Header Ads

ප්‍රේමය පැරදවූ පෙම්වතාගේ කාම ගින්න පිහි පහර 28 කින් කෙළවර වුණු හැටි.


පෙම්වතිය මැරූ පෙම්වතා වසර 15කට අච්චු කරයි...

චමිලා පහළොස් හැවිරිදිය. ඇය ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යාවක් වුවද ප්‍රේමය ඊට බාධාවක් ගෙන දුන්නේය. ඒ නිසා ඇගේ අධ්‍යාපනය අතරමඟ කඩා වැටුණි. පාසල් ගමනද නතර විය. 

චමිලා ඒ වන විටත් ගමේ තරුණයෙකු හා පෙමින් වෙලී සිටියාය. මේ බව දැනගත් චමිලගේ මව මංගලිකා ඒ සම්බන්ධය නතර කරන්නට නොගත් උත්සාහයක් නැත. එහි ප්‍රතිඵලයක් වූයේ චමිලා ඔහු හා පැනයාමය.


චමිලාගේ අතුරුදහන්වීම ගැන මංගලිකා පොලීසියට පැමිණිල්ලක් කළාය. ඒ වන විටත් ඇය ළාබාල වියේ පසුවීම නිසා පොලීසිය ද මේ පිළිබඳ පරීක්ෂණයක් ඇරඹීය. එහිදී අනාවරණය වූයේ පෙමිවතා ඇය ඔහුගේ නිවසට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස සිටින බවයි.

දින විසි එකකට පසු චමිලා සොයාගැනීමට පොලීසියට හැකි වූ අතර බාලවයස්කාරිය පැහැරගෙන යාමේ වරදට ඇගේ පෙම්වතාද අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේය. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. චමිලා පරිවාසයට බාර කෙරිණි. පසුව ඇය මවගේ බාරයට පත්විය.

දින දාහතරකට පසුව පෙම්වතා නිදහස්ව පැමිණියේය. ඔහු ඇය සොයා පැමිණියද දෙමව්පියන්ගේ කිමට අවනත වූ චමිලා ඔහු සමඟ තිබූ ප්‍රේමයට නැවතීමේ තිත තබා තිබුණේය. එහෙත් ඔහු චමිලා පසුපස යාම නතර කළේ නැත. ඇයට මෙන්ම පවුලේ 
උදවියටද මරණ තර්ජන කරන්නට විය.

මංගලිකා මේ බව කියමින් පොලීසියට පැමිණිල්ලක් කළාය. එය දැනගත් පෙම්වතාට ඇති වූයේ තරහක්ය. පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස කියමින් ඔහු යළි යළිත් චමිලාටත් මංගලිකාටත් බලපෑම් කළේය.

මේ අතරතුර ඔහුට තවත් ආරංචියක් ලැබිණි. එහි ඇත්ත නැත්ත නොදත්තද ඔහු එය එක පයින්ම විශ්වාස කළේය. චමිලාගේ සොහොයුරා හමුදාවේ සේවය කළේය. ගෙදරට ආ ගිය අයියාගේ මිතුරෙකු චමිලා හා පෙමින් බැඳී ඇතිබව ඔහුගේ කණ වැකුණු එම ආරංචිය විය. මින් ඔහු තව තවත් චමිලා කෙරෙහි කෝපයක් ඇති කර ගත්තාය.

චමිලාගෙන් පළිගන්නට ඔහු තීරණය කළේ ඉන් පසුවය. එදා සිට ඔහු චමිලා කෙරෙහි ඇති කර ගත්තේ දරුණු වෛරයකි. ඔහු ඇයට විටින් විට මරණීය තර්ජන කළේය.

වරින් වර මරණ තර්ජන එල්ල වීම නිසා ඇය වෙනත් ගෙදරක නතර කරන්නට මංගලිකාට සිදුවූවාය. මවත් පියත් ඇගේ සෙවණැල්ල වූහ. යන එන හැම තැනකටම ඇය තනියෙන් නොයවන්නටද ඔවූහු වගබලා ගත්හ.

පෙම්වතාට එරෙහිව පොලීසිය පැවරූ නඩුව අධිකරණය ඉදිරියේ විභාගවීමට නියමිතව තිබුණේය. නීතීඥවරයාගේ උපදෙස් අනුව නඩුවට පැමිණිලි පිටපතක් අවශව තිබූ අතර එය ගැනීමට රත්නපුර පොලීසියට යා යුතුව තිබුණි. චමිලාගේ නිවස අසල සිට පොලිසියට කිලෝමීටර කිහිපයක් ඇත.

තනිවම කොහේවත් යවන්නැති නිසාදේ චමිලා සමඟ අම්මාත් තාත්තාත් රත්නපුරයට යන්නට ආහ. ඒ සඳහා සිරිපාගම හන්දියට යා යුතුව ඇත. අම්මලා බස් එකේ නගිනවා බලන්න පුංචි මල්ලිත් ඔවුන් පසුපසට දුවගෙන ආවේය.

බසයක් එනතුරු පාරදෙස බලමින් සිටි මංගලිකා පසුකරගෙන මෝටර්සයිකලයක් ධාවනය වූයේ ඔය අතරේය. ඒ පිළිබඳ සැකයක් ඇතිකරගත් ඇය දියණිය දෙස බැලීය. දියණිය එතැන තිබූ කොස් ගහ ළඟ වාඩි වී සිටියාය.

ඒ සැණෙන්ම දෙතුන් වතාවක් එහාට මෙහාට ගියා මෝටර් සයිකලය එකවරම චමිලා සිටි තැන නතර විය.

බයිසිකලයෙන් බැසගත් අයෙක් වහා ඉදිරියට පැන පිහියක් ඇදගෙන චමිලාට ඇන්නේ ඒ අතරය. චමිලා පිහිපහර කාගෙන එතැනින් නැගිට දිව්වාය.

ඒත් පිහිය අමෝරා ඔහු එතැනින් නතර වූයේ නැත. ඔහු චමිලා පසුපසම පැන්නුවේය. දිව යන්නට නොහැකි තැන චමිලා අද වැටුණාය. ඉන් ඉක්බිතිව වූදේ මංගලිකාත් ඇගේ සැමියාත් මල්ලීත් හොඳහැටි දුටුවද චමිලා බේරාගන්නට කාටත් නොහැකි විය.

වැටුණු චමිලාගේ කෙස්වැටියෙන් අල්ලාගත් ඔහු ඇයට කතා කිරිමටවත් ඉඩක් නොදී නැවතත් පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියේය.

"අනේ මම මැරෙයි"

ඇය අන්තිමට ඔහුට කීවේ එපමණය.

මංගලික උදව් ඉල්ලා කෑ ගැසුවද කිසිවකු ඒ අහලටවත් පැමිණියේ නැත. බේරගන්නට බැරිම තැන එතැන තිබූ ගල්වලින් ඝාතකයාට පහරදෙන්නට චමිලාගේ පියාට සිදුවිය. ඔහු පිහිය අතහැර පළා ගියේ ඉන් පසුවය. ලේ විලක් මැද චමිලා වැටී සිටියාය. මංගලිකා දුව බදාගෙන හඬා වැළපුණාය.

"අනේ මගේ දුව... කවුරුත් නැද්ද.... අනේ මගේ දුව ඉස්පිරිතාලෙට අරන් යමු...."

පසුව අගේ ඥාතියෙකු විසින් ගෙනෙන ලද ත්‍රීවිල් රථයක දමාගත් චමිලා රෝහලට ගෙන ගිය ද ඇයව බේරාගැනීමට කිසිවෙකුටත් නොහැකි විය.

රත්නපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේ ඉන් පසුවය. මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනක වීරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එස් රාජසිංහ මහතා පරීක්ෂණ ඇරඹීය.

"මියගිය තරුණියගේ සිරුරේ හඳුනාගත පිහි පහරවල් පමණක් 28ක් තිබුණා. අපි දැනගත්තා මෙම අපරාධය කළේ තරුණිය සමඟ වෛරයකින් පසුවූ තරුණයා බව. ඔහුව හොයද්දී ඔහු නීතිඥයෙක් මඟින් පොලීසියට බාර වුණා. ඇයට මරා දමන්නට උපයෝගී කරගත් උල් පිහිය ද බාරයට ගත්තා."

රත්නපුර පොලීසියේ නිළධාරියෙක් කීවේය. 

සිද්ධිය වූ තැන දමාගෙන තිබූ සැකකරුට අයත් බව කියන මෝටර් සයිකලයද පොලීසිය බාරයට ගෙන තිබුණේය.

අගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චානක කලංසූරිය මහතා විසින් පවත්වනු ලබයි. මෙහිදී ඇසින් දුටු සාක්ෂියක් ඉදිරිපත් විය. සාක්ෂිකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත්වෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩී. එම්. බී දසනායක මහතා විසින් පවත්වනු ලැබූ අතර සිරුර පුරාම මාරාන්තික පිහිපහරවල් ගණනාවක්ම නිරීක්ෂණය වූ අතර පිහිපහරවල් වදිනකොට ඇය ඉන් බේරීමට දෙඅත් එසවීම නිසා අගේ අත්දෙකම කැපී වෙන්වී තිබූ බවද පොලීසිය කියයි. පොලීසියට බාර වූ සැකකාර තරුණයා අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් ගත කෙරුණි.

සැකකාර පෙම්වතාට එරෙහිව නඩු පැවරිණි. අවසානයේ නඩුව රත්නපුර මහාධිකරණයට යොමු කෙරිණි. වසර හයක් තිස්සේ පැවති නඩු විභාගයේ තීන්දුව පසුගියදා රත්නපුර මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා විසින් දෙනු ලැබීය.

නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේ විත්තකරුට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තියට ගැනෙන මිනීමැරීමේ චෝදනාව කියවා දෙන ලදී. ඔහු එම චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේ විත්තිකරුගේ නීතිඥ මහතා ඉදිරිපත් වී විත්තිකරු මිනීමැරීමේ චෝදනාවට නිවැරදි කරු වුවද මිනිමැරීමක් නොවන ක්‍රමික ප්‍රකෝප කිරීමක් මත සිදු වූ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරද පිළිගැනීමට සූදානම් බවද පවසා සිටියේය. අධිකරණය එය පිළිගෙන විත්තිකරු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරදකරු බවට තීරණය කළේය.

ඒ අවස්ථාවේ විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන ලෙස රජයේ අධිනීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීය. අවසානයේ එහි තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා පෙම්වතිය මරාදැමූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවමක් නියම කළේය. ඊට අමතරව රුපියල් 500 දඩයක් ද මරණකාරියගේ පියාට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවද දන්වා සිටියේය.


(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.