Header Ads

මමද උද්දිකද වඩාත් සාර්ථක කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරයි.

ගැමුණු මහරජ ටෙලි නාට්‍යයෙන් ඔබ මේ දිනවල දකින්න ලැබෙනවා කොහොමද ඒ වැඩ කටයුතු?
මේ දවස්වල පළමු අදියරේ රූගත කිරීම් නතර කරලා තියෙන්නේ. ගැමුණු කුමාරයා මාලිගාවෙන් පලාවිත් කොත්මලේ සැඟවිලා ගත කළ අවුරුදු දොළහක  ජීවිත කාලය ගැන පළමු කොටස් තිහෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වුණේ. ඉදිරියෙදි අදියර තුනකින් කතාව ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
කොහොමද ඔබේ නිරූපණයට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ගැන කියනවා නම් ඉතාම ඉහළයි. පුංචි ළමයගෙ ඉඳලා වැඩිහිටියා දක්වාම හමු වෙන හැම කෙනාම හුඟාක් ප්‍රශංසා කරනවා. සමහර අය මට කතා කරලම කියනවා නාට්‍ය බලන එක අතහැරලා තිබුණත් මේ නාට්‍ය නම් අනිවාර්යයෙන්ම බලනවා කියලා. පිටරටවල අය පවා කතා කරලා නාට්‍ය වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා.
මලින්ද මේ වගේ චරිතවලින් දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. ඉතිං මේ චරිතය භාර ගනිද්දි අභියෝගයක් කියලා හිතුණෙ නැද්ද?
ඇත්තටම අභියෝගයක් තමයි. මොකද දුටුගැමුණු රජතුමා කියන්නේ අපේ බෞද්ධයන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වුණු චරිතයක්. ඒ චරිතයට මොනම විදියකින්වත් හානියක් වෙන්න බැහැ. ඒ වීරත්වය, ඒ ප්‍රඥාවන්තභාවය සහ ඒ උපායශීලීත්වය කියන සියලු දේවල් වගේම ගැමියෙක් විදියට, ගොවියෙක් විදියට සහ ගොපල්ලකු විදියට අවුරුදු 3ක් ගත කරන කාලය තුළ ඔහුගේ හැසිරීම් රටාවන් ඒ සියලු දේ ඇතුළත් ඔහුගේ පෞරුෂය රැකගෙන චරිතය නිරූපණය කරන්න ඕනෑ. ඒක අභියෝගයක්.
මේ චරිතය වෙනුවෙන් මොන වගේ කැපකිරීමක්ද කළේ?
චරිතයේ වීරත්වයට අවශ්‍ය කරන පෙනුමක් තියෙනවා. ඉතිං මම හුඟක් මහන්සි වුණා ඒකට හරියන්න මගේ ශරීරය හැඩගස්වා ගන්න. මම කාය වර්ධන මධ්‍යස්ථානවලට ගිහින් උදේ සවස කැප කිරීම් කළා. ධර්මය තුළින් මගේ ජීවිතයට ලැබුණු ආධ්‍යාත්මික සුවය හා හික්මීම ගොඩක් ලොකු ආශීිර්වාදයක් වුණා මේ චරිතය රඟපාන්න. මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑවේ උද්දික. ගැමුණු මහරජ නාට්‍යයේ රඟපාන්නේ ඔබ. ප්‍රේක්ෂකයෝ මලින්දවත් උද්දිකවත් සන්සන්දනය කරනවා ඇති.

ඔබට හිතෙන විදියට ඔබද උද්දිකද සාර්ථක?
උද්දික කියන්නේ අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. උද්දික ඒ නිර්මාණයට උපරිමව සාධාරණත්වයක් කරන්න ඇති. ඒ වගේම මමත් මට හැකි උපරිම ආකාරයෙන් වීර රසය ඇතිවෙන විදියට ඒ චරිතය ප්‍රේක්ෂකයන්ට දැනෙන විදියට හොඳ කැප කිරීමකින් කරන්න කටයුතු කරනවා. කවුද වඩාත් සාර්ථක කියන දේ ප්‍රේක්ෂකයෝ තීරණය කරයි.
මලින්ද කාලයක් රංගන කටයුතුවල පේන්න නොහිටියේ ඇයි?
කාලයක් මම නිර්මාණවල පේන්න හිටියා. ඇත්කඳ ලිහිණියා නාට්‍ය වෙනුවෙන් හොඳම නැඟී එන නළුවාගේ සම්මානය මට ලැබුණා. ඊට පස්සේ මට බෞද්ධයා මාධ්‍ය ජාලයට එකතු වෙන්න ආරාධනාවක් ලැබුණා. දුර්ලභව ලැබෙන මිනිස් ආත්මය තුළ ධර්මය ජීවිතයට ගළපාගෙන ධර්මය මිනිස්සුන්ට ලබා දෙන්න ලැබෙන අවස්ථාව මට භාග්‍යයක්. ඉතින් මම රංගනය පසෙක තියලා ඒ මට ලැබුණු අවස්ථාවට සම්බන්ධ වුණා. ඒත් එක්ක මම ගැමුණු මහරජ වෙනුවෙන් ලැබුණු අවස්ථාවත් භාර ගත්තා.
තව අලුත් නිර්මාණ භාර ගත්තේ් නැද්ද?
ඇත්තටම කිව්වොත් මම මේ දවස්වල ගැමුණු මහරජ චරිතයට කැපවෙලා වැඩ කරන නිසා වෙනත් චරිතයකට දායක වෙන්න අවස්ථාව අඩුයි. මොකද මේ සඳහා මම කොණ්ඩෙ ටිකක් වවාගෙන ඉන්න ඕනෙ. ඒ වගේම මගේ මනස සම්පූර්ණයෙන්ම සැකසිලා තියෙන්නෙ මේ චරිතය සඳහා. ඉතින් මේ නිර්මාණයෙන් පසුව හොඳ චරිතයක් ලැබුණොත් භාර අරගෙන කරන්න සූදානමින් ඉන්නවා.
මලින්ද ජනප්‍රිත්වය හොයාගෙන යන්නේ නැති හැඩයි?
ඇත්තටම කිව්වොත් ජනප්‍රියත්වය කියන දේ සොයා යා යුතු දෙයක් නෙවෙයි කියන එක තමයි මගේ මතය. ජනප්‍රියත්වය කියන්නේ ලැබිය යුතු දෙයක්. ඉතින් ලැබිය යුතු දෙයක් බලෙන් ලබා ගන්න බැහැ. එහෙම ලබා ගත්තොත් ඒක ව්‍යාජයක් වෙනවා. කාගෙවත් සිත්වලට අපව බලෙන් ඇතුළත් කරන්න බැහැ. අප එයාලගේ හිත්වල රැඳෙන දෙයක් කළොත් අනිවාර්යයෙන්ම එයාලගේ මතකයේ අපි ඉඳියි.
ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වුණත් තෝර ගත්ත නිර්මාණ කිහිපයක පේන්න ඉන්නේ ඒ නිසා වෙන්න ඇති?
ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් ඇතුළත මම කරලා තියෙන්නේ නිර්මාණ විස්සක් වගේ ප්‍රමාණයක්. මට නිර්මාණ ගොඩක පෙනී හිටින්න නොවෙයි වුවමනාව තියෙන්නේ. හොඳ නිර්මාණයකට මගේ දායකත්වය මම ලබා දෙනවා.
පෞද්ගලික ජීවිතේ ගෙවෙන්නේ කොහොමද කියලත් කියමු?
මම හැම වෙලාවෙම මගේ ජීවිතය යහපත්ව ගත කරන්න උත්සාහ කරනවා. ධර්මය තුළින් ජීවිතයේ යථා අවබෝධය ලබාගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනයන්න තමයි මම උත්සාහ කරන්නේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.