Header Ads

සෝභිත හිමි-චන්ද්‍රිකා-අනුර තීරණාත්මක හමුවක්


උෟව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවට ස්ථිර වීමත් සමඟ, විපක්‍ෂයෙන් ඊට
ඉදිරිපත්කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ අතර මේ වන විට උණුසුම් සටනක් නිර්මාණය වී ඇති බව දැනගන්නට තිබේ.


උෟව ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ එම ප්‍රතිඵලය විපක්‍ෂයේ ජයග්‍රහණයක් ලෙස අර්ථ දක්වා සිටියද, මාදුළුවාවේ සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය අවධාරණය කර සිටියේ එම විපක්‍ෂයේ ප්‍රතිඵල පරාජයක් බවත්, එම ප්‍රතිඵලය අනුව ඉදිරි ජනාධිපතිවරණය විපක්‍ෂයට කිසිසේත්ම ජයගත නොහැකි බවත්ය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමේ මෙහෙයුම කඩිනම් කරන බවද ඒ හිමියෝ පෙන්වා දුන්හ.

සෝභිත හිමියන්ගේ එම ප්‍රකාශයට අනුව ඉදිරි දින කිහිපය ඇතුළත උන්වහන්සේ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග තහවුරු කරයි.



එම විශේෂ හමුව ලබන ඔක්තෝබර් 8 වැනි දිනට ප්‍රථම පැවැත්වීමට නියමිත බවද පැවැසේ.
මේ සාකච්ඡාව තිදෙනාම එක්ව පවත්වනවාද, නොඑසේනම් වෙන් වෙන්ව පවත්වනවාද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති වුවත් එකී සාකච්ඡාවලින් අනතුරුව සියලුම පාර්ශ්ව ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්‍ෂයේ පොදු සන්ධානයක් ගොඩනැඟීමේ කටයුත්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
එය ඔක්තෝබර් මාසයේ මැද භාගය වන විට ප්‍රකාශයට පත්කිරීමට යෝජනා වී ඇති බවද පැවැසේ.


ඉදිරි සතිය වන විටදී පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය නැවත වතාවක් සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති අතර, එහිදී සෝභිත හිමියන් සමඟ එක්වනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට එම පක්‍ෂ තීරණය කර ඇති බව දැනගන්නට ඇත.


මේ ආකාරයට පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට විපක්‍ෂයේ සියලුම පක්‍ෂ එකඟ කරවා ගැනීමෙන් අනතුරුව සෝභිත හිමියන් විපක්‍ෂයේ සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවීමටද තීන්දු කොට තිබේ.

ඊට සහාය ලබාදීම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ ජේ‍යෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුද සෝභිත හිමියන් සමඟ රහස් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.