Header Ads

උද්ඝෝෂණ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කළා - අගමැති


ශ්‍රී ලංකාව තුළ  ඕනෑම උද්ඝෝෂණයක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ස්විට්සර්ලන්තයේ - ඩාවෝස්හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේදී බී.බී.සී රූපවාහිනිය සමග
සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට පැවති විරෝධතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහායකයන් පිරිසක් විසින් සිදුකරන ලද්දක් බවයි. චීනය, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එරෙහිව එම විරෝධතාව පැවැත්වුණ ද, චීනය අද (20) ලෝකයේ විවිධ රටවල ආයෝජන සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළා.
එක්සත් රාජධානියේ න්‍යෂ්ටික බලාගාරයක් සදහා කළ ආයෝජනය ඊට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා. 2050 වසර වනවිට ලෝකයේ වඩාත්ම ශක්තිමත් මධ්‍යම පාන්තිකයන් බිහිවන්නේ දකුණු අප්‍රිකාවේ සිට ඉන්දුනිසීයාව දක්වා කලාපයේ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එය ඉලක්ක කර ගෙන නිෂ්පාදන සැලසුම් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි සදහන් කළේ. හම්බන්තොට කර්මාන්ත කලාපයන් හි ලෝකයේ  ඕනෑම රටකට ආයෝජනය කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරයා බී.බී.සී සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළා.
නවසීලන්ත වෙළද අමාත්‍ය ටොඩ් මැක්ලේ සමග ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඩාවෝස් නුවරදී සාකච්ඡාවක නිරත වුණා. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල විවෘත කිරීමට ද එකගත්වයක් ඇති වී තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව නවසීලන්ත වෙළද අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළද ගිවිසුමකට එළඹීම පිළිබදව ද එහිදී සාකච්ඡා කළ බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලය විවෘත කිරීම නුදුරේදීම සිදුවන බව නවසීලන්ත වෙළද අමාත්‍ය ටොඩ් මැක්ලේ පවසනවා. දැනට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන්නේ එරට නවදිල්ලි මහකොමසාරිස්වරයායි. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී  ලංකාවේ මහකොමසාරිස්වරයා නවසීලන්ත මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරනවා. දෙරට අතර, ඍජු රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත වෙළද අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමෙන් අනතුරුවයි.
දෙරට අතර ආර්ථික සබදතා ශක්තිමත් කරලීම සදහා නිදහස් වෙළද ගිවිසුමක් ඇති කිරීම පිළිබදව ද මෙහිදී අදහස් හුවමාරු වූ බව ඩාවෝස්හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සදහා පැමිණ සිටින නවසීලන්ත වෙළද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා. ඒ සදහා එකගත්වයක් සහිත තවත් රටවල් එක් කර ගැනීමට අදහස් කරන බවයි ඔහු කියා සිටියේ. නවසීලන්තය, ඇමරිකාව සමග ඇති කර ගත් අන්තර් පැසිෆික් සහයෝගිතා ආර්ථික ගිවිසුම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ අහෝසි කිරීමට නියමිතයි. ඒ අනුව නව වෙළද ගිවිසුම්වලට පිවිසීමට නවසීලන්තය කටයුතු කරමින් සිටිනවා. එහිදී ආසියාතික රටවලට ප්‍රමුඛත්වයක් හිමිවන බව නවසීලන්ත වෙළද අමාත්‍ය ටොඩ් මැක්ලේ වැඩිදුරටත් සදහන් කළා. ශ්‍රි ලංකාව පසුගිය වසරේදී නවසීලන්තයෙන් මිලදී ගත් පශු නිෂ්පාදන ඇතුළු අපනයනයන්හි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 240 කට ආසන්නයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.