Header Ads

උසින් දෙවැනි තැන ගන්නා කුරුඳුඔය ඇල්ලත් ඉවරයි


ලංකාවේ ප්‍රධාන දියඇලි අතර උසින් දෙවැනි තැන ගන්නා මීටර් 189ක් උස මතුරට, කුරුඳුඔය ඇල්ල පාමුල ජල පෝෂකයට හානි සිදුවන අයුරින් මහා පරිමාණයෙන් කළුගල් කැඩීමක් සිදුවන බව වාර්තා වෙයි. මේ වනවිට ගල් කියුබ් 500ක් පමණ කඩා
එහි ගොඩගසා තිබෙන අතර මෙම සංවේදී කලාපයේ ගල්වෙඩි දැමීම නිසා අක්කර 3ක පමණ බිම් ප්‍රමාණයක් පුරා විශාල කළුගල් කුට්ටි විසිරී තිබෙන බව කියයි.


එම කළුගල් කුට්ටි එතරම් දුරකට විසිවීම අනුව එම ගල්කඩන්නන් ඒ සඳහා කෙතරම් වෙඩි බෙහෙත් ප්‍රමාණයක් භාවිත කරන්නේද යන්න තහවුරු වන අතර ඒ හේතුවෙන් ඉහළින් තිබෙන ගල්කුට්ටි හා පස් කඳු පහළට කඩාවැටීමේ අවදානමක් පෙනෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම දර්ශනීය දියඇල්ලේ සම්පූර්ණ උස මීටර් 400කට ආසන්න වුවද එය කොටස් දෙකකට කඩාහැලීම නිසා ලංකාවේ දෙවැනි උස දියඇල්ල ලෙස නම් කර ඇත. මෙම දියඇල්ලට යෑමට මාර්ගයක් නැති අතර මෙය අතිදුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති නිසා සංචාරක ආකර්ෂණයෙන් ගිලිහී තිබේ.

නුවරඑළිය-රාගල මාර්ගයෙන් උඩුපුස්සැල්ලාවට පැමිණ බෘෘක්සයිඩ් හන්දියෙන් හැරී හයිපොරස්ට් වත්තේ තුන් වැනි කොටසින් මතුරට, රිළාමුල්ල හරහා ගොස් කිලෝමීටරයක පමණ දුරක් පයින් යෑමෙන් පසු මේ තැනට ළඟාවිය හැකිය. අනෙක් ප්‍රවේශ මාර්ගය වන්නේ වලපනේ, මහඋෟව වත්තට ගොස් ඩෑම් ඩිවිෂන් හරහා කි. මී. 4ක දුරක් අති දුෂ්කර මාර්ගයක ගොස් කි. මී. 1/2ක් පමණ පයින් යා හැකි මඟකි.

එහෙත් මෑතක සිට රක්ෂිතය හරහා මෙම දියඇල්ල පාමුලටම යා හැකි ලෙසට පාරක් කපා තිබේ. මැෂින් සවිකොට කම්කරුවන් කීපදෙනෙක්ද උපයෝගී කරගෙන කළුගල් කඩා එහි රැස්කර ඇත.

මේ සම්බන්ධයෙන් අවට පළාත් පාලන ආයතන මෙන්ම වගකිවයුතු නිලධාරීන්ද කිසිදු තොරතුරක් නොදන්නා හෙයින් අපි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතාගෙන් ඒ ගැන විමසුවෙමු.

'අපි දැනුම්වත්ව නෙවෙයි ඔහොම දෙයක් වෙන්නේ. මටත් ඒ ගැන පැමිණිල්ලක් ලැබුණා. මම ඒ බව ජනාධිපතිතුමාට සහ මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නා' යනුවෙන් ඒ මහතා පැවැසීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.