Header Ads

ජනාධිපති මේ සංශෝධනය නොකලොත් එතුමා පරාජය කරන්න පුලුවන් හැමදෙයක්ම කරනවා ....

පිවිතුරු හෙටක් ජාතික සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාව එළිදක්වනු ලැබීමේ ජාතික හමුව පැවැත් විණ.

එය
පැවැත්වුණේ,  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී ය.
ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය සහ ජාතික සංහිදියාව තහවුරු කරන විනිවිධ රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මහජන කතිකාවතක් උදෙසා මෙම කෙටුම්පත් යෝජනාවලිය එළිදක්වනු ලැබීය.
මීට දේශපාලන පක්ෂ නායකයෝ, වෘත්තියවේදීහු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
පිවිතුරු හෙටත් ජාතික සභාවේ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාවලිය සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වූහ.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන කරුණු 8ක් පහත දැක්වේ.
1. ස්වරූපය: 
නව රාජ්‍ය පාලන ක්‍රමය ජනාධිපති – අගමැති ව්‍යවස්ථාමය සන්ධානයක් වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා වේ.
2. ජනාධිපතිවරයා: 
ජනතාව විසින් ජනාධිපතිවරණයකින් වසර 6ක් සඳහා ජනාධිපතිවරයෙකු පත් කරනු ලැබේ. එම පත්වීම ලද විට ජනාධිපතිවරයා තවදුරට ත් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන අතර නැවත එම ධූරයට පත්වීමට ද නුසුදුස්සෙකු වන්නේ ය. ජනාධිපති සන්නද්ධ හමුදාවන්හි විෂයට සීමා වූ ආරක්ෂක ඇමති වනු ඇත. ජාතික සමගිය හා එකමුතුබව ද ආගමික සංහිඳියාව ද ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයක් වේ. ඒ අනුව රටේ ඒකීයභාවයට හෝ ස්වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක් උදාවන අවස්ථාවන්හිදී රට සුරක්ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරේ.
3. අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය: 
පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණකින් ලබා ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත්වේ. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාව 20 සිට 25 අතර සංඛ්‍යාවකට සීමා වන අතර නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව ද 35කට නොවැඩි වේ. අගමැතිවරයාගේ යෝජනාවෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් අතරින් පත් කරනු ලැබේ. මහ මැතිවරණයකින් පසුව අගමැති සහ ඇමතිවරුන් පත් වූවිට ඔවුන් නැවත මහ මැතිවරණයකින් අවසන් වන තෙක් තනතුරු දරනු ඇත. ඇමතිගේ කාර්ය සාධනය අගැයීමකින් පසුව අගමැතිගේ ද අනුමැතිය සහිතව ඇමතිවරයෙකු තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් ඇත. පාර්ලිමේන්තුව, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත ප්‍රතික්ෂේප කළහොත් නැතිනම් ආණ්ඩු කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් අමාත්‍ය මණ්ඩලය විසිරී යනු ඇත. එවිට අදහස් විමසීමේ පිළිවෙත අනුගමනය කරමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු සහ ඇමතිවරුන් පත් කරනු ලැබිය යුතු වේ.
4. ධූර කාලය: 
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය එකට ගෙවී යන අතර ඡන්ද දෙක ම එකට පැවැත්වේ. ජනාධිපති හා පාර්ලිමේන්තුව සමාන්තර වූ නිශ්චිත සය අවුරුදු කාලයකට ධූර දරනු ඇත. ජනාධිපතිගේ ධූර කාලය එක් සය අවුරුදු කාල පරිච්ඡේදයකට සීමා වන නිසා තමන්ට වාසිසහගත ලෙස මැතිවරණය නියම කිරීමේ අවකාශය සහ අවශ්‍යතාව ගිලිහී යනු ඇත. සම්පූර්ණ කාල සීමාව ඉක්ම යාමට පෙර ඡන්ද පැවැත්වීමට බලයක් ජනාධිපතිවරයා‍ට පැවරී තිබෙන නමුත්, එමගින් නැවත ඡන්දයකට ඉදිරිපත් වීමට අවකාශයක් නැතිව තමන්ගේ ධූර කාලය අවසන් වීම නිසා එහි අභිමතය ජනාධිපති විසින් අයථා ලෙස භාවිත කිරීම වැළකේ.
5. අමාත්‍යංශ විධායක කාරක සභා සහ ලේකම්වරු: 
අමාත්‍යංශ සඳහා විධායක කාරක සභා ක්‍රමය ස්ථාපනය වනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 5 දෙනෙකුගෙන් සහ තවත් සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත විධායක සභාවක් අමාත්‍යංශයක් සඳහා පත් වනු ඇත. යෝජිත ව්‍යවස්ථාව යටතේ ලේකම්වරුන් පත් විය යුත්තේ, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ අදාළ ඇමතිවරයාගේ එකඟත්වය මත ය. තව ද එසේ පත් කළ යුත්තේ,  රාජ්‍ය අංශයේ වෘත්තිකයෙකු පමණක් ම වේ.
6. මැතිවරණ ක්‍රමය: 
පාර්ලිමේන්තුව දැන් පවත්නා අයුරින් ම මන්ත්‍රීවරුන් 225කින් සමන්විත වේ. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් වූ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සියලු පක්ෂවල කැමැත්ත අනුව යෝජිත නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය නීතිගත වනු ඇත. මැතිවරණය පැවැත්වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට පෙර පැවති භූගෝලීය ආසන තුළ ය. එම ආසන සඳහා නාම යෝජනා, පිළිගත් දේශපාලන පක්ෂ තුළින් හෝ දිස්ත්‍රික්කයට ම පිළිගත් ස්වාධීන කණ්ඩායමක් තුළින් ඉදිරිපත් විය යුතු ය. ආසනයකට එක් මන්ත්‍රීවරයෙකු බැගින් ආසනයේ වැඩි ම ඡන්ද ලබාගත් අපේක්ෂකයා කේවල ක්‍රමයට ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත්වේ. ජාතික ලැයිස්තුවලින් මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අනුපාත ක්‍රමයට පත්වෙති. ඉතිරි ආසන සඳහා දිස්ත්‍රික්ක 22න් මන්ත්‍රීන් අනුපාත ක්‍රමයට පත්වනු ඇත. අනුපාතය තීරණය කිරීම සඳහා ගණන් ගනු ලැබෙන්නේ, දිස්ත්‍රික්කය තුළ එක් එක් ආසනවල පරාජිත අපේක්ෂකයින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පමණි. එහිදී තේරී පත් වන්නේ, ඒ ඒ පක්ෂයේ වැඩි ම ඡන්ද අනුපාතයක් ලබාගෙන පරාජය වූ අපේක්ෂකයින් ය. කේවල ක්‍රමයට පත්වූ මන්ත්‍රී ආසනයක් හිස්වූ විට එම ආසනයේ පමණක් අතුරු මැතිවරණයක් පවත්වනු ඇත. දිස්ත්‍රික් ආසනයක් පුරප්පාඩු වූ විට ලැයිස්තුවේ ඊළඟට සිටින අයට මන්ත්‍රී ධූරය හිමි වේ. ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව පුරවන්නේ, ලේකම්වරයා විසින් සිය ජාතික ලැයිස්තුවේ වෙනත් නමක් යෝජනා කිරීම මගිනි.
7. ව්‍යවස්ථාදායක සභාව: 
පසුගිය දශක කිහිපය පුරා රටේ අවධානයට ලක්ව තිබූ අල්ලස් හා දූෂණවලට වැට බැඳීම සඳහා අවශ්‍ය ස්වාධීන කොමිෂන් සභා නීතිගත කෙරේ. එහි දැනට දක්නට ලැබෙන ප්‍රධානතම අඩුපාඩුව වූ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කෙරේ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන්නේ, අගමැති, කතානායක (සභාපති), විපක්ෂ නායක, ජනාධිපතිවරයා විසින් පත් කළ අයෙකු හා පාර්ලිමේන්තුව විසින් රහස් ඡන්දයකින් පත් කරනු ලබන 5 දෙනෙකු ය. එම 5 දෙනා රහස් ඡන්දයෙන් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත නාම යෝජනා ඉදිරිපත් කළ හැකි වන්නේ, කතානායකවරයා විසින් කැඳවනු ලැබීමෙන් අනතුරුව ජාතික මට්ටමේ විද්වත් මණ්ඩලවලට, විශ්වවිද්‍යාල උපකුලපති මණ්ඩලයට හා ලංකා වාණිජ මණ්ඩලයට වේ.
8. අල්ලස් හා දූෂණවලට වැට බැඳීම උදෙසා හඳුන්වා දෙන අණ පනත්: 
ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් අත්සන් කර ඇති දූෂණ පිටු දැකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සම්මුතිය රට තුළ බලාත්මක කිරීම උදෙසා පසුගිය සමයේදී රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ අල්ලස් හා දූෂණ පිටුදැකීම සඳහා වූ පනත සම්මත කිරීමට කටයුතු කෙරේ. අල්ලස් හා දූෂණ කොමිසම, පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවූ රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ආවරණය වන විධිමත් සක්‍රීය ආයතනයක් බවට පත් කෙරේ. තව ද, රාජ්‍ය හා පුද්ගලික අංශවල මහා පරිමාණ දූෂණ හා ආර්ථික අපරාධ පිළිබඳ විමර්ශනය කර ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකාරියක් ද ස්ථාපනය කෙරේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.