ලේ ගලාගෙන ගියා දැක්කා. රෙද්දක් පොරවාගෙන ඉඳලා ළමයා ඒ පොරෝනය ඉවත් කරද්දි කටෙන් ලේ ගලාගෙන ගොස් තිබෙනවා දැක්කා. මේ අවස්ථා දෙකේදීම නර්ස් නෝනලාට කතා කර දැනුම් දුන්නා.

මේ විදිහට ලේ ගලන්නේ ඇයිද කියා මට හිතාගන්න බැහැ යැයි”ද ප‍්‍රියන්ති මහත්මිය කීවාය. රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් කිහිපදෙනෙක් කීවේ මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් බවය.

අතේ බැඳගෙන සිටි රතු පැහැති නූල ගලවා දමන ලෙස වෛද්‍ය ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අවනත වෙමින් ඇය නූල ගලවා දමා ඇඳේ දිගා වූවාය. දැරියගේ ඇඳ සමීපයේ සිටි ප‍්‍රියන්ති මහත්මියට ඇය ගැන හොඳ සෝදිසියකින් සිටින ලෙස කල්තියා දැනුම්දී තිබූ අතර මෙන්න ළමයාගේ කටෙන් ලේ ආවා යැයි ඇය පැවසුවාය.

වෛද්‍යවරයා දැරියගේ මුඛය හා දිව ද ඉතා හොඳින් පරික්ෂා කර බලා නැවතත් ඇයට ඇඳට වී සිටින ලෙස පවසා හෙද සොහොයුරි පුෂ්පකාන්ති ඇතුළු හෙදියන් සමග කතාබස් කරමින් මේ ගැන කරුණු පැහැදිලි කරදෙමින් සිටිය අතරවාරයේ දැරියට වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා ඇත.

දැරිය වාට්ටුවේ තිබෙන වැසිකිළියට මුත‍්‍රා කිරීමට ගිය අතර ඇය පිටතට පැමිණෙන තෙක් දොර අසල හෙද සොහොයුරි සාගරිකා මහත්මිය රැුඳී උන්නාය. දැරිය වැසිකිළියෙන් පිටතට පැමිණියේ කටෙන් ගලා තිබූ ලේ සමගය.

මේ බව හෙද සොහොයුරි සාගරිකා මහත්මිය වෛද්‍ය ජනක ජයසූරිය මහතාට පැවසීමෙන් පසු ඔහු කරන ලද දැනුම්දීමක් මත රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක අබේරත්න මහතා වහා ක‍්‍රියාත්මක වී ඒ ලේ කොටස් රසායනාගාර පරික්ෂණයකට ලක්කිරීම සඳහා ලබා ගත්තේය.


දැරියගේ කට ප‍්‍රදේශයේ කැටිවී තිබියදී ලබාගත් ලේ රසායනාගාර පරීක්ෂාවකට ඒ මොහොතේම ලක්කර ඒවා බී නෙගටිව් කාණ්ඩයට අයත් බව පැවසීය. දැරියගේ සිරුරෙන් ද ලේ සාම්පලයක් ලබාගෙන එයද පරික්ෂා කර බලා අබේරත්න මහතා පැවසුවේ එයද බී නෙගටිව් කාණ්ඩයට අයත් බවය.

ලේ සාම්පල් මෙවැනි පරික්ෂාවකට ලක්කරනු ලැබුවේ කටින් පිටව තිබුණේ මිනිස් ලේ ද එසේත් නොමැති නම් වෙනත් වර්ණකයක්ද යන්න ගැන විද්‍යාත්මකව සොයා ගැනීමටය.

දැරියගේ කටෙන් පිටවී ඇත්තේ ඇයගේම ලේ බව සැකහැරගත් පසු කටෙන් මෙසේ ලේ පිටවන්නේ කෙසේද යන්න හෙළිකර ගැනීම වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඉදිරියේ පැවති ඊළඟ අභියෝගය විය.

පැය තුනක පමණ ගවේෂණයකින් පසු දැරියගේ කටෙන් ලේ ගලාගෙන යන රහස හෙළිකර ගැනීමට වෛද්‍යවරයා සමත්විය.
වෛද්‍යවරයා කළ ඒ ගවේෂණය ද මේ සමගම පළකර ඇත.

මෙම සිදුවීම භූත දෝෂයක් අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව හෙළිකරගත් වෛද්‍යවරයා ඒ කරුණු කාරණා ගැන වෛද්‍ය ජයතිලක මහතාට දැනුම් දුන්නේය.

දැරියගේ කටෙන් ලේ ගැලීමේ අබිරහස හෙළිකරදීම ගැන වෛද්‍ය ජයතිලක මහතා වෛද්‍ය ජයසූරිය මහතාට කෘතඥතාව පළකර සිටියේ අතට අත දීමෙනි. පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජේ.එම්. ජයතිලක මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කීය.

”කටෙන් ලේ ගලායාම දැනගත් පසු මා දැරියව පරික්ෂා කළා. ලේ ගලාගෙන යන ආකාරය ගැන හෙළිකර ගැනීමට ඇයගෙන් ප‍්‍රශ්න කළත් ඒ ගැන වචනයක්වත් ඇය හෙළිකළේ නැහැ. 


මියගිය අත්තාගේ ආත්මය සිරුරට ඇතුළුවූ පසු මෙවැන්නක් සිදුවන බව පමණයි ඇය දිගින් දිගටම කීවේ. එතැනින් එහාට කිසිම දෙයක් කිව්වේ නැහැ. දැරියට කිසියම් මානසික ආතතියක් තිබෙන බවක් ඇය හා කළ කතා බහේදී පෙනී ගියා.

කෙසේ වෙතත් මේ ලේ ගලන රහස හෙළිකර ගැනීමේ අවශ්‍යතාව මට තදින්ම දැනුනා. මෙවැනි අද්භූත සිදුවීම් ගැන පර්යේෂණ ගවේෂණයන්හි නිරතව සිටින වෛද්‍ය ජනක ජයසූරිය මහතාට මේ ගැන දැනුම්දීමට තීරණය කර දුරකථන අංකය සොයාගෙන ඔහුට මම කතා කළා. 


වෛද්‍ය ජයසූරිය මහතා ඔහුගේ වටිනා කාලය කැපකර මේ ගැන පර්යේෂණයක් කිරීමට පැමිණීම ගැන ඔහුට මා ඇතුළු රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේම ස්තුතිය පුද කරනවා. 

ඒ වගේම මේ වගේ අද්භූත දේවල් ගැන කෙරෙන පර්යේෂණ ගැන ජනතාවට ඇත්ත පහදා දෙමින් දැනුවත් කිරීමේ මහඟු කාර්යක නිරතව සිටින ඉරිදා ලංකාදීපයටත් අපේ විශේෂ ස්තුතිය පුදකරනවා යැයි වෛද්‍ය ජයතිලක මහතා කීය.

මේ දරුවාගේ හිසේ හා පපුවේ කැක්කුමක් තිබෙන බව පවසා රෝහල්ගත කළේ. නළලේ සෙම තිබෙන බව පෙනීගියා. කටින් ලේ ගැලීමක් තිබෙන බව පැවැසූ නිසා රෝගයකට  ප‍්‍රතිකාර ලබාදීමට තීරණය කළා යැයි”ද වෛද්‍ය ජයතිලක මහතා පැවසීය.

වෛද්‍ය ජනක ජයසූරිය මහතා දැරිය සම්බන්ධව පර්යේෂණයක් කර අවශ්‍ය උපදෙස් ඇයට ලබාදී ගිය පසු කටින් ලේ වහනයක් සිදු නොවූ නිසා පසුදින (18) රෝහලෙන් ටිකට් කැපූ බව රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක අබේරත්න මහතා පැවසුවේ වෛද්‍යවරයා කළ මේ කටයුත්ත ගැන හා ඉරිදා ලංකාදීපයට ද විශේෂ ස්තුතියක් පුදකරමිනි.

මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් වන රෝහණ තෙන්නකෝන් මහතාද වෛද්‍ය ජයසූරිය මහතාගේ ගවේෂණය දැක බලාගැනීමට පැමිණ සිටියේය. භූත යක්ෂ බලවේග වලින් සිදුවනවා යැයි කියන සිදුවීම් සිය ගණනක් ගැන මා පර්යේෂණ කරලා ඒවා එසේ නොවන බව සාධක ඇතුව හෙළිකර ගෙන තිබෙනවා. ඒත් මෙවැනි ආකාරයක සිද්ධියක් ගැන පර්යේෂණයක් කළේ මුල්වතාවට යැයි වෛද්‍ය ජයසූරිය මහතා කීය.



මෙම පර්යේෂණය සාර්ථක කරගැනීමට රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලොකු සහායක් ලැබුණා. එයට ඔවුන් සැමටම ස්තුතිය පුදකළ යුතුයි. මේ ගැන මාහට දැනුම්දී පර්යේෂණයක් කිරීමට ආරාධනය කිරීම ගැන වෛද්‍ය ජයතිලක මහතාටත් විශේෂ ස්තුතියක් පුදකළ යුතුව ඇතැයි වෛද්‍ය ජයසූරිය මහතා පවසයි.

දැරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබටත් අත්වැලක් විය හැකිය. යම් උපකාරයක් කළ හැකිය. 


මෙය ඉතා සුළු මානසික ව්‍යාකූල තත්ත්වයක්

මේ කථාව දෙස අප මනෝවිද්‍යාත්මක සහ සමාජයීය යන පැතිකඩ දෙකම ඔස්සේ බැලිය යුතු වෙනවා. තමාගේම ශරීරයට තුවාල කර ගැනීම, හිංසා, පීඩා කර ගැනීම හඳුන්වන්නේ DELIBERATE SELF HARM (DSH) නමින්. වයස අවුරුදු 10 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් අතර මේ තත්ත්වය වඩාත් දැකිය හැකියි. 

මෙහි විශේෂත්වය නම් මේ අය තම ශරීර අවයවයකට තුවාල කරගැනීම, කෙස් ඇදගැනීම, කපාගැනීම, තියුණු දේවලින් ශරීරයට ඇනගැනීම වැනි දේ කළත් ඒවා කරන්නේ මරණය බලාපොරොත්තුවෙන් නොවීමයි. 

එනම් ඒවා මරණීය චේතනාවකින් කරන ඒවා නොවේ. මේ තත්ත්වය දරුණු මානසික රෝගයක් නොවේ. බොහෝ අය වෙතින් මානසික රෝග ලක්ෂණයන් දකින්නට ලැබෙන්නේත් නැහැ.

එහෙත් මානසික ආතතිය, පෞරුෂත්වයේ බිඳවැටීම්, විශාදය වැනි තත්ත්ව ඇති අය මඟින් මේ ක‍්‍රියාකාරකම් දිස්විය හැකියි.

මේ දැරිය ඉතා අහිංසක, ගැමි දැරියක්. කිසිවකු රැුවටීමේ, කිසිවකුට බොරුවක් කිරීමේ වුවමනාවක් ඇයට නැහැ. තම වයසට හිමි දයාව, කරුණාව, සෙනෙහස, ආදරය හා අවධානය ආදියේ අඩුවක් ඇති කල්හි  ඕනෑම අයකු ඒවා ලබාගැනීමට කුමක් හෝ කරනවා. ඇතැම් අය ඒවා කරන්නේ ඉතාම අහිංසක චේතනාවකිනි. මේ දැරියත් එසේමයි.

ඇගේ මුවින් රුධිරය වහනය වූ ආකාරය පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයේ පවා වූයේ කුකුසකි. ඊට පෙර දින ඇගේ මුව වටා රුධිරය තැවරුණු වහාම වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය හෙද සොයුරිය හා වෛද්‍යවරයකු මුල්වී ඇය පරික්ෂා කළත් කිසිදු ”සාධකයක්” හමුනොවූ බව හෙද සොයුරිය අප හා පැවසුවා. 


මෙය අදෘශ්‍යමාන බලවේගයක් නිසා සිදුවන දෙයක් බවට සැක කරන්න අවශ්‍ය වටපිටාව ඒ වනවිට නිර්මාණය වී තිබුණා.එහෙත් දෙවියන්, යකුන්, භූතයන්, හොල්මන් හා අවතාර ආදිය මිනිසාගේ මනඃකල්පිත නිර්මාණයන් පමණක් නිසා මේ රුධිර වහනය ඇය විසින්ම සවිඥානකව හෝ අවිඥානකව කරන්නක් බව මා අවධාරණය කළා.

අප වාට්ටුවේ සිටියදීත් දෙවතාවක් ඇගේ මුව වටා ලේ තැවරී ගියා. මම ඇය පරික්ෂා කළත් කිසිදු තුවාල වීමක් දක්නට ලැබුනේ නැහැ. 


ඇගේ මුවවටා තැවරී තිබුණු රුධිරය ඇගේ රුධිර ඝනය හා ගැළපෙන්නේ දැයි පරික්ෂා කර බලන ලෙස මා රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිශ්ශංක මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ රුධිරය ඇගේ රුධිර ඝනය හා ගැළපෙන බැව් ඔහුගේ පරික්ෂාවෙන් තහවුරු වුණා.

අප කාටත් ප‍්‍රශ්නය වූයේ මුව වටා තවරාගැනීමට ඇය රුධිරය ලබාගන්නේ කෙසේද යන්නයි. පියාගේ අවසරය ලබාගෙන ඇයව කෙටි වශීකරණයකට ලක්කළ විට ඇය ඇගේ ‘‘සියලූ තොරතුරු’’ මා හා පැවැසුවා. රුධිරය තැවරීමත් ඒ සමඟම නිමාවුනා.

මා මුලින් සඳහන් කළ අන්දමට ඇය ඉතා අහිංසක දැරියක් බව යළිත් සිහිපත් කළ යුතුයි. ඇයට දැඩි ‘‘නීති රීති’’ වෙනුවට ‘‘දයාබරිත වදන්’’ අවශ්‍යයි. ඇගේ සහෝදරයන් ඇයව පණමෙන් ආරක්ෂා කරන බව ඇත්තක් වුවත් ඇගේ තාරුණ්‍යයේ සිතිවිලි තේරුම් ගැනීමට මව තරම් සුදුසු කෙනෙක් තවත් නැහැ.


ඇය රුධිරය තවරාගන්නේ සිතාමතා නොවෙයි. එය අවිඥානකව සිදුවන්නක්. ඒ නිසා ඇය කපටි හෝ බොරුකාරියක් ලෙස කිසිවිටෙකත් සිතිය යුතු නැහැ. මා සමඟ කරන ලද කතාබහේදී අධ්‍යාපනයට ඇගේ ඇති කැමැත්ත මට පෙනීගියා. සියල්ල අමතක කර ඇගේ අධ්‍යාපන කටයුතුවලට ආධාර කිරීමයි කළ යුතු වන්නේ. 


එහෙත් ඇගේ පියාගේ රැුකියාව අහිමි වී යාම ඇයට කම්පනයක් ගෙන දී තිබෙනවා. ඔහුට සුදුසු රැුකියාවක් ලබාගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් සහ මවගේ ආදරණීය රැුකවරණයක් සේම ආදරය හා කරුණාව ඇයට නොඅඩුව ලැබෙන්නේ නම් ඇය රටට වැඩදායක, උගත් දියණියක් බවට පත්වේවි.

මේ සිදුවීම මෙතනින් අමතක කර දමන්නැයි මා ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී දේවාල වල පිහිට පැතීම අනවශ්‍ය බව මා ඇගේ පියාට පහදා දුන්නා. මේ ප‍්‍රශ්නය දුරදිග යන්නට නොදී, ඒ දැරියගේ අනාගතය සුරක්ෂිත කිරීමට දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී ජයතිලක මහතාත්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිශ්ශංක මහතාත් මැදිහත් වීම ගැන ඔවුනට ස්තුතිවන්ත විය යුතු වෙනවා.


ඊනියා භූතයන් කරනවා යයි කියන මෙවැනි දේ ගැන තොරතුරු ඇතොත් අපට දැනුම් දෙන්න. ඊට විසඳුම් ලබාදෙන්නට අප සූදානම්.




මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.