Header Ads

හිමිනමකගෙන් කප්පම් ගත් සිසුවා

තමාට ලිංගික අතවර කළේ යෑයි පොලිසියට පැමිණිලි කරන බවට බියගන්වා බදුල්ල කහටරුප්ප පාලාවත්ත ප්‍රදේශයේ විහාරස්‌ථානයක හිමිනමකගෙන්
රුපියල් දෙලක්‍ෂ තිස්‌පන්දහසක කප්පම් මුදලක්‌ ලබාගත් බවට සැකපිට බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුවකු ඇතුළු තරුණයන් තිදෙනකු මේ මස 30 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්‌ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය නියෝග කළාය. බදුල්ල – කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 23 හා 27 වයසැති තරුණයන් තිදෙනකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබේ. 
තාමත් පාසල් සිසුවකු බව කියන මෙම 18 හැවිරිදි තරුණයා ඉකුත් ජුලි මස දිනක අදාළ පන්සලට ගොස්‌ තමාට යැමට තැනක්‌ නොමැති බව කියා පැමිණිලිකාර හිමිනමගෙන් පන්සලේ නවාතැන් ඉල්ලා තිබේ. ඒ අනුව එදින රාත්‍රි එම විහාරස්‌ථානයේ නැවතී සිට පසුව ඉන් පිටව ගිය ඔහු යළිත් කිහිපදිනක්‌ වරින් වර පැමිණ පන්සලේ රාත්‍රිය ගතකොට තිබේ.

පසු දිනක ඔහු මේ හිමිනම තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කොට ඒ බව පොලිසියට පැමිණිළි නොකර සිටීමට නම් රුපියල් පනස්‌දහසක්‌ ලබාදෙන ලෙස හිමිනමගෙන් ඉල්ලා ඇත. එම මුදල ලබාගැනීමෙන් පසුවද යුද හමුදාවේ සහ රහස්‌ පොලිසියේ යෑයි කියාගත් පුද්ගලයන් දෙදෙනකු සමග හා තනිවමද වරින් වර ගොස්‌ ඔහු මේ හිමියන්ගෙන් කප්පම් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
අවසානයේ අදාළ හිමිනම මේ බව බදුල්ල පොලිස්‌ කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයට දන්වන ලදුව එහි නිලධාරීන් විසින් මෙම තරුණයා හිමිනමගෙන් කප්පම් මුදලක්‌ ලබාගැනීමට පැමිණි අවස්‌ථාවකදී බදුල්ල නගරයේදී ඔහු හා ඔහු සමග සිටි තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අදාළ හිමිනමගෙන් කප්පම්කරුවන් විසින් වරින් වර ලබාගත් මුදල රුපියල් දෙලක්‍ෂ තිස්‌පන්දහසක්‌ පමණ වන අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු කන්දකැටිය මදලපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවකු බව හෙළි වී තිබේ.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි (බදුල්ල) චන්දන ගලප්පත්ති, සහකාර පොලිස්‌ අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බදුල්ල මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපාලි තලගල මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලිස්‌ කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එච්. එම්. ඩබ්. හේරත් මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.