Header Ads

'මහින්දගේ ප්‍රජා අයිතිය' : දේශපාලන පිටිය උණුසුම්වේ


හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති බරපතල වංචා දුෂණ චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සුදානමක් ඇති බවට වාර්තාවීමත් සමග දේශපාලන පිටිය යලි උණුසුම් වී ඇත.

ශ්‍රීලනිප ප්‍රබලයකුට අයත්බව කියන ජාතික පුවත්පතක පසුගිය සති අන්තයේ ප්‍රධාන සිරස්තලය යටතේ පළකර තිබු වාර්තාවකින් හා ඒ සම්බන්ධයෙන් කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර තිබු පෝස්ටර් හේතුවෙන් මෙවැනි උණුසුම් තත්වයක් මතුව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන්නැයි ඇමතිවරුන් කිහිප දෙනෙකු හා සිවිල් සංවිධාන ප්‍රධානින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයා ගෙන් ඉල්ලීම් කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් විය.

කෙසේවුවද තම අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රීලනිප ඇමතිවරයකු කියා සිටියේ එවැන්නකට මෙය අවස්ථාව නොවන බවයි. එවැනි තීරණයක් ගතහොත් පක්ෂය අනිවාර්යයෙන්ම දෙකඩ වන බව ඔහු පැවසිය.

හිටපු ජනාධිපතිවරයාගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර එහි නිර්දේශ මත, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලද එය සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක් අවශ්‍ය බවත්, මේ මොහොතේ ඒ වැන්නකට තුන් දෙකේ අනුමැතියක් ලබා ගැනීම දුෂ්කර බවත් එම ඇමතිවරයා අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සුදානමක් පවතින බවට පැතිරයන රාවය පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එජාප ජනප්‍රිය මන්ත්‍රීවරයකු කියා සිටියේ, තමන් පෞද්ගලිකව එවැනි ක්‍රියාමාර්ගයකට එරෙහි බවයි.

යුධ ජයග්‍රහණයක් අත්කර දෙමින් රටට නිදහස් ලබාදුන් මහින්ද රාජපක්ෂ මහතාට එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී අකටයුත්තක් කිරීමට කිසිඳු ලෙසකින් ඉඩදිය නොහැකි බව එම මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

තම අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

'' එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කලොත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෛත්‍රී ශක්තිමත් වෙන එක. ඉතින් පක්ෂයක් විදියට අපි මොකටද එහෙම දේශපාලන ව්‍යාපෘතියකට හවුල්වෙලා නම කැතකර ගන්නේ. ජේ.ආර්. නායකතුමා සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා, පක්ෂයට ඇතිකරපු කැළල තාමත් මකා ගන්න බැරුව ඉද්දි මේවගේ මරලයකට රනිල් නායකතුමා කරගහයි මම නම් හිතන්නේ නැහැ'' ඔහු වැඩිදුරටත් පැවසිය. 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.