Header Ads

යාලදී සුනාමියට අසුවී සියල්ල අහිමි වූ මවගේ කතාව

රළ දහවල ගිනි රස්‌නය ඇඟ දවයි. අවට වියළී ගිය ගහකොළය. අප සිටියේa යාල අභය භූමියේ ගිනිකොණ දිග මුහුදු තීරයේ පිහිටා තිබූ සංචාරක සෆාරි හෝටලය ඉදිරිපිටය.
ඒ මීට වසර එකොළහකට ඉහත ලංකාවට සුනාමිය කඩා වැදීමෙන් වසර පහක්‌ පමණ ඉක්‌ම ගිය අනතුරුවය.
ඒ වන විට එතැන හෝටලයක සේයාවක්‌ වත් තිබුණේ නැත. තිබුණේ කිසියම් ගොඩනැඟිල්ලක පාදමයි. පාදමට උඩින් ඇති ටයිල් ඇතිරිල්ල ඉරිතළා ගොස්‌ ඇතද එය විනාශ වී නැත. පාදමට මඳක්‌ ඉදිරියෙන් දැවැන්ත උදම් රැළි පහක්‌ සහිත ස්‌මාරකයක්‌ අහසට නැඟී සිටියි.
මේක එදා හරිම අලංකාර සංචාරක නිවහනක්‌. හරිම ලස්‌සන තැනක්‌. අප රැගෙන ආ රියෑදුරා කියයි.
ඒ 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදාය. හරියටම අදට වසර 11 කට ඉහතය. උදම් රළ විසින් ලොවින් අඩක්‌ ගිල ගත් අවාසනාවන්ත දවසය. එදින ලොව 2,50000 ක ට උන් හිටිගමන් දිවි ගමන නිමා කරන්නට සිදුවූ දවසය. ශ්‍රී ලංකාවේ 40,000 ක්‌ දෙනාට අත්වූයේ ද ඒ ඉරණම මයි.
එදින මේ හෝටලයේ විදේශික සංචාරක පවුලක්‌ ද නතර වී තිබුණා. එම පවුලට තරුණ ලාංකික මවක්‌, සුදු ජාතික ඇගේ සැමියා හා ඔවුන්ගේ දරු දෙදෙනා ඇතුළත් වුණා.
එදා ඔවුන් නතර වූ කාමරය සුනාමියෙන් පසු අතුරුදන් වී ගිහින්ය. එතැන තිsබුණේ ඉරිතළා ගිය ටයිල් ඇතිරිල්ල පමණයි. ඒ හෝටලයේ නවාතැන් ගෙන සිටි 47 ක්‌ වූ විදේශික පිරිසට ද ගැලවීමක්‌ ලැබුණේa නැත.
මේ කියන දිනයට පෙර දින එම හෝටලයේ නැවතී සිටි ගුරුවරියක්‌ අපට හුමුවුණා. ඇය අරුණි මුතුකුමාරණ මහත්මියයි. ඇය කියා සිටින්නේ ඉහත සඳහන් පවුලේ උදවිය එම හෝටලයට පැමිණෙනු තමා දුටු බවයි.
අරුණි හා ඇගේ සැමියා යාලට ගොස්‌ ආපසු පිටත් වී ඇත්තේ 25 වැනිදා සන්ද්‍යාවේයි.
“අපි එදා ආපසු එන්න සූදානම් වෙලා හෝටලයෙන් පිටතට ආවා. එතකොට තමයි ඔය කියන අය එතනට පැමිණියේ. මට හොඳට මතකයි කොට කලිසමක්‌ හා බ්ලවුසයක්‌ ඇඳගත් තරුණ කාන්තාවක්‌ කුඩා දරු දෙදෙනකු සමඟ රථයෙන් බැස්‌සා. පිරිමි ළමයින් දෙදෙනෙක්‌. ඒ අයට තිබුණේ සුදු හමක්‌.
ඒත් තරුණ මව තලඑළලු සිංහල කාන්තාවක්‌. ඈ හරිම කඩිසර ලෙස දරුවන් හික්‌මවා ගත්තා. එමෙන්ම ඇගේ ක්‍රියාශීලී ප්‍රියමනාප බව ඉස්‌මතු වී පෙනුණා. අනතුරුව රථයෙන් බට සුදු ජාතිකයා ඇගේ සැමියා විය හැකි යයි මට සිතුණා.
ඊළඟට වියපත් යුවළක්‌ රථයෙන් බැස්‌සා. දරුවන් දෙදෙනා සිනාවෙමින් ඉදිරියට දිව්වා. කාන්තාව ඉංග්‍රීසි බසින් දරුවන්ට කතා කළත් ඇගේ උච්චාරණය සිංහලට හුරුයි. මේ වෙනස්‌කම් නිසයි ඔවුන් තදින් මගේ සිතේ රැඳුණේ.
මේ ප්‍රීතිමත් මව පමණක්‌ ඉතිරි වී අනික්‌ සියල්ලන් උදම් රළට බිලීවී ඇතැයි යන්න ඇසීමත් හද කම්පා කරවනවා.
අරුණි ඒ සිදුවීම විස්‌තර කළේ ඒ විදියට. ඇය නිවැරදිය. ඒ තරුණ මව පසු කලක ඇගේ භයංකර අත්දැකීම් අලලා ලියූ පොතේ සඳහන් තොරතුරු ඇගේ සාක්‌ෂිය හා හොඳින් ගැළපේ.
එදා ඒ රථයෙන් බැස ගිය තරුණ මව සොනාලිය. සොනාලි දැරණියගලය. දරු දෙදෙනා වික්‍රම් හා නිල් ය. සැමියා ඉංග්‍රීසි ජාතිකයකු වූ ස්‌ටීවන් ලිසෙන්බර්ග් ය. වියපත් යුවළ ඇගේ මව්පියන්ය. මේ අයගෙන් තරුණ මවට හැර අන් කිසිවකුට ආපසු යැමට ජීවිතය ඉඩ දුන්නේ නැත.
තම පවුල මෙසේ විපතට පත් වීමෙන් එතැන ඉතිරි වූයේ තවත් පටාචාරාවක්‌. මහත් භ්‍රාන්තියටත් සිහිවිකලභාවයටත් ඇද වැටුණු තරුණ සොනාලි යළි ජීවිතය ගොඩන`ගා ගැනීමට කළේ මහත් සටනක්‌. මේ සියලු දුක්‌ වේදනා ගොනු කොට ඇය පොතක්‌ ලීවේ ආපසු එංගලන්තයට ගොස්‌ කලකට පසුය.
ඒ පොත රළ උඩැ ය. ඇය ඒ භයංකර දවස ගැන කියන්නට පටන් ගන්නේ මෙසේය.
“එක්‌වරම සයුරට බෑවුම්ව ගිය වැලිතලාව මත වූ නිල් දිස්‌නයක්‌ පමණක්‌ ලෙස සාගරය දිස්‌ විය. රළක පෙණකැටි එම බෑවුම සූරාගෙන පැමිණ අපේ කාමරය හා ඉන් ඔබ්බේ මායිම අතර වූ උස සයිප්‍රස්‌ තුරු දෙසට ළ`ගාවෙමින් තිබිණ.
පෙණකැටි රැලිවලට හැරුණේය. රැලි වෙරළ කෙළවර වැටියට ඉහළින් පැන්නේය. මුහුද කෙදිනකවත් මේ තරම් රට තුළට ආවේ නැත. රැලි දැන් දැන් වඩා දුඹුරු හා අළු පැහැයට හැරිණ. සියලු රැලි පැමිණෙන්නේ කඩාබිඳ ගෙන කැලතෙමිනි. ඒවා ප්‍රචණ්‌ඩය. භයංකාරය. මම ස්‌ටීව්ට කෑගැසුවෙමි. එවේලේ ඔහු සිටියේ නාන කාමරයේය.
සොනාලි කුඩා පුතුන් දෙදෙනාද ඇදගෙන හෝටලයෙන් එළියට දිවයයි. ඇය දිවයන්නේ ඉදිරියේ නවතා ඇති ජීප්රථය වෙතටය. ඇය දිව ආවේ තම මව්පියන්ගේ කාමරය ඉදිරියෙන් වුවත් ඔවුන්ගේ දොරට තට්‌ටු කිරීමට හෝ කෑ ගසා කීමට ඇයට හැකි වී නැත.
සැමියාද රථයට ගොඩවූ පසු ඔවුන් රැගත් ජීප් රථය වේගයෙන් ඉදිරියට ඇදෙයි. එහෙත් වතුර ආවේ එයට වඩා වේගයෙනි. ඒ මහෝඝයට ජීප්රථය යට විය. ඉන්පසු ඉදිරියට ඇදෙන ජල කඳට අසු වූ සොනාලි කළේ ජීවිතය මරණෙන් ගලවා ගැනීමට සටන් කිරීමය. ඇය ජලය යටය. තනිකර මඩ පාට ලෝකයක්‌ ඇය වටා ඇත. දෑස්‌ තූළ ද මුවෙහිද වැලි පිරී පපුව තදින් රිදුම් දෙයි.
ජල කඳ ඇයත් ඇදගෙන ඉදිරියට ගලා යයි. ගස්‌වල අතු හා පඳුරු වල ඇය ගැටෙයි. ඇය ජලයට නැමණු අතු අගක්‌ ඩැහැගනී. හිසට උඩින් ජලය බඹරයක්‌ සේ කැරකෙයි. ඇස්‌වලද මුව තුළ ද වැලිය. කැස්‌ස සමඟ මුවින් ලේ පිටවේ. කලිසම තෙත බරිව බරය. ඇය එය ගලවා දමයි. අනතුරුව ඇය ඇද වැටුණේ මඩ වගුරකටය.
මිනිස්‌සු ඇය දැක දිව එන විට ඇය මඩ වගුරේ එරෙමින් සිටියි. නිරුවතින් සිටි ඇයට මිනිසෙක්‌ තම කමිසය ගලවා ඇගේ ඉණ වටා අන්දවයි. අනතුරුව බලෙන් මෙන් ගොඩට අදිති. අනතුරුව ඇය ගෙන යන්නේ වන උයනේ කාර්යාලය වෙතය.
ඇගේ දිවි රැකී ඇත. එහෙත් ඇගේ දරුවන් කොහෙද ඔවුන්ගේ දිවි රැකී ඇත්නම්. කවුරුන් හෝ ඔවුන් ද සොයාගෙන එනවා නම් ඇය සිතයි. සුදු වෑන් රියක්‌ එයි. එහි ඇගේ දරුවන් සැමියා සිටිත්ද? නැත. එහි නැත.
ඇය ඉන් පසු ගෙන යන ලද්දේ රෝහල වෙතය. ඇය රෝහල් බංකුවක ඉඳගෙන සිටියි. ඇගේ වළලු කරෙහි ගැඹුරු සීරීම් ය. එයින් ලේ ගලයි. පය පතුලේ කැපුම් තුවාලය. එයින්ද ලේ ගලයි. ඇගේ සිතෙන්ද ලේ ගලයි. තුවාල පිරිසිදු කර වේලවාගන්න හෙදියක්‌ කියයි. එහෙත් ඇගේ සිතේ ඇති ගැඹුරු තුවාලය කිසිවෙකුට නොපෙනෙයි.
නැවත ට්‍රක්‌ රථයක්‌ එයි. එය දිවි බේරාගත් අයගේ අප්‍රාණික සිරුරුවලින් පිරී ඇත. එහෙ මෙහෙ කලබලයෙන් දුවන වෛද්‍යවරු, හෙදියන්, තෙත බරිත වී ගිය සිරුරින් වැතිරී ඇති ගැහැනුන් මිනිසුන්, අතර ඇය ඉඳ සිටියි. ඇය තමා ඇඳ සිටි තෙත බරිත නිල් කමිසය ගලවා හෙදියක ගෙන විත් දුන් ටී ෂර්ට්‌ එක ඇඳ ගනියි.
ගිලන් රථය කුඩා ළමයකු ගෙනවිත් සිටී. ‘කවුද මේ ළමයා කව්රුවත් අඳුනනවාද?’ වෛද්‍යවරයෙක්‌ කෑ ගසා අසයි. ඇය ගාටමින් රථය වෙත යයි. ඒ මල්ලීද? පොඩිපුතාගේ කකුලේ උපන් ලපයක්‌ වූ බව ඇය දනියි. සැකයෙන් කකුල් දෙකම පරීක්‌ෂා කර බලයිs. නැත. මේ ඔහු නොවෙයි.
තවත් ට්‍රක්‌ රථයක්‌ එයි. ඔවුන් බේරුණු තව අය සොයා ගෙන ඇත. විලාපයක්‌ ඇසිණ. zමා කිසි දිනක මෙවන් කෑ ගැසීමක්‌ අසා නැත. එය කොතරම් බිහිසුණු ද කාලකණ්‌ණිද.
ඇය අනතුරුව රෝහල් මෘත ශරීරාගාරය වෙත යයි. මීට පැය කීපයකට පෙර ප්‍රීතිමත් සාඩම්බර මවක හා බිරිඳක වූ ඇය පරණ බ්ලැන්කේට්‌ටුවක්‌ ඉණ වටා දවටා ගෙන මළ මිනී අතරින් ඇවිද යයි. මුළු පවුලම සිටිය හැකි මෘත ශරීරාගාරයට මේ යමින් සිටින්නේ සැබවින්ම මේ මා ද? ඇය තමාගෙන්ම අසයි.
ඇගේ සැමියා නොකියාම ගොස්‌ ය. සුqරතල් දරු දෙදෙනා වන වික්‍ර්‍රම් හා නිල් ද නැත. අයට ඇගේ ලෝකයම අහිමි වී ගොස්‌ය. නැවත නොඑන ලෙසය. කිසිදා නොඑන ලෙස ය.
තව සුළු මොහොතකින් එළිය වැටෙනවා ඇත. හෙට වනු ඇත. කොයි ලෙසකින් හෝ හෙට දවස උදාවෙනවා දකින්ට මට වුවමනා නොවීය. ඇයට අවශ්‍ය වී ඇත්තේ තවදුරටත් තම දරුවන් සැමියා ජීවතුන් අතර නැතැයි යන අදහසින් ඉවත් වී සිටීමටය.
ඇයට ඉතා වෙහෙසකර දෙයක්‌ වන්නේ දරුවන්ගේ පෙර ක්‍රියාකාරකම් හා වදන් මතකයට ඒ මෙන් වැළකී සිටීමය. ඒවා යළි යළිත් මතකයට නැඟීමෙන් ඇය යළි යළිත් සුනාමි රළ තු=ළ ගීලී යයි.
“මගේ දරුවන් සඳහා මා කළ සියල්ල අතහැර දැමීමට සිදු වී තිබේ. ගෙවී ගිය මාස කීපය තූළ මම ඒ සිතුවිල්ලෙන් සලිත වෙමින් ඇඳේ පැත්තක්‌ අල්ලා ගෙන සිටියෙමි. මට නිතර ඔවුන් ඇසෙයි දැeනෙයි. වැඩි කල් නොගොස්‌ මම දිවි තොර ගන්නෙමි. එහෙත් ඒ වන තුරු මම මේ වේදනාව විඳ ගන්නේ කෙසේද?”
මේ සිදුවීම්වලින් අනතුරුව ඇය කොළඹ ඥාති නිවසේ ගත කරන දුක්‌බර ජීවිතය පොතේ විස්‌තර වේ. කාමරක හුදකලාව වෙසෙයි. කිසිවෙකු= හා කතා කිරීමෙන් වැළකී සිටියි. මත් වතුර පානය කරයි. ඒවාට නිදි පෙති මුසු කර බොයි. zවිටෙක මම මුළු තැන්ගෙට යමි. මට මැණික්‌ කටුව ළඟින් කපා ගත හැකිය. එහෙත් සියලු පිහි සඟවා ඇත. මම වේදනා නාශක කුප්පිත් සමග නිදි පෙති රැස්‌කර ගන්නට උත්සාහ කළෙමි.
සුනාමියෙන් සිව් මසකට පසුව ස්‌ටීව් හා බාල පුතු නිල්ගේ සිරුරු හඳුනා ගෙන තිබිණ. ඉන්පසු කීප දිනක්‌ ඇය විනාශ වී ගිය හෝටලය දකින්නට පැමිණ ඇත.
හෝaටලයේ නාම පුවරුව (යාල සෆාරි හෝටලය) බිම ඇද වැටිලාය. හෝටලයේ භෝජනාගාරය පිහිටි කොන්ක්‍රීට්‌ කුලුනු අතර ඇය ඇවිදියි. ඈතට වන්නට පිහිටි ඔවුන්ගේ කාමර බිමෙහි පළුදු වූ සෑම තැනකින්ම කුඩා පඳුරු මතු වී ඇත. රෝස පැහැති මදුරු දැලක්‌, මෙනු පතක්‌, බිඳී ගිය වයින් වීදුරුවක්‌, ළමයෙකුගේ රතු යට කලිසමක්‌ ඇය දකී. අවසානයේ ඇයට ස්‌ටීව් විසින් ලියන ලද වැල්ලට යට වී තිබූ කඩදාසියක්‌ හමුවේ. ‘මම කඩදාසිය පපුවට තුරුළු කරගෙන ඇඬුවෙමි. මගේ මාමණ්‌ඩිය මට කීවේ වස්‌තුවේ ඔයාට ඇති තරම් අඬන්න කියාය.’
ඇය වඩාත් සංවේගයට පත් වන්නේ පඳුරක්‌ අස්‌සේ සැඟවී තිබූ වික්‍රම්ගේ කමිසය හමු වීමෙනි. zකටු පඳුරක්‌ යට අඩක්‌ වැල්ලෙන් යට වී තිබූ දේ මා ඇද්දේ මේ කහ ගැහෙමින් තිබූ රෙදි කෑල්ල කුමක්‌ දැයි බලන්නටය. මම එහි වැලි ගැසුවෙමි. ලුණු වතුරට හා ඉර එළියට හසු නොවූ කොටස්‌ ඒ වන විටත් දීප්තිමත් කොළ පැහැයෙන් තිබිණ. එය එදා වික්‍රම් ඇඳ සිටි කමිසය ය.
සොනාලිගේ මිතුරියක වූ කැරිල්ට ඇය බේරා ගත් මිනිසා හමුවී තිබිණ.
‘මිනිහා උයන්පල්ලෙක්‌. එයා හදිසියෙම තමයි ඔයා දැකලා තියෙන්නෙ. ඔහු දැකපු පුදුම සහගත දේ, ඔයා කියලත් ඒ මිනිහා කිව්වා. ඔය ඉඳලා තියෙන්නෙ කළුපාට මඩවලින් වැහිලා. පුදුමයි හිටියෙ කැරකි කැරකි යයි ඔහු කීවා. ඔයාට එන්න කියලා අඬගැසුවා ඔයා ඔළුව වැනුවාලු. පස්‌සෙ එක මිනිහෙක්‌ ඔහුගේ කමිසය ඔයාගේ ඉණ වටේ දවටලා සෑහෙන තරම් දුරක්‌ මඩේ ඇද ගෙන ඇවිත්. ‘
ඇය යළිත් පියවි ජීවිතයට එන්නේ බොහෝ වැර වෑයමනි. ඒ භයංකර අතීතය හොල්මනක්‌ සේ ඈ වටා කැරකෙන බව නිතර ඇයට දර්ශනය වේ.
තම පොතේ අවසන් පරිච්ඡේද කීපයම ඇය වෙන් කර ඇත්තේ තම සැමියා වූ ස්‌ටීවන් වෙනුවෙනි. අතීත සුන්දර හමු වීම්, ආදරය, සංචාරයන්, ප්‍රීතිමත් ජීවිතයක අවසානය, එහි දක්‌වා ඇත්තේ ස්‌ටීව්ට තවමත් ඇගේ ආදරයේ වෙනසක්‌ නැතිව පවත්නා බව පෙන්වමින්.
ඔහුට තිබුණේ නළලට වැටුණු බබළන කළු කෙස්‌ය. ඉතා පැහැදිලි පැත්තකට ඇලවුණු කළු ඇස්‌ය. නිකට උල්ය. සුන්දරය.
ඒවා දැන් සියල්ල අතීතයට එක්‌ වී ඇත. ඇගේ ලෝකය ඇය හැරදමා ගොස්‌ ය. දැන් එය නැවත ලැබිය නොහැකිය. කාලය ඇගේ දුක්‌ වේනාවන්ට පවන් සලනු ඇත. තවත් දෙයක්‌ කියන්නට ඇත. සුනාමියට අසුවී දුකකට පත් වූ එකම මව ඇය පමණක්‌ නොවන බවය. තව දහස්‌ ගණනක්‌. ඒ අතර එක්‌ මවක්‌ වුවද ඇය විශේෂිතය.
මේ කතාව අවසන් කිරීමට දැන් ඉතින් ඇයට ඉඩ දෙමු.
‘මේ උදෑසන මම වෙස්‌ට්‌ විලේඡ් හි ශාන්ත ලූකස්‌ උද්‍යානයේ බංකුවක්‌ මත වාඩි වී කෝපි කෝප්පය බොමින් සිටිමි. උදා ආලෝකය හයිඩ්රෙන්ජියා සහ ෙෆාක්‌ස්‌ගල්වුස්‌ මල් මත නළියයි. ඔවුන් සිටියා නම් මේ මගේ ලෝකයයි.
තවමත් මගේ කතාව මටවත් ඇදහිය නොහැකි තරම් යයි හැඟෙයි. නිමේෂයකින් සෑම දෙනකුම අතුරුදන් වීම, මා අර මඩ ගොඩින් එළියට ඒම, මේ කුමක්‌ද මිථ්‍යාවක්‌ද, ඔවුන් මිය ගොස්‌ ය යන වචන තවමත් මට මුවින් පිට කළ නොහැකිය. එකොළොස්‌ වසරක්‌ ගෙවී ඇත. මේ කාලය වන විට අපේ ජීවිතය විශාල වී තිබේ. එහෙත් මට ඔවුන් වුවමනා වන්නේ මේ දැන් සිටියා නම් සිටින ආකාරයට ය. මට අපේ ජීවිතය තුළ සිටීමට වුවමනාය.
එහෙත් මගේ පවුලෙන් හිස්‌ වූ මේ ලෝකය පුරා සරන විට මට විශ්වාසයක්‌ ඇතිව සිටිය හැකි වන්නේ ඔවුන් සහ මා පිළබඳ යථාර්ථය මා පිළිගත් විට පමණි.
මම ඔවුන් නොමැතිව සිටිමි. තනිව සිටිමි.
පසු සටහන
සොනාලි දැරණියගල දැන් අමෙරිකාවේ නිව්යෝක්‌ නුවර කොළොම්බියා සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. මේ ග්‍රන්ථය නිර්මාණ කිරීම නිසා ඊට අමතරව ඈ තුළ මෙතෙක්‌ සැගවී සිටි ප්‍රතිභා පූර්ණ ලේකාවකද ලෙස ද කල එළි බැස සිටින්නීය.
(මේ ලිපිය සකස්‌ කිරීමේ ” සොනාලි දැරණියලගගේ රළ කෘතිය (මාලිනිගේ සිංහල පරිවර්තනය) ඇසුරු කරන ලද බව සලකන්න. මෙහි එන ඇතැම් උදෘතයන් එම ග්‍රන්ථයෙන් උපුටා ගැනිණ.)
දිවයින

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.