Header Ads

අම්ලා, ඩුප්ලෙසි, තහීර් දකුණු අප්‍රිකාව දිනවති


දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත්හිදී අද (28 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 8 ක ජයක් හිමිකරගත් දකුණු අප්‍රිකාව තරගාවලියේදී 1-0 ක් ලෙස ඉදිරියට පැමිණියේය. ජයග්‍රහණය සදහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඕවර 34.2 කදී කඩුලු දෙකක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර ගියහ.
ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා ප. පානෙල්      1
සඳුන් වීරක්කොඩි - ඇ. අම්ලා ප. පානෙල් 5
කුසල් මෙන්ඩිස් - ක.මු.කළා ප. ඉම්රාන් තහිර්62
දිනේෂ් චන්දිමාල් - ප. ඉම්රාන් තහිර්22
උපුල් තරංග - ඇ. ඩුමිනි ප. ඉම්රාන් තහීර් 6
ධනංජය ද සිල්වා - ඇ. ඩු ප්ලෙසී ප. පානෙල් 28
අසේල ගුණරත්න - දුවද්දී දැවී ගියා 10
නුවන් කුලසේකර - ඇ. ඩි කොක් ප. රබාඩා17
ජෙෆ්රි වැන්ඩසේ - ක.මු.කළා ප. මොරිස් 8
සුරංග ලක්මාල් - ප. මොරිස් 3
ලක්ෂාන් සඳකැන් - නොදැවී 2
අතිරේක (පා-5, ව-12)17
එකතුව ඕවර 48.3 කදී සියලුදෙනා දැවී    181
කඩුලු වැටීම 
1-1 (දික්වැල්ල), 2-14 (වීරක්කොඩි), 3-86 (චන්දිමාල්), 4-99 (මෙන්ඩිස්), 5-102 (තරංග), 6-126 (ගුණරත්න), 7-155 (කුලසේකර), 8-170 (වැන්ඩසේ), 9-170 (ධනංජය), 10-181 (ලක්මාල්,)
පන්දු යැවීම
කගිසෝ රබාඩා10-1-35-1
වේන් පානෙල්10-1-48-3ව-5
ක්‍රිස් මොරිස්9.3-1-29-2ව-5
ඇන්ඩ්ල් පෙලූක්වායෝ 7-0-31-0ව-1
ඉම්රාන් තහීර්10-0-26-3
ජේ.පී.ඩුමිනි2-0-7-0ව-1
දකුණු අප්‍රිකාව 
ක්වින්ටින් ඩි’කොක් - ඇ. වීරක්කොඩි ප. සඳකැන් 34
හසීම් අම්ලා - ඇ. සහ ප. ගුණරත්න 57
ෆෆ් ඩුප්ලෙසි - නොදැවී 55
ඒ. බී. ඩිවිලියර්ස් - නොදැවී 30
අතිරේක (පා-2, පෙනල්ටි -5, ව-2)9
එකතුව ඕවර 34.2 කදී කඩුලු 2 ක් දැවී    185
කඩුලු වැටීම 
1-71 (ඩි’කොක්), 2-131 (අම්ලා)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ජේ.පී.ඩුමිනි, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිලර්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, ඇන්ඩ්ල් පෙලූක්වායෝ, කගිසෝ රබාඩා
පන්දු යැවීම
නුවන් කුලසේකර 5-0-20-0
සුරංග ලක්මාල් 6-1-29-0ව-1
ධනංජය ද සිල්වා 2-0-9-0
ජෙෆ්රි වැන්ඩසේ 7-0-51-0
ලක්ෂාන් සඳකැන් 8-0-35-1ව-1
අසේල ගුණරත්න 5-0-19-1
කුසල් මෙන්ඩිස් 1.2-0-15-0
ෆෆ් ඩූ ප්ලේසි (නොදැවී 55) සහ ඒ.බී. ඩිවිලියර්ස් (නොදැවී 30) තෙවැනි කඩුල්ල සදහා පන්දු 51 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර පන්දු 67 කදී තම 24 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ෆෆ් ඩූ ප්ලේසි සමත්විය.
අසේල ගුණරත්න විසින් හසිම් අම්ලාගේ කඩුල්ල දවාගැනිමත් සමගින් දෙවැනි කඩුල්ල සදහා ෆෆ් ඩූ ප්ලේසි සමගින් පැවැත්වූ ලකුණු 60 ක සම්බන්ධතාව අවසන්විය. අම්ලා දැවීයන විටදී පන්දු 71 කට මුහුණදි හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් රැස්කර තිබූ අතර 31 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 56 කදී සම්පූර්ණ කරගැනීමට සමත්විය.
ලක්ෂාන් සඳකැන් යැවූ 18 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී පහරක් ගැසීමට ගිය හසීම් අම්ලාගේ පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින දිනේෂ් චන්දිමාල්ටද අල්ලාගැනීමට නොහැකි වීමෙන් කඩුලු රකින්නා පසුපස තබා තිබූ හිස් ආවරණයේ වැදීම නිසා දඬුවම් ලකුණු 5 ක් දකුණු අප්‍රිකානුවන්ට හිමිවිය.
ලකුණු 82 කට කඩුල්ලක් දැවී තිබියදී ලක්ෂාන් සඳකැන් යැවූ පන්දුවක් ෆෆ් ඩූ ප්ලේසීගේ පාදයේ වැදීමෙන් පසුව කඩුල්ල මුවා කලේ යැයි ඉල්ලිමක් කළද ප්‍රධාන විනිසුරුවරයා විසින් එය ප්‍රතික්‍ෂේප කරන ලදී. විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය යාමට හැකියාව තිබුණද ලක්ෂාන් සඳකැන් සහ නායක උපුල් තරංග අතර පැවති සාකච්ඡාවෙන් පසුව විනිසුරු තීරණ විමසීම ඉල්ලා සිටියද ඒ සදහා දී තිබූ තත්පර 15 ක කාලය නිමාවිම නිසා විනිසුරුවරයා විසින් ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලිම ප්‍රතික්‍ෂේප කරන ලදී.
ක්වින්ටන් ඩි’කොක් සහ හසීම් අම්ලා අතර පළමු කඩුල්ල සදහා පැවැති ලකුණු 71 ක සම්බන්ධතාවයට තිත තැබූ ලක්ෂාන් සඳකැන් ලකුණු 34 ක් ලබාසිටි ක්වින්ටින් ඩි’කොක් දවාගැනීමට සමත්විය.
තුන්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 8 ම ලකුණු 95 ක් තුළ බිඳ වැටුණු අතර ඒවායින් තුනකට හිමිකම් කී දකුණත් පා දඟ පන්දු යවන්නා වන ඉම්රාන් තහීර් විසින් යවන ලද පන්ද 60 න් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 26 ක් පමණි. ඉනිමේ 40 වැනි ඕවරය නිමා වන විටත් ශ්‍රී ලංකා පිල ලබා සිටියේ කඩුලු 6 කට ලකුණු 150 ක් පමණි. පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු හතර ලකුණු 26 ක් තුළදී දවාගැනිමට සමත්වූහ.
ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමට ධනංජය ද සිල්වා උත්සහ කළද ඔහු ගැසු පහරකට ඉහළ නැගුණු පන්දුව ෆෆ් ඩූප්ලේසී රැකගැනිමත් සමගින් නවවැනි කඩුල්ල ලෙස ඔහු ලකුණු 28 කට දැවි ගියේය. එම කඩුල්ල දවාගැනීමත් සමගින් වේන් පානෙල්ගේ කඩුලු සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගියේය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඕවර 4 ක් ඇතුළතදී ලකුණු 14 කට දැවී ගිය හෙයින් සිය කඩුලු ආරක්ෂා කරගනිමින් සෙමින් ගමනක නිරතවූ කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඉනිම ගොඩනැංවූහ. පිට ඉන්නට එපිටින් පතිත වූ ඉම්රාන් තහීර්ගේ ගුග්ලි පන්දුව එක්ස්ට්‍රා කවර්ස් කලාපයට තල්ලු කිරීමට චන්දිමාල් උත්සාහ කළ නමුත් පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා ගිය පන්දුව පිට ඉන්නේ වැදීමත් සමග දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක වීමෙන් පසුව ලකුණු රැස්කිරීමේ අභියෝගය බාරගත් කුසල් මෙන්ඩිස් දුර්වල පන්දුවක් දුටු සැණින් එය හතරේ සීමාව කරා යැවීමට පසුබට නොවීය. පන්දු 74 කදී වාර්තාවූ කුසල් මෙන්ඩිස්ගේ අටවන එක්දින අර්ධ ශතකයට හතරේ පහර නවයක් ඇතුළත්විය.
ලකුණු 48 ක් ලබාසිටියදී ඉම්රාන් තහීර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කුසල් මෙන්ඩිස් දැවීගියේ යැයි ප්‍රධාන විනිසුරු රිචඞ් කෙට්ල්බරර් මහතා තීරණය කළද එම තීරණයෙන් සැහීමකට පත්නොවූ දිනේෂ් චන්දිමාල් විසින් කුසල් මෙන්ඩිස්ට පෙර විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටින ලදි.
තෙවැනි විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතා රූපරාමු නැරඹීමෙන් අනතුරුව කුසල් දැවීගිය ක්‍රීඩකයකු නොවන බව තීරණය කළේය.
එහෙත් ලකුණු 62 ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් ඉම්රාන් තහීර්ගේ පාදඟ පන්දුව හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවියන විටදී ලකුණු 99 කට කඩුලු 4 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය. ශ්‍රී ලංකා පිතිකරුවන් ආපසු ක්‍රීඩාගාරයට යාමේ පෙරහැර එතැන් සිට ආරම්භ විය.
සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන සඳුන් වීරක්කොඩිගේ කඩුල්ල වේන් පානෙල් විසින් දවාගන්නා විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14 කට කඩුලු දෙකක් ලෙස ලකුණු පුවරුවේ සටහන් විය. විස්සයි20 තරගාවලියේ සාර්ථකම පිතිකරුවාවූ නිරෝෂන් දික්වැල්ල ලකුණක් පමණක් ලබාසිටියදී වේන් පානෙල් යැවු පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය.
අද තරගයේදී සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගත්තේය. එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයකු වන සඳුන් වීරක්කොඩි පළමු පෙළ තරග 36 ක්, සීමිත ඕවර තරග 24 ක් සහ විස්සයි20 තරග 25 ක් ක්‍රීඩාකර ඇත.
විස්සයි20 තරගාවලිය සදහා එක්නොවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්වන හසිම් අම්ලා, ෆෆ් ඩූ ප්ලේසී, ජේ.පී. ඩුමිනි, ක්‍රිස් මොරිස් සහ කගිසෝ රබාඩා එක්දින කණ්ඩායමට එක්වී සිටිති.  කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩිවිලියර්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.