Header Ads

කුඩාවැව් 300ක් මහවැව් 8ක් මහවැලි ජලයෙන් පුරවන ව්‍යාපෘතිය


කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 300 ක් හා ප්‍රධාන වැව් 08 ක් නිල් දියවරින් පුරවා ගොවිබිම් හෙක්ටයාර් 12000 ක් අස්වද්දන වයඹ ඇළ ව්‍යාපෘතිය ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිරීක්ෂණය කළ අයුරු ඡායාරූප : සුදත් සිල්වා

 කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප්‍රදේශයයේ පිහිටා ඇති කුඩා වැව් 300ක් හා ප්‍රධාන වැව් 08ක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීමට ගොවි පවුලක ඉපදුණු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට හැකිවීම සතුටක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා ජලය ඉල්ලා හැඬු කදුළු කතාව නිමාකරමින් වයඹට ජලය ලබාදීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වන වයඹ ඇළ ව්‍යාපෘතිය ඊයේ (13) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කිරීමෙන් අනතුරුව ගලේවෙල, වැලමිටියාව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුව අමතමන් ජනාධිපතිවරයා ඒ බැව් පැවසීය.

මේ ව්‍යාපෘතිය නිමා වීමෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශය පුරා වාර්ෂිකව මහවැලි ජලය අක්කර අඩි 105, 000ක් පමණ ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ගොවි පවුලක ඉපදුණු ජනාධිපතිවරයෙක් ලෙස ගොවි ආර්ථිකය නඟා සිටුවමින් කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කිරීම සඳහා තම ධූර කාලය තුළ ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

මහ වැවි නිල් දියවරින් පුරවා ගොවි ජනතාවට යළි ජල ගැටලුවකට මුහුණදීමට සිදු නොවන අයුරින් ජල ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

දේශපාලන පක්ෂ බේදවලින් තොරව රටේ සංවර්ධනයට අත හිත ලබාදෙමින් රට ගොඩනැඟීමට එක්වීම සියලුදෙනාගේ වගකීම බව ද මෙහි දී පැවසූ ජනාධිපති ආණ්ඩු හැදීමට සහ ආණ්ඩු වෙනස් කිරීමට මැතිවරණ සමයේ දී හැකියාව තිබෙන අතර අද කළයුත්තේ සියලු වාද බේද අමතක කර රට ගොඩනැඟීමට එක්වීම බව ද කියා සිටියේය.

දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් අවංකව තම වගකීම් ඉටු කරන්නේනම් රට අද තිබෙන ප්‍රශ්නවලින් ගොඩගැනීම අපහසු කාර්යයක් නොවන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ අරමුණ සෑම විටම සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම බවත්, කුමන අභියෝග හමුවේ වුවද විශිෂ්ට රාජ්‍යයක් ලෙස මාතෘ භූමිය ගොඩනැඟීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන බවත් මෙහි දී අවධාරණය කළේය.

මී ඔය ඉහළ ජලාධාර පෝෂක ප්‍රදේශයට හා හක්වටුණා ඔය ජලාශයට මහවැලි ජලය හරවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයන්හි පිහිටි වැව් ගණනාවක් පෝෂණය කර කෘෂි කර්මාන්තය නඟා සිටුවීමත්, ජල හිඟය හේතුවෙන් ඇතිවන පීඩා අවම කිරීමත් අරමුණු කර ගනිමින් වයඹ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

ව්‍යාපෘතිය නිමා විමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105, 000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට ලබා ගැනීමට හැකියාව ලැබේ. ප්‍රදේශය තුළ පිහිටා ඇති කුඩා වැව් 300ක් හා ප්‍රධාන වැව් 08ක් මහවැලි ජලයෙන් පෝෂණය කෙරෙන අතර හක්වටුණා ඔය ජලාශය යටතේ හෙක්ටයාර් 2500කට පමණද, මී ඔය ජලාධාර පද්ධතියේ කුඩා වැව් යටතේ හෙක්ටයාර් 3500ක් ද ඇතුළුව ප්‍රදේශයේ මුළු ගොවි බිමි හෙක්ටයාර් 12, 000 කට වඩා යල මහ දෙකන්නයේ වගා කටයුතු සඳහා වාරි ජලය සැපයීමට ද මෙමගින් හැකියාව ලැබේ.

ප්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග්‍ර පානීය ජල ගැටලුවට පිළියම් ලැබීම හා ඉදිකිරීමේ හේතුවෙන් ඝෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් උදා වේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16000 ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු 2024 දී අවසන් වීමට නියමිතය.

වෑමැඩිල්ල වම් ඉවුරු ඇල භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම ජනාධිපති අතින් සිදු විය.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහි දී ජනාධිපති අතින් සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානත් බස්නායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, උතුරු මැද මහ ඇමැති ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතු'ථ මැති ඇමතිවරු රැසක් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.