Header Ads

ISIS සටන්කාමීන් අතර ඇමරිකානු ජාතිකයින් 300ක්

ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් අතර ISIS ඇමරිකානු ජාතිකයින් 300ක් පමණ සිටින බව ඇමරිකානු නිලධාරීන් විසින් පවසා ඇතැයි වාර්තා වේ.
ඔවුන් පවසා ඇත්තේ මෙම පුද්ගලයන්
පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි. ඇමරිකානු ගමන් බලපත් හිමියන් සිය ගණනක් අයිසිස් හා එක්ව සටන් වදින බව දන්නා නමුත් ඔවුන් මේ වන විට සිටින්නේ සිරියාවේද ඉරාකයේද යන්න අපැහැදිලි බව එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් පවසා තිබේ.
මින් පෙර පළවූ වාර්තා වලට අනුව සිරියාව තුළ සටන් වදිමින් සිටි ඇමරිකානු ජාතිකයින් සංඛ්‍යාව 100ක් පමණ බව පැවසිණි. කෙසේවෙතත් මේ පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විමසූ විට ඔවුන් ප‍්‍රතිචාර දක්වා නොමැති බවද පැවසේ.
රාජ්‍ය සටන්කාමීන් සිරියාවේ සිට ඉරාක දේශසීමාව තරණය කළ පසු විශාල ප‍්‍රදේශයක් සිය ග‍්‍රහණයට ගැනීමට සමත්ව තිබේ.
පසුගියදා ඉස්ලාමික රාජ්‍ය සාමාජිකයකුවූ ඇමරිකානු ජාතික ඩග්ලස් මැක්ආතර් මැකේන් නිදහස් සිරියානු හමුදාව අතර ඇතිවූ ගැටුමකදී ඝාතනය වී ඇතැයිද වාර්තා වේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දුන් අතර ඇමරිකානු නිලධාරීන් ඒ පිළිබඳ අවබෝධයකින් සිටි බව පවසා තිබේ. මැකේන් ඔහුගේ ට්විටර් ගිණුම තුළ ඉස්ලාමික රාජ්‍යයට සහය පළ කර තිබූ බවද පැවසේ.
ඇමරිකානු නිලධාරීන් පවසා ඇත්තේ මෙවැනි පුද්ගලයන් පෙරළා ඇමරිකාවට පැමිණි පසු ත‍්‍රස්ත ක‍්‍රියා සිදුකිරීමට ඉඩ ඇති හෙයින් ජිහාඩයට එක්වීමට සිදුවන විදෙස්ගත වීම් වැළැක්වීමට මෙන්ම යළි පැමිණෙන්නන් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කරන බවයි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.