Header Ads

නඩුව ඉවරයි ගාමිණී රඟපෑ අන්තිම චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම්


අපායේ තත්පර 7700ක් චිත්‍රපටය නිර්මාණය කර 17ත් වසරක් ගත වුවද එය තවමත් තිරගත වී නැත. ගාමිණී ෆොන්සේකා රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් තිරගත නොවූ
අන්තිම චිත්‍රපටයද මෙයයි. නීතිමය ප්‍රශ්නයක් සමඟ 17ත් වසරක් සිරවී සිටි අපායේ තත්පර 7700ට දැන් නිදහස ලැබී ඇත. ප්‍රදර්ශනයට අවසරද ලැබී ඇත. ඒ පිළිබඳව චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ මෙන්ම නිශ්පාදක දිනේෂ් ප්‍රියසාද් මෙසේ පැවැසීය.


එහෙනම් අන්තිමේදී ඔබ දින්නා?
නැතිව, ගරු අධිකරණය දිනේෂ් ප්‍රියසාද් කියන විත්තිකරුව නි‍ෙදාස් කොට නිදහස් කළා.
අවුරුදු කීයක් නඩු කිව්වද?
අවු. 17 තිස්සේ.


අවු. 17 තිස්සේ නඩු කියන්න තරම් මොනවද වුණේ කියලා කියමු?
මමයි, ගාමිණී ෆොන්සේකා මහත්තයයි අපාය ගැන චිත්‍රපට මාලාවක් කරන්න සැලසුම් කළා. එහිදී මූලිකවම චිත්‍රපට තුනක් සඳහා සැලසුම් සකස් කළා. පළමු චිත්‍රපටය තමයි 'අපායේ තත්පර අසූහාරදහසක්' මගේ බිරිය ශිරාණි ප්‍රියසාද් තමයි එහි නිෂ්පාදන කටයුතු භාර ගත්තේ. එහි යම රජ්ජුරුවෝ විදියට ගාමිණී ෆොන්සේකා තමයි රඟපාන්නේ. මාලනී ෆොන්සේකා, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, පියදාස විජේකෝන්, රෝයි ද සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, දෙනවක හාමිනේ රංගනයෙන් දායක වුණා.


එහි දෙවැනි කොටස 'අපායේ තත්පර 7700' ගාමිණී ෆොන්සේකා, ටෙනිසන් කුරේ, රුවන්ති මංගලා, රන්ජන් රාමනායක, මානෙල් වානගුරු, සිසිර කුමාරතුංග රංගනයෙන් දායක වුණා. මේ චිත්‍රපට මාලාවේ තුන්වැන්න තමයි 'රජ සහ මම' මේ දක්වා එහි වැඩකටයුතු ඉවර කරගන්න බැරිව නතර වෙලා. අපායේ තත්පර අසූ හාරදාහක් චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වෙලා මම එහි දෙවැනි කොටස අපායේ තත්පර 7700 වැඩකටයුතු ආරම්භ කළා. එහි නිෂ්පාදන කටයුතු සඳහා 1992 වර්ෂයේදී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රජයේ බැංකුවකින් රුපියල් ලක්‍ෂ 10ක් ණයක් ලෙස ලබාගත්තා. මේ චිත්‍රපට දෙකටම රැඟුම් පාලක මණ්ඩලය විසින් අසීමිත මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසුයි කියලා සහතික දෙකක් ලබා දුන්නා.

ඔබ ගත් පළමු ණය මුදලට අමතරව, නැවතත් ණය මුදලක් ඔබ බැංකුවෙන් ඉල්ලා සිටිනවා?

ඔව්. 1994 වසරේදී චිත්‍රපටයේ වැඩකටයුතු සියල්ල අවසන් කරලා, ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙද්දි ඒ සඳහා යම් ණය මුදලක් මුදාහරින්න කියලා බැංකුවෙන් ඉල්ලීමක් කළා. නමුත් ඒ ණය මුදල අද වෙනකම් දුන්නේ නැහැ.

ඇයි ඔබ කලින් ගත්ත ණය මුදල් ගෙවීම ප්‍රමාද කළේ?

ජාතික චිත්‍රපට සංස්ථාවත්, මමත් ඒ අදාළ බැංකුවත් අතර තෛ්‍රපාර්ශ්වික ගිවිසුම් පැවැතුණා. එහි අඩංගු වෙලා තිබුණේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු නිෂ්පාදකට ලැබෙන ආදායමින් පළමු කොටසින් අදාළ බැංකුවට ණය මුදල ගෙවනවා කියලා. ඒකට ඉතින් අපායේ තත්පර 7700 චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකම් ඉතින් ඉන්න ඕනේ.

ඒත් බැංකුව ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා?

යම් යම් පුද්ගලයන්ගේ කටකතා මත බැංකුව ක්‍රියා කරනවා. බැකුවෙන් ණය නොගෙන මගේ බිරිය ශිරාණි ප්‍රියසාද් නිෂ්පාදනය කළ චිත්‍රපටයට එරෙහිව බැංකුව නඩු පවරනවා. ප්‍රදර්ශනය වෙමින් පැවැති අපායේ තත්පර අසූහාරදහසක් චිත්‍රපටය ප්‍රචාරය කිරීම අත්හිටුවන්න උසාවිය තහනම් නියෝගයක් පනවනවා. මගේ චිත්‍රපට ජීවිතය විතරක් නෙවේ පෞද්ගලික ජීවිතය පවා බැංකුව විනාශ කළා. මගෙත් එක්ක චිත්‍රපට නිෂ්පාදනය කරන්න හිටිය නිෂ්පාදකවරු කිහිප දෙනකුටම 'දිනේෂ් ප්‍රියසාද්' අධ්‍යක්‍ෂණය කරනවා නම් බැංකුව විසින් චිත්‍රපට සඳහා ණය මුදල් ලබා නොදෙන බව ලිඛිතව දැනුම් දීලා තියෙනවා.

අවුරුදු 17ක් තිස්සේ ජීවිතේ එක තැනක නතර වෙලා?

ඔව් මට කෝටි ගාණක පාඩුවක්. එකක් බැංකුව මගේ නම නැති කළා. මගේ රස්සාව කරගන්න විදියක් නැති කළා. මගේ නමේ දැලි ගෑවා. මාව හොරෙක්, වංචාකාරයෙක් කරලා උසාවි අරන් ගියා. නිෂ්පාදකවරුන්ට මාව චිත්‍රපටවලට සම්බන්ධ කරගන්න එපා කියලා කිව්වා. මගේ ගෙදර පවා ප්‍රශ්න ඇති කළා. ගණන් හදන්න බැරි තරම් පාඩුවක් වුණා මට. මගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගතවුණේ උසාවියට යන්න.

දැන් එහෙනම් ඔබ අපායේ තත්පර අසූ හාරදාහ සහ අපායේ තත්පර 7700 චිත්‍රපට තිරගත කරන්න සූදානම්ද?

ඔව්. ඒ තීරණය ගත්තේ අවුරුදු 17කට කලින්. අවුරුදු 17ක් පෙන්නුවේ නැති එකේ මට ඕනෑ නම් ඉතිරි ටිකත් නොපෙන්වාම ඉන්න පුළුවන්. බැංකුව සමඟ තිබෙන ගිවිසුමේ කිසිදු නීතියක් මේ වෙනතුරු උල්ලංඝනය කරලා නැහැ.

අවුරුදු 17ක් පරණ චිත්‍රපටයක් අදට ගැළපෙනවා කියලා හිතනවාද?

මේ චිත්‍රපටය එදාට වඩා අදට ගැළපෙනවා. අද ඉන්න වැඩි හරියක් දෙනා අපායට යන්න ඕන අය. ඒ බව දන්න නිසාමද කොහෙදෝ ලංකාවේ වැරැදි කරන උන් ඉන්නකම් උඹට මේ චිත්‍රපට මාලාව කරන්න පුළුවන් කියලා ගාමිණී ෆොන්සේකා මහත්මය යෝජනා කළේ. චිත්‍රපටය වටින්නේ දැන් තමයි. කෝපිවලට අඟුරුකුඩු කලවම් කරන එකාගේ ඉඳන් රුපියල් සතවලින් කොමිස් ගහන උනුත් අපායට යනවා.

චිත්‍රපටය ගැන ගාමිණී ෆොන්සේකා දැක්වූවේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

ඔහුගේ ප්‍රතිචාර හොඳ නිසා තමයි චිත්‍රපට මාලාවක් කරන්න කියලා යෝජනා කළෙත්. මම ඔහු හමුවෙලා මේ චිත්‍රපටයේ අදහස් කියනකොට ඔහු හිටියේ පත්තරයක් බලන ගමන්. මම ඇහුවා 'ගාමිණී අයියා මේ වැඩේ කරගන්න ඕනේ. මොනවද කරන්නේ?' කියලා. එතුමා බල බල හිටිය පත්තරේ රෝල් කළා. ඊට පස්සේ ඒකෙන් මගේ කකුලට පාරක් ගහලා 'තමුසේ පටන් ගන්නවා මම එන්නම්' කියලා කිව්වා. 

මේ ගාමිණී ෆොන්සේකා මහත්මයා අවසාන කාලේ රඟපාපු චිත්‍රපට වලින් එකක්. තමන් රඟපෑව චිත්‍රපටයකට එරෙහිව උසාවියේ නඩුවක් විභාග වෙද්දි ගාමිණී ෆොන්සේකා මහත්මයා මොනවද කිව්වේ?

ගාමිණී කිව්වා 'අයිසේ ඔය කියන බැංකුවට මමත් නඩු දාලා තියෙන්නේ' කියලා. 'තමුසේ ඔය නඩුවෙන් දිනන්න ඕනේ.' කියලා ටිකක් සැර කටහඬකින් කිව්වා. නොකියා කිව්වේ නඩුව පැරැදුණොත් මගේ වත්තේ පස්පාගන්න එපා කියලා වගේ තමයි මට තේරුණේ.

අවුරුදු 17ක් තිස්සේ නඩු කිව්වා. නඩුවෙන් දින්නා. එතැනින් එහාට?

මට වුණු සියල්ලටම බැංකුව වගකිව යුතුයි. මට අපරාධ නඩුවක් ගොනුකරලා මාව අපරාධකාරයෙක් කළා. එතැනින් එහාට අනාගතයට භාරයි. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නම් නඩුව වෙනුවෙන් මගේ පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥ සුනිල් ඩී.බී. අබේරත්න, නීතිඥ ඩිශාන් මනම්පේරි මහත්වරුන්ට සහ බුද්ධිකා අලගියවන්න මෙනෙවියට.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.