Header Ads

චිත්‍රපටිවල සිප ගත්තේ ඇත්තටමද..?




රන්ජන් රාමනායක


මගේ සිනමා ජීවිතයේ පළමු සිප ගැනීමේ දර්ශනය කළේ සංගීතා එක්ක. 'දුවට මවක මිස' චිත්‍රපටයේ තමයි ඒ දර්ශනය තිබුණේ. සුමිත්‍රා පීරිස් මහත්මියගේ කලාත්මක චිත්‍රපටයක්. සුමිත්‍රා පීරිස් මහත්මිය කතා කරලා මට කිව්වා රන්ජන් මේකේ කිස් කරන සීන් එකක් තියෙනවා කියලා. බොරු කියන්න ඕනෙ නෑනේ මට අවංකවම සතුටක් දැනුණා. ඒ කාලේ සංගීතා ගැන හරි ආදරයක් තිබුණා. ඉතින් මම හරිම ආසාවෙන් කැමැති වුණා. නන්දදේව කියලා කැරැක්ටර් එකක් කළේ. ගාල්ලේ ෂූටින් කළේ. සීන් එක ඉවර වෙලා මට ගෙදර එන්න දුකයි. ඒත් මේක ෆිල්ම් එකක්නේ. මගෙත් තරුණ කාලේ. ෆිල්ම් එක ඉවර වෙද්දි මගේ හිත ඇත්තටම සංගීතා එක්ක ආදරෙන් බැඳිලා. සංගීතා ඉන්නවා ගාණක් නැතිව. ඒත් මට දුකයි. ඒ වගේ දර්ශනවල ඉන්න එක හරි භයානකයි. ආදර දෙබස් කියන, ගහගන්න දර්ශන වගේ නෙවෙයි. ඒ වගේ දර්ශනයක් කළාම ආදරයක් ඇති වෙනවාමයි. මම දන්නේ නෑ අනෙක් අය ගැන. මට නම් ඇතිවෙනවා. ගෙදර ආවට පස්සේ ලොකු ආතතියක් තමයි දැනෙන්නේ.




ඒ දර්ශන කළාට පස්සේ අවංකවම මම සංගීතාට ආදරේ වුණා. ඒක මගේ හිතේ තදින් කාවැදිලා තියෙන්න ඇති. බහු භාර්යා එකට උදයකාන්ත කතා කළාම මට ටක් ගාලා මතක් වුණේ සංගීතාව. මේ චිත්‍රපටයේ අභියෝගාත්මක චරිතයක් තිබුණා තේජා කියලා. රාගාධික බිරියකගේ චරිතයක්. මේ චරිතයට සංගීතාට හොඳම නිළියට හිමි සම්මානයත් ලැබුණා. මේ චරිතය රඟපාන්න බොහෝ දෙනෙක් බය වුණා. සබීතාට කතා කළා. නිල්මිණිට කතා කළා. ඒ අය බය වුණා. සංගීතා බොහොම රැඩිකල් තීරණයක් අරන් ඒ චිත්‍රපටයේ රඟපාන්න ආවා. රූගත කිරීමේදී දර්ශන තලයේ හිටියේ කැමරා ශිල්පියා වුණු ප්‍රියනාත්, අධ්‍යක්ෂ වුණු උදයකාන්තත් විතරයි. අනෙක් අය ඉවත් කළා. ඉතාම ලස්සනට රූගත කළා. ඒ චරිතයට මම බොහොම ආධ්‍යාත්මිකවත් බැඳිලා හිටියේ. අවට ඉන්නේ කවුද කියලාවත් මට මතක නෑ. ඇත්තටම රොමැන්ටික්. ඒ වගේ චිත්‍රපට ඉවර කරලා ගෙදර යද්දි අඬන තත්ත්වයට පත් වෙනවා. අධ්‍යක්ෂවරයා තුන්පාරක් කට් කියලාත් මට නම් ඇහුණේ නෑ. සුමාන දෙකක්වත් යනකල් මට නම් අමතක වෙන්නේ නෑ, ඒ නිසයි මං කිව්වේ ඒවා බොහොම භයානක දර්ශන. ආත්මීයව ඒවාට බැඳෙනවා.



යුරේනි නොෂිකා

මේ චිත්‍රපටය අද වෙනතුරුත් මම දැකලා නෑ. චිත්‍රපටය කළේ 2009 අවුරුද්දෙයි. දැන් අවුරුදු පහක් වෙනවා. අවාසනාවට තවමත් සිනමාහල්වලට ආවේ නෑ.

මේ චිත්‍රපටයේ ළමයෙක් පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන්නේ ෆිල්ම් සෙට් එකක. එයාගේ අම්මයි තාත්තයි කියන්නේ හයර් එකට ගත්තු නළු නිළියෝ. නමුත් එයා හිතන් ඉන්නේ ඒ ඇත්තටම අම්මයි තාත්තයි කියලා. පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකල් එයාගේ ලයිෆ් එක රියලිටි ෂෝ එකක යනවා. හැබැයි එයා දන්නේ නෑ. ඒ එයාගේ ජීවිත කතාව කියලා.



මේ ෆිල්ම් එකට අනුව නීතිරීති තියෙනවා. මේ චරිතය කරන්නේ නිනෝ. කතාවේ නීති වලට අනුව නිනෝට කා එක්කවත් යාළු වෙන්න බෑ. හැබැයි නිනෝ ඒක දන්නෙත් නෑ. අපිට අවවාද කරලා තියෙනවා නිනෝ එක්ක කිසිම සම්බන්ධතාවක් ඇති කර ගන්න එපා කියලා. ඒ නීති කැඩුවොත් අපිට සෙට් එකෙන් අයින් වෙන්න වෙනවා. මගේ නම නුනූ. නිනෝ ඇත්තටම මාත් එක්ක ආදරයෙන් බැඳෙනවා. මාත් ඔහු එක්ක ආදරයෙන් බැඳෙනවා. මම දන්නවා මේක නීති විරෝධී වැඩක්, මට අයින් වෙන්න වෙනවා කියල. ඒත් නිනෝ හිතන්නේ මේක එයාගේ ඇත්ත ජීවිතේ, එයාට ආදරයක් ලැබිලා තියෙනවා කියලා.
සිප ගැනීමේ දර්ශනය ආවේ අපි වෙන් වෙන තැනට. මං දන්නවා දැන් වෙන් වෙනවා කියලා. ඒත් නිනෝ ඒක දන්නේ නෑ. එතකොට ඒ සිපගැනීම තුළ දුක තියෙනවා. ආදරය තියෙනවා, වෙන්වීමේ දුක තියෙනවා ඒ හැම දේම ඒ දර්ශනය තුළ තියෙනවා. ඒ සිපගැනීමෙන් පස්සේ මං ඒ සෙට් එකෙන් අයින් වෙනවා.




ඒ දර්ශනය අපි දෙන්නා ඇත්තටම කළා. නිර්මාණයක් කරද්දි චකිතය කියන එක තියෙන්න බෑ. ඒ වගේ දෙයක් ජාත්‍යන්තර සිනමාවේදී සාමාන්‍ය දෙයක්. චිත්‍රපටයක නළුවෙක් නිළියක් සිපගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. චරිතයට සාධාරණයක් කරන්න අවශ්‍ය නම් ඒ සීන් එක කරන්න ඕන. අපි හරි වෘත්තීය මට්ටමෙන් ඒ දේ කළා. මම හිතන්නේ නිනෝගේ ජීවිතයේ පළමු නිර්මාණය කළේ මාත් එක්ක. ඒ නිසා මට සිද්ධ වුණා නිනෝට පොඩි සපෝර්ට් එකක් දෙන්න. පළවැනි එක නිසා නිනෝට පොඩි ලැජ්ජාවක් තිබුණා. බයෙන් හිටියේ. මගෙත් ඒ වගේ දර්ශනයක් කරපු පළමු වතාව. මගෙත් පොඩි තැතිගැන්මක් තිබුණා. අන්තිමට අපි දෙන්න කතාවෙලා රිලැක්ස් එකේ පිටපතට අදාළව ඒ දර්ශනය සාර්ථකව කළා. වැඩිය මහන්සි වෙන්න වුණේ නෑ. ටේක්ස් දෙකෙන් සීන් එක
ගන්න පුළුවන් වුණා.



සනත් ගුණතිලක

චිත්‍රපටයක සිප වැලඳ ගැනීමේ දර්ශන රටක සංස්කෘතිය, සභ්‍යත්වය වැනි දේ මත රටකින් රටකට වෙනස් වෙනවා. ඒ රටේ ඇති පරීක්ෂක මණ්ඩලය තිබෙන්නේ චිත්‍රපටයේ කතා තේමාවන් දර්ශනය සඳහා ඇති අවශ්‍යතාවන්් තිරගත කිරීමෙන් පසු ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන කල්පනා කර සුදුසු පරිදි කටයුතු කිරීමටයි. මා විශ්වාස කරන විදියට අපේ රටේ එවැනි බුද්ධිමත් වාරණ මණ්ඩලයක් ඇති නිසා සුදුසු අවස්ථාවල සුදුසු පරිදි කටයුතු කිරීමට ඔවුන් සමත් වුණා. නළුවකු වශයෙන් මා එවැනි සිප වැලඳ ගැනීමේ දර්ශනයකදී සැලකිලිමත් වන කරුණු කිහිපයක් තියෙනවා. එවැනි සිප වැලඳ ගැනීමේ දර්ශනයක් හෝ නිදි යහනක දර්ශනයක් හෝ ඊට අනුරූප දර්ශනයක් සැබවින්ම තිරනාටකය විසින් ඉල්ලා සිටිනවාද යන්න ගැන මා මුලින්ම උනන්දු වෙනවා.



දෙවනුව එම දර්ශනය මෙහෙයවන අධ්‍යක්ෂවරයා සහ කැමරා ශිල්පියාට අවශ්‍ය වී ඇත්තේ දර්ශනයේ අන්තර්ගතය උලුප්පවා ගැනීමටද නැතිනම් වෙනත් යම් අරමුණක් ඉටු කරවා ගැනීමටද යන්න මා සැලකිලිමත් වෙනවා.
වඩා වැදගත්ම කරුණ වන්නේ මා සමඟ රඟපාන අනෙකුත් රංගන ශිල්පිනියන් මෙම දර්ශනය පිළිබඳ කුමන අනුකූලතාවක් දක්වනවාද යන්නයි. ඇය අකැමැත්තෙන් තොරව දක්වන සීමාවන් මා මුලින්ම ඇයගෙන් විමසා සිටිනවා. තම බුද්ධිමත් භාවය සහ චිත්‍රපටයේ චරිත සහ කතාව අවබෝධ කර ගැනීමේ ඥානය වගේම තම ස්ත්‍රීත්වය යන කරුණු මුල්කරගෙන මෙම සීමාවන් ශිල්පිනියකගෙන් ශිල්පිනියකට වෙනස් වූ අවස්ථා එමටයි. (මොනම කරුණක් නිසාවත් මොනම ශිල්පිනියක් සමඟවත් ඇයගේ අවසරයකින් තොරව මම එම සීමාවන් ඉක්මවා ගිහින් නෑ.) නළුවකු සහ නිළියකගෙන් එවැනි දර්ශනයක් හරියාකාරව ඔවුන්ගේ සිත් නොතළා ලබාගැනීමට හැකි මා දුටු දක්ෂතම අධ්‍යක්ෂවරයා තමයි තිස්ස අබේසේකරයන්.



එතුමා එකල මාවත් වෙනත් නළු නිළියනුත් හසුරුවන ලද ආකාරය මම දැකලා තියෙනවා. එවැනි දර්ශනයක් රඟපෑමට කැමතිම නිළිය කවුදැයි මගෙන් ඇසුවොත් දෙවරක් නොහිතා දෙන උත්තරය වන්නේ ගීතා කුමාරසිංහයි. ඇයගේ රංගන කෞෂල්‍යයත් නිසඟ ආකර්ෂණයත් නොව චරිතයක් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව අති විශිෂ්ටයි. පාලම යට, රාජ්‍ය සේවය පිණිසයි, තිරගත නොවූ වාසුලි ඇතුළු චිත්‍රපට රැසක ඇයගේ මෙම අවබෝධාත්මක රංගනය තුළින් මට ලැබුණු සහාය අති මහත්. මල්සර දෝණි, ඔබටයි ප්‍රියේ ආදරේ වැනි චිත්‍රපටවල ඇයගේ පෙම්වතා ලෙස මම රඟපෑමේදී ඇය ලබාදුන් ගෘංගාරය අමුතුම මිහිරක්.
මා එවැනි දර්ශනයක් මුලින්ම රඟපෑවේ ඔක්කොම රජවරු චිත්‍රපටයේ නදීකා ගුණසේකරත් සමඟයි. මමත් නදීකාත් තරුණ අඹු සැමි යුවළක් ලෙස රඟපෑවා. කතාවේ හැටියට නදීකාගේ පරණ පෙම්වතා අපේ පවුලට හිරිහැර කරන්නට පටන් ගැනීමත් සමඟ අපේ කිට්ටු සම්බන්ධය දෙදරා යනවා.



ඒ හින්දාම මුල් දර්ශනවලදී අපි දෙදෙනා ඉතාම තරුණ යුවළක් ලෙස හැසිරිය යුතුව තිබුණු අතර එක් දර්ශනයක දී මම උදේ රාජකාරියට පිටත් වන විට ඇගේ නළල සහ දෙකොපුල් සිඹ පිටත්ව යන දර්ශනයක් තිබුණා. නමුත් එහිදී මමත් නදීකාත් කතාකරගෙන ඉතාම ශිෂ්ට විදියට දෙතොල් සිප ගැනීමකට ගියේ එම තිර රචනයේ තිබූ දෙදෙනාගේ ළයාන්විත බැඳීම නිසයි. අධ්‍යක්ෂවරයාටවත් නොකියා අපි කරපු දේ දුටු අධ්‍යක්ෂවරයාත්, කැමරා ශිල්පියාත් කෙතරම් ප්‍රබෝධයට පත්වුණාද කිව්වොත් තත්ත්පර ගණනකදී සිදුවූ එම සිප ගැනීමෙන් පසුවත් ඔවුන්ට කැමරාව නවත්වා ගැනීමට නොහැකි වුණා. මා සහ නදීකාගේ හිතාදර සිවදාසන් ඔහු සිනමාවේ දැකපු හොඳම පෙම් යුවළ සනත්-නදීකා කියලා අදටත් කියයි. ඒ වගේම මගේ මුල්ම චිත්‍රපටයක් වන දෙවැනි ගමනේත් එච්.ඩී. ප්‍රේමරත්නගේ අනුමැතිය යටතේ එවැනි දෙතොල් හාදුවක් තිබුණා. එය කරන්න ගිහින් මගේ පපුව නැවතුණා. ඒ ඇයි කියලා මම අදටත් දන්නේ නෑ.



ගීතා කුමාරසිංහ

චිත්‍රපටයක කොච්චර ඒ වගේ සුන්දර ජවනිකා තියෙනවද? චරිතයට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒවා අපිට කරන්න වෙනවා. මට තියෙන දුක මට එහෙම අභියෝග ආවේ නෑ. සුමිත්‍රා පීරිස් මහත්මියගේ ලොකු දුව චිත්‍රපටයේ දෙතොල් සිපගන්නවා වගේ හැඟීමක් දෙන දර්ශනයක් තිබුණා. ජැක්සනුයි මමයි තමයි ඒක කළේ. මූණ හුඟාක් ළං වෙනවා වගේ පෙන්වනවා. එතකොටම අනිත් පැත්තට කැමරාව කැරකෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ මේ දෙදෙනා දෙතොල් සිපගන්නවා කියලා තමයි.



අනිත් චිත්‍රපටවල ලොකුවට එහෙම තිබුණේ නෑ. එහෙම හැඟීමක් මිනිස්සුන්ට දෙනවා. දෙයියම්පල්ලා ඇත්තට නම් ඒ වගේ සීන් එකක් කරලා නෑ. අපේ චිත්‍රපටවල ඒවා පෙන්නුවෙත් නෑනේ. පෙන්නුවත් ඔළුවට හරි කවර් කරලා තමයි පෙන්වන්නේ. ලිංගික දර්ශනයක් නම් කකුල් දෙක විතරයි පෙන්නන්නෙ. ගොඩක් ඒවා හරිම සංයමයෙන් කළේ. අපිටත් වඩා අධ්‍යක්ෂවරු තමයි සංයමයට පත් වෙන්නේ. මට මීට වඩා හොඳ සිපගැනීමේ දර්ශනයක් කරන්න තිබුණා. එහෙම දෙයක් කරන්න නොලැබීම ගැන අද මම කනගාටු වෙනවා. ඒවා හැංගීමේ අවශ්‍යතාවක් නෑ. මොකද රංගනයේදී කාටවත් බොරු සදාචාරයක් ඉස්සරහට දාලා පැනලා යන්න බෑ.



ඇත්තටම මට මීට වඩා කරන්න තිබුණා. කොටින්ම පෙම්බර මධූ එකේ දර්ශනයක් තියෙනවා නිරුවත් යුවළක් අෑතට දුවගෙන යනවා. ඒකෙදි මං වෙනුවට දිව්වේ කොල්ලෙක්. ඒ වගේ හරි සංයමයකින් කළේ. එවැනි දර්ශනයක් ඇතුළත්වීම බොහොම සුන්දර දෙයක්. වල් දෙයක්වත් වනචර දෙයක්වත් නොවෙයි. චිත්‍රපටයක දෙදෙනකුගේ ආදරය ප්‍රකාශ කර ගැනීමට එවැනි දෙයක් යොදා ගැනීමේ වැරැද්දක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. සිප ගැනීම කියන්නේ ලොකු කුණුහරුපයක් නොවෙයි. චිත්‍රපට බලන්න එන්නේ ඒවා ගැන දන්නේ නැති අය නෙවෙයිනේ.



සනත් එක්කත් එවැනි මූණ සමීපව ළං වෙලා ඉන්න දර්ශන තිබුණා. සනත් කියනවා නම් මම තමයි එවැනි දර්ශනයකට හොඳම කෙනා කියලා. මට සනත්ට කියන්න තියෙන්නේ අපරාදේ සනත් අපි දෙන්නට මීට වඩා හොඳ දර්ශනයක් කරන්න තිබුණා.

උපුටාගැනීම - මව්විම 
සුභාෂිණී ගුණරත්න

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.