Header Ads

පාසල් ළමුන් අතරත් ඒඩ්ස් පැතිරීමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
පාසල් ළමුන් අතරත්
ඒඩ්ස් පැතිරීමේ අවදානමක් මතු ව ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් පෙන්වා දෙන්නේ.
අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල වැඩි වීමත් ඒඩ්ස් වැළඳී තිබේ දැයි කරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පසුගිය වසරවල ඒඩ්ස් ආසාදිත රෝගීන්ගේ ප්‍රමාණයේ යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමට හේතු වී ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ.
2013 වසරේ ඒඩ්ස් රෝගීන් 196 දෙනෙක් ද 2012 වසරේ දී රෝගීන් 180 දෙනෙක් ද ඒඩ්ස් මර්දන වැඩසටහනට වාර්තා වී තිබෙන අතර මෙම වසරේ මුල් මාස හය ඇතුළත පමණක් හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 110 ක් වන බවත් වෛද්‍යවරයා පවසයි.

hiv_virus_512x288_thinkstock_nocreditශ්‍රී ලංකාවේ පසුගිය වසරේ පමණක් ඒඩ්ස් ආසාදනය වී තිබේ දැයි සොයා බැලීමට පුද්ගලයන් ලක්ෂ අටක් පමණ පරීක්ෂණ සිදු කර ගෙන ඇති බව පැවසූ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ යම් කෙනෙකු අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා නම් ඔවුන් ඒඩ්ස් පරික්ෂාව සිදු කර ගැනීම වැදගත් බව පෙන්වා දෙයි.
නොමිලේ පරීක්ෂණ


” අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තමන් පවත්වනු ලැබුවා නම් තමන් දන්නවනේ තමන්ට මේක බෝවෙන්න හැකියි කියලා, පෞද්ගලික රෝහල්වලිනුත් රුධිරය පරික්ෂා කර ගන්න පුළුවන්. ආණ්ඩුවේ ඒකක වලට ආවොත් නොමිලේ පරීක්‍ෂා කර ගන්න පුළුවන්, රහස්‍ය භාවයත් රකිනවා” වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

“බිරිඳ සමග පවත්වන ලිංගික සම්බන්ධකම තමයි අපි එක් අයකුට සීමා වූ සම්බන්ධය හැටියට පවත්වන්නේ, එහෙම නැතිව ලිංගික සම්බන්ධතා එක අයකුට විතරක් සීමා වෙන්නේ නැත්නම් ඒ වගේම ‘කොන්ඩම්’ භාවිතා කරන්නේ නැත්නම් එක අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක්” ඔහු වැඩි දුරටත් පවසයි.
2013 වසරේ කරණ ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගතව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 – 20,000 අතර ප්‍රමාණයක් සිටින බව පවසන ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා, තවත් බොහෝ දෙනා ‘ෆේස් බුක්’ වැනි නව තාක්ෂණ යොදා ගෙන ඇති කර ගනු ලබන සම්බන්ධතා ඔස්සේ ලිංගික වෘත්තියේ යෙදෙන බවයි පවසන්නේ.
සමලිංගික සබඳතා ප්‍රවේශමෙන්

දැනට වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන්ගෙන් වැඩි දෙනා පුරුෂයන් බවත් සම ලිංගික ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන්ට ද ඒඩ්ස් වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි බවත් ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

2010 වර්ෂයේ ජාතික ඇස්තමේන්තුවට අනුව සම ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන් 24,000 – 37,000 අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවයි වාර්තා වී තිබෙන්නේ.
“ලිංගික වෘත්තියේ යෙදීමට අවශ්‍ය නම් ඒ හැම විටම ‘කොන්ඩම්’ එකක් අනිවාර්යයෙන් භාවිතා කරන්න ” ඒ බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ පණිවුඩයයි.

bbc
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.