Header Ads

වික්‌ටෝරියා, උල්හිටිය ජලාශ සහ මහවැලි ගංගා ජලයට පිළිකාජනක අපද්‍රව්‍ය

පිළිකාජනක අපද්‍රව්‍ය සහ බෝවන වසංගත රෝගකාරක අපද්‍රව්‍ය වික්‌ටෝරියා, උල්හිටිය ජලාශ සහ මහවැලි ගංගා ජලයට මුසු වී ඇති බවට
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය අනතුරු අඟවයි.
මෙම ප්‍රධාන ජලාශ සහ මහවැලි ගංගාවේ ජලය පිළිබඳව සිදු කළ පර්යේෂණවලදී මේ බව තහවුරු වූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ මධ්‍යම පළාත් ප්‍රධාන රසඥ අශෝක ජයවර්ධන මහතා පැවසීය.
මහවැලි ගංගාවේ ජලයේ සහ එයින් පෝෂණය වන වික්‌ටෝරියා, උල්හිටිය සහ ප්‍රධාන ජල මූලාශ්‍ර රැසකට ගෘහාශ්‍රිතව සහ නාගරික කැළි කසළ මුදාහැරීම, මිනිස්‌ හා සත්ව මළ මුත්‍රා මුදාහැරීම, කාර්මික අපද්‍රව්‍ය මුදාහැරීම සිදුවන බව තහවුරු වී ඇත. කරන ලද ජල සාම්පල පරීක්‍ෂාවන්හිදී ක්‍ෂුද්‍ර ජීවී පරීක්‍ෂණ, රසායනික පරීක්‍ෂණ, ඇල්ගී විශ්ලේෂණ, ජෛව හා රසායනික ඔක්‌සිජන් ඉල්ලුම පර්යේෂණවලදී ජලය දූෂණයට පත්ව ඇති බව තහවුරු වී ඇති බවද ඒ මහතා පැවසීය.
මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවල ප්‍රධාන නගර සහ උප නගරවලින් බැහැර කෙරෙන කැළි කසළ, බැර ලෝහ සහිත බැටරි, මිනිස්‌ සහ සත්ව මළ මුත්‍රා, සහ කඳු සහිත ප්‍රදේශවල කෙරෙන සංවර්ධනය නිසා වැසි සමයේදී සේදී එන බොර (මඩ) සහිත ජලය එක්‌වීම ජල දූෂණයට බලපා ඇති බව පර්යේෂණවලදී තහවුරු වූ බවද අශෝක ජයවර්ධන මහතා පැවසීය.
කරන ලද පර්යේෂණවලදී ජලයේ ඊකෝලයි බැක්‌ටීරියාව, ජෛව හා රසායනික ඔක්‌සිජන් ඉල්ලුම, ඇල්ගී මුසුවීම නිසා අතීසාරය, පාචනය, බෝවන සෙංගමාලය, විවිධ අසාත්මිකතා සහ සංකූලතා මෙන්ම පිළිකාජනක තිබෙන බවද තහවුරු වී ඇත. මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා දූෂණයට පත්ව ඇති ජලය, පානයට සුදුසු ලෙස පිරිපහදු කිරීමට අධි තාක්‍ෂණික ක්‍රම භාවිතා කිරීමටත් ඒ සඳහා අධික වියදමක්‌ දැරීමටත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදුව ඇති බවද අශෝක ජයවර්ධන මහතා පැවසීය.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.