Header Ads

“එදා මිනිසුන් හිනැස්සූ මම අද අඬන්න බැරිකමට හිනාවෙනවා” -රටක් හිනැස්සු බර්ටි කියන කතාව

ළගන්නා සුළු පිබිදුණු සංගීත ඛණ්ඩයක් ද අත්පොළසන් හඬක් ද කැටිව ඇසෙන ගුවන් විදුලි යන්ත්‍රය ළඟම කල්තියා ම බලා හුන් අසන්නෝ මුව සරසාගත් සිනහවකින් යුතුවම පසුවෙති. ලේසියෙන් හිනා පොදක් නොදෙන්නෝ ද බුම්මාව පසෙකට දමා හිනාවට ම මුව සරසා සිටිති.

සංගීත රාවය කෙමෙන් ඈතට යද්දී උගුරේ රැල් බුරුල් හැරදා එදා සුවහසක් රසික දනන්ගේ සිත් සතන් අමන්දානන්දයට ම පත් කරවූයේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තිදෙනායි. යටපත්ව ගිය එක් වකවානුවක් රසවත් කළ අදත් අප අතර ම වයෝවෘද්ධ ව පසුවෙන්නා වූ බර්ටි ගුණතිලක නම් අසහාය කලාකරුවාණෝ දැන් මා ඉදිරියේ ය.

දෙස් – විදෙස් රසික දනන් සිත් රසවත් කළ කලාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලද හෙළ කලා කෙතෙහි විහිළු කලාවක් බිහි කිරීමට පුරෝගාමී වූ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ත්‍රිමූර්තියේ ශක්තිමත් පුරුකක් වු අපේ ආදරණීය ‘බර්ටි’ කටහඬ අවදි කළේ ය.

“මාව බලන්න එන එකට හරිම සතුටුයි. ඒත් දැන් මට ඉස්සර කරපු දේවල් කරන්ඩ බැරිකම ගැන තමා දුක.”

අනූ තුන් වියැති ඔහු මුව පුරා සිනාසුණේ ය. සත් දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා වූ මැස්ටියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක නම් ළදරුවා මහනුවර අම්පිටිය විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව වැඩිදුර අධ්‍යාපනයට මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුළත්ව එහිදී පාලි, සංස්කෘත හදාරා ප්‍රාචීන විභාගයෙන් ද සමත්ව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය. පසුව ගුරු පත්වීමක් ලැබූ බර්ටි කුලියාපිටිය, ගල්හෙල විදුහලේ ගුරුවරයකුව සේවය කළේ ය. ඉන් ඉවත්ව වෘත්තීය කිහිපයකම නිරතවූ ඔහු පුවත්පත්වලට ලිවීමේ පුරුද්දෙන් නම් මඳකට හෝ බැහැර වූයේ නැත.

පාසල් වියේ දී ද රංගනයෙන්, හාස්‍ය කලාවෙන් නමක් දිනූ හෙතෙම තමන් මතු දිනෙක ගුවන් විදුලිය, රූපවාහිනිය, වේදිකාව මත කිරුළු පලන් කලාකරුවකුව දෙස් – විදෙස් හි නම රැන්දූ අයකු වන බව නම් නොසිතන්නට ඇත.

“මම නොගිය රටක් නැහැ – රාජ්‍ය නායකයන්ගෙන් වගේ ම සෑම තරාතිරකම රසිකයන්ගෙන් පුදුම ආදරයක් මම ලැබුවා. අද ලොකුයි කියන කලාකරුවො නම් මේ අප වගේ අය ගැන සොයා බැලීමක් නැති එකත් දුකක්” ඔහු සෙමින් කියයි. වියපත් සටහන් ඔහු වත පුරා පෙනෙද්දී අතීතයේ දුටු ඔහු රුව මා මනසේ මැවී පෙනුණි.

“ඒ කාලේ පෙරහැරක හරි මොකක් හරි සිද්ධියක් දැක්කම ගෙදර ඇවිත් රඟපාන පුරුද්දක් මට තිබුණා. විකට නාට්‍ය බලන්ඩත් ගිහින් ගෙදර දී රඟපානවා.

ඕනෑම විකට චරිතයක් තමන්ටම ආවේණික ශෛලියකින් රඟපෑමේ සහජ නිපුණතාවක් තිබූ ඔහු 50 වසරකට අධික කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරන්නට සමත් විය.‍

යටගිය ‘විනෝද සමය’ විකට වැඩසටහන ගැන විමසූ විටදී පළමුව හේ සිනාසුණේ ය.

‘අපේ කට්ටිය දහ දෙනෙක් විතර හිටියා. ගැමුණු, ඇල්ප්‍රඩ්, එතකොට ධර්ම ශ්‍රී, මර්සි ඔය වගේ ඈයො හිටියා. අන්තිමේදී අපි තුන්දෙනාට සීමා වුණා. විනෝද සමයට තේමාවක් හොය හොයා තමයි මම ගමනක් යන්නෙත්. දවසක් බස් එහෙක යද්දී පච්ච කොටපු අයියලා දෙන්නෙක් හම්බුවෙලා කතාවක් ඇහුණා. ඒ දෙන්නගෙ එක්කෙනෙකුගෙ කතාවට මට හිනා ගියා. ඒකම ඊළඟ සතියෙ ගුවන් විදුලි විනෝද සමයට මං ලිව්වා. “මට ඌ ගහනවා – ඌ මට ගහනවා – අන්තිමේදී ගුටි කාලා තියෙන්නෙ එක්කෙනාමයි” ඔහු සිනාසෙයි.

1959 අගෝස්තු 28 දින රත්නපුරේදී සෝමා ගුණතිලක නම් ගුරුවරියක සමඟ විවාහ වූ බර්ටිට ඇය මහත් සවියක් ම වූවා ය. එම දෙපළගේ වැඩිමහල් පුතු භාරතය. දෙවැන්නා හර්ෂය. තෙවැන්නිය අදටත් තම පියාගේ සෙවනැල්ල සේ රැඳී සවියට සිටිනා ජීවානි දියණියය. බාල දියණිය කුමුදුනී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන්නීය. 1993 වසරේ දී සිය බිරිය වියෝවීම බර්ටිට ද දරුවනට ද පිරිමැසිය නොහැකි පාඩුවක්ම විය.

ගොඩකවෙල, ඇමිටියගොඩ සිය බිරියගේ නිවසේ ජීවානී දියණිය සමඟින් හුදෙකලාව ම පසුවන අපේ ආදරණීය බර්ටි ගුණතිලකයනට මානසික – කායික සුවය පතා කොළඹ නිවසක් ඇවැසිව සිටියදී පසුගිය රජයෙන් දෙමටගොඩ, මහල් නිවාස යෝජනා ක්‍රමයේ E 35/17/01/01 දෙවැනි මහලේ නිවසක් ජාතික නිවාස අධිකාරියෙන් හිමිවුව ද සැරයටි වාරුවෙන් සීරුවෙන් හා තබා යන ඔහුට පියගැට පෙළ අපහසුතාවකි. “තාත්තාට පඩි පෙළක් නඟින්න වාරු මදි. තාත්තා කොළඹ ඉන්නවා නම් මේ තනිකමත් තාත්තාට නැහැ. එහි බිම් මහලේ හෝ දෙවැනි මහලෙ ලැබුණු නිවසට පහසුවෙන් තාත්තාට යා ගන්න පිළිවෙළක් සකසා දෙන ලෙස නිවාස ඇමැතිතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා” දියණිය ජීවානී කීවා ය.

එවකට ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා වූ තේවිස් ගුරුගේ මහතාගේ ඇරියුමින් එච්.ඩී. විජේදාසගේ විහිළු තහළු වැඩසටහන ශ්‍රී ලාංකීය ගුවන් විදුලි ඉතිහාසයේ පෙරළියක් කරමින් ඇනස්ලි, බර්ටි හා සැමුවෙල් සමඟින් තවත් කීප දෙනෙකු ද එක්ව සිදු කෙරිණි.

සජීවී වැඩසටහනක් වූ විහිළු තහළු රසික දනන් දෝතින් වැලඳ ගනිමින් තිබියදී ‘විහිළු තහළු’ විනෝදසමය ලෙසින් නම් කළේ ද තේවිස් ගුරුගේ ය.

ප්‍රබන්ධකරණයෙහි ද හපන් වියතකු, උගතකු වූ බර්ටි ඇතුළු පිරිසට එදා විවිධ උත්සව, ප්‍රදර්ශන, සැණකෙළි අවස්ථාවල නැතිවම බැරි වූ ‘විනෝද සමය’ ට ඉහළම ඉල්ලුමක් තිබිණි. චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් ද දායක වූ අපේ බර්ටි ලද සම්මාන අතර මාධ්‍ය කලා කීර්ති, නාට්‍ය සූරී, දේශබන්ධු, කලාභූෂණ යන සම්මාන ද වේ.

1947 දී සිරි අයියාගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට එක්වූ බර්ටිට ඒ මඟ යන්නට තම පියා දුන් අත්වැල ද සිහිපත් කළ හේ විහිළුව තම ශරීරයේ කොටසක් හා සමාන බව ද කීයේ සිනා සෙමිනි. අදත් දක්ෂ අය නැතුවා නෙවි, ඒත් හොඳ නිර්මාණ අඩුයි.”

තවමත් තම රසපිරි අතීතයට ම හුදකලාවව පෙම් බඳිනා අපේ බර්ටි ගුණතිලකයන් අපේ ‍පිළිසඳර නිමා කළේ මෙසේ පවසමිනි.

“මම සාමාන්‍ය ජීවිතයේ දී ගොඩක් නිහඬයි. මිනිස්සු වෙච්චි අපි නිතරම ඉන්නෙ ප්‍රශ්න එක්ක. එදා මිනිස්සු හිනැස්සූ මමත් අද අඬන්න බැරිකමට හිනාවෙන තවත් මනුස්සයෙක් විතරයි.”
(උපුටා ගැනීම – සිළුමිණ/අමල් යශෝමන් ජයසිංහ )

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.