Header Ads

කාජල් මට ආදරය කරනවා වගේ දැණුනා..

ෂාරුක් සහ කාජල් අතර මිත්‍රත්වය හින්දි සිනමාවට අමුත්තක් නොවෙයි. හින්දි සිනමාවේ යුගයක් බිහි කළ මේ යුවළ තරම් එකිනෙකාට ගැළපෙන යුවළක් තවත් නැහැ. එය හින්දි සිනමාවේ බොහෝ දෙනා මෙන්ම ෂාරුක් හා අජේ දේව්ගන් පවා අවිවාදයෙන් පිළිගත් කරුණක්.
හින්දි සිනමාවේ ඉන්නා ස්වාභාවික රූසපුවක් තියෙන, ගොඩක් ලස්සන, අවංක, පිරිසුදු, ප්‍රබෝධවත් නිළිය තමයි කාජල්. මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, ෂාරුක් ඛාන්. චිත්‍රපට ක්‍ෂේත්‍රයට ආ දවසේ පටන් කාජල් සමඟ කළ සියලුම රංගනයන් තම සිත අමන්දානන්දයට පත් කළ බව ෂාරුක් මේ කතාවෙන් පෙන්වා දෙනවා.
කාජල් හැම විටම සතුටින් සිටින කෙනෙක්. ඇය චිත්‍රපටයක් රඟපාන්න ගියාමත් මා සමඟ පමණක් නොවෙයි හැමෝම සමඟ සතුටින් සිනාසෙනවා. කතාබහ කරනවා. ඇය හරිම ආදරණීයයි කියලා ෂාරුක් වතාවක් ප්‍රසිද්ධ මාධ්‍යයකදීත් කියලා තිබුණා. ඒ වගේම කාජල් තමන්ට කළ හැකි දේ ගැන විශ්වාස කරන්නියක් බවත් ෂාරුක් පෙන්වා දෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කරන විට කාජල් කිසිවිටෙකත් ඔවුන්ව අපහසුතාවට පත් නොකරන බවක් ෂාරුක් පවසනවා. කිසිම දවසක කාජල් සමඟ කළ රඟපෑම් නම් තමාට එපා නොවුණු බවත් ඇය නිවැරැදිව තම චරිතයට උපරිම සාධාරණය ඉටු කරන අතරම ප්‍රධාන නළුවාගේ භූමිකාවටත්, ප්‍රබල සහායක් ලබා දුන් බව තමයි ෂාරුක්ගේ අදහස වන්නේ.

'මට කවදාවත් කාජල් සමඟ කළ රඟපෑම් එපාවෙලා නැහැ. රඟපෑමේදී ඇය හරිම උදේ‍යාගිමත්. ඒ විතරක්ම නෙවෙයි ඇය අපවත් උදේ‍යාගයට පත් කරනවා.'

මෙහෙම කියන ෂාරුක් ඛාන්ම තවත් තැනකදී කාජල් අනෙක් නිළියන් සමඟ බලද්දී තරමක් අසාර්ථකයි කියලත් කියනවා. නමුත් ෂාරුක් එහෙම කියන්නේ කාජල් අසාර්ථක නිසා නෙවෙයි. ඇය මේ තරම් දක්ෂ, සිත් වසඟ කරන රූපයක් තිබෙන කෙනෙක් වෙලත්, හීරෝයික්, වගේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ඉඩ නොලැබීම ගැනයි ෂාරුක් කතා කරන්නේ.

මුල්ම දවසේ කාජල්ව දැක්කාම නම් ඇය හුඟක් ශක්තිමත්. ඕනම චරිතයක් කරන්න පුළුවන් දක්ෂ නිළියක් වේවි කියලා ෂාරුක් අනුමාන කරනවා. බාසීගර් චිත්‍රපටයේ දී ඇය නිළියක ලෙස දැක්වූ දක්ෂතාව ගැන තමයි ෂාරුක් මේ විදියට මතක් කළේ.
ඒ වගේම ෂාරුක් කියන්නේ ඒ කාලේ කාජල් තමන්ට ආදරය කරනවා වගේ තමන්ට දැනුණා කියලයි.

'ඇය මට ආදරය කරනවා, වගේ මට දැනිලා තියෙනවා. ආදරය කළා කිව්වට ඒක සහෝදර බැඳීමක් වගේ දෙයක්. නමුත් එය හැංගුවේ නැහැ. නිළියක ලෙස ඇය මට දැක්වූ සහායත් ඒ වගේමයි.'

රඟපාන කාලයේදී සිදුවුණු පුංචි සිදුවීමක් ගැනත් ෂාරුක් මේ වෙලාවේ කතා කළා.
'වතාවක් මට මතකයි මම කාජල් එක්ක චිත්‍රපටයක වැඩ කළා. අපි වැඩ කරමින් ඉද්දී අමීර් ඛාන් මට දුරකතන ඇමැතුමක් දුන්නා. 'කොහොමද කෙල්ල' කියලා අමීර් මගෙන් ඇහුවා. මම පිළිතුරු ලෙස 'ඕ එයා එච්චර හොඳ නැහැ. අනේ මම දන්නේ නැහැ, අමීර් ඔයා කොහොම කාජල් එක්ක වැඩකළාද කියලා' කිව්වා. මොකද මට ඒ වෙද්දී කාජල් ගැන කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. ඒත් කාලයක් යද්දී මට තේරුණා කාජල් හොඳ නිළියක් වන බව. ඉතින් ඒත් එක්කම මම ඇයට සමීප වුණා. ඒ සමීප බව එක්කම මට මුලින්ම මතක් වුණේ අමීර්ව. මට අවශ්‍ය වුණා අමීර්ට කතා කරන්න. මට ඕන වුණා. අමීර්ට කියන්න ඔව්.' ඇය ඇත්තටම පුදුමාකාරයි. දක්ෂයි. ඒ වගේම හිත ඇදිලා යන කෙනෙක්' කියලා. නමුත් මට ඒ ගැන කියන්න බැරි වුණා. පස්සේ කාලෙක අමීර් කාජල් සමඟ 'ෆනා' චිත්‍රපටයේ රඟපාන විට මට හිතුණා.

ඒ ගැන කියන්න ඕන නැහැ. අමීර් ඒ බව අත්විඳිනවා ඇති කියලා.

"මම ඇයව සිප ගන්න කැමැතියි. එය මම හොඳින් සිදුකරනවා. ඒ වගේම මම ඇයට ආදරෙයි. මට හිතෙන්නේ ඇය වීර ස්ත්‍රියක් වගේ. ඔව්. ඒක සමහර වෙලාවට ඇත්ත. මම ඇයට ආදරෙයි. ඒ වගේම ගැඹුරින් ආදරෙයි"
වතාවක් කාජල්ගේ විවාහය ගැන ෂාරුක් දරන අදහස මොනවගේද කියලා මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට ෂාරුක් අපූරු උත්තරයක් දුන්නා.

ඔව්. මගේ මතකය නිවැරැදි නම් ඇය විවාහ වුණේ "කුචි කුචි හෝතාහේ" තිරගත වීමට ආසන්නයෙදි. ඔබ හොඳටම දන්නවා තිරය තුළ තිබෙන සබඳකම් තිරයෙන් පිටත ඒ විදියටම තියාගන්න බැහැ. මම ඕනම ගැහැනු ළමයකුගේ ලස්සන දකිනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිතයත් ලස්සන විය යුතුයි. ඉතිං කාජල් සහ මම අතර සම්බන්ධකම හරිම සීමාසහිතයි. අපි හමුවෙලා ටික කාලයයි. අපේ වගකීම් යුතුකම් ගැන ඔබ දන්නවා. අපිට කැමරාව ඉදිරියේ හැසිරෙනවා වගේ තිරය පිටුපස හැසිරෙන්න බැහැ.

කාජල්, ජුහි, කරිෂ්මා මේ හැම කෙනෙක්ම මට සමීපයි. මම ඔවුන් සමඟ වැඩ කළා. මම කාජල්ට "කට වහගෙන ඉන්නවා මෝඩයෝ" කියලත් බැනලා තියෙනවා. ඒවා හිතවත්කමට.
ඇයත් විවාහකයි. මමත් විවාහකයි. ඇය හරිම ක්‍රියාශීලී කාන්තාවක්. එය පිරිමියකු ආකර්ෂණය කරගන්න පුළුවන් ලක්ෂණයක්. කාජල් මට නිකමට හරි හිනා වුණොත් මගේ හිත ඇදිලා යනවා. ඒ වගේම ඇය හරිම සරාගියි. නමුත් අපි දෙදෙනාම විවාහකයි. එවැනි හැඟුම් අපිට ගැළපෙන්නේ නැහැ.

කාජල් තමන්ගේ හොඳම යළුවෙක් කියලා තමයි ෂාරුක් කියන්නේ. විවෘතව තම මතය එළිපිටම ප්‍රකාශ කිරීම, හොඳ යෙහෙළියක් කියන කරුණු නිසා තමයි ෂාරුක් තමන්ගේ හොඳම මිතුරිය ලෙස කාජල්ව තෝරා ගෙන තිබුණේ.

මම හිතන්නේ හුඟක් අය වැරැදි කරනවා. නමුත් වැරැදි නොකළා වගේ ඉන්නවා. නමුත් කාජල් එහෙම නැහැ. ඇය සතුව ඇය පිළිබඳව හොඳ ආත්ම විශ්වාසයක් තිබෙනවා. ඇය තිරය තුළ විප්ලවයක් කළ චරිතයක්. මම දන්නේ නැහැ. මට ඇය දැනෙන්නේ මගේම සහෝදරියක් වගේ.
2000 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සිනමා සම්මාන උළෙලේදී ප්‍රසිද්ධ වේදිකාව මත ඉඳලා ෂාරුක් කාජල්ට අන්න ඒ විදියේ සහතිකයකුත් දුන්නා.

ෂාරුක් සහ කාජල් පොත් කියවන්න රුසියෝ දෙන්නෙක් කියලා මුළු ක්ෂේත්‍රයෙම දන්නවා. පොතක් කියවන්න ගියාම අනෙක් හැමදේම අමතක කරවන තරමට මේ දෙන්නා පොත් කියවන්න ඇබ්බැහි වෙලා. ඒත් චිත්‍රපට බැලීම අතින් නම් මේ දෙන්නගේ අතර කිසිම ගැළපීමක් නැහැ. කාජල්ට දුක හිතෙන චිත්‍රපට බලන්න බැහැ. ඇඬෙනවා. හැරි පොටර් චිත්‍රපටය බලලත් කාජල් අඬලා.

අජය කාජල්ගේ ආදරණීය සැමියා. "චක් දේ ඉන්දියා" චිත්‍රපටයේ ෂාරුක්ගේ රංගනය අජය විස්මයට පත්කරන්න තරම් සමත්කමක් දක්වලා. අජය හිතේ මුල්ම කැමැත්තක් ඇති කරවන්න සමත් වුණු යුවළ වෙන්නේ එයාගේ බිරිය සහ ෂාරුක්. අජය කියන්නේ ගැහැනු කෙනකුගේ හොඳම යාළුවා පිරිමි කෙනෙක් නම්, ඒ දෙන්නා අතර දිගටම මිත්‍රත්වය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ෂාරුක් සහ කාජල් දිහා බලලා ඉගෙන ගන්නලු.
අජය හිතන විදියට නම් ෂාරුක් සහ කාජල් තරම් හින්දි සිනමාවට ගැළපෙන පෙම්වතුන් යුවළක් නැති තරම්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.