Header Ads

බන්ධනාගාර බසයට වෙඩි තබා 07 ක් මැරූ කල්ලිය හඳුනාගනී !


කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේ දී සිරකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් විසින් මේ වන විට සිද්ධියට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.

අද උදෑසන 8.00ත් 8.30ත් අතර කාලය තුළ සිදුවූ මෙම වෙඩි ප්‍රහාරය 'පාතාල කණ්ඩායම් දෙකක්' අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව අනාවරණය වී ඇතැයි පවසන පොලිසිය, එම සිද්ධියෙන් මිය ගිය එම්.පී. අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං නැමැති පාතාල සාමාජිකයාට විරුද්ධව ක්‍රියාත්මක වූ කණ්ඩායමක් පිළිබඳව හඳුනාගෙන ඇති බව කියා සිටියි.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශේෂ අවධානයක් යොමු කර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මෙම සැකකරුවන් පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුමින් පැමිණි ඇතැයිද සැක කෙරේ.

තවද සැකකරුවන් පැමිණි කැබ් රථය සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ලියාපදිංචි අයිතිකරු ද හඳුනාගෙන තිබේ.

මියගිය ගණන හතක් :

එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං, ඔහුගේ සමීපතම ගෝලයින් ලෙස සැලකෙන තවත් රැඳවියන් 4 දෙනෙකු, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය පිරිස අතර වේ.

කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් බන්ධනාගාර නිලධාරියකු මියගොස් ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනෙක් නිලධාරියා මියගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද විසින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.