Header Ads

සොරකු යැයි සැකකර තරුණයට පහර දී ඝාතනය කරලා.


පස්යාල ප්‍රදේශයේ පසුගිය කාලයේ නිරන්තරයෙන් සිදුවූ ගෙවල් බිඳුම් හේතුවෙන් විමසිලිමත්ව සිටි පිරිසක් විසින් සොරකු යැයි සැකකර පස්යාල ප්‍රදේශයේ කුකුළු ගොවි‍පොළක සේවය කරන තරුණයකුට පහරදී ඝාතනය කර, ඔහුගේ මළ සිරුර වරකා‍පොළ, ඇත්නාවල ප්‍රදේශයට ගෙනගොස් දැමීමේ සිද්ධියට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු ඊයේ (12) සවස අත් අඩංගුවට ගත් බව වරකා‍පොළ ‍පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පස්යාල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කුකුළු ගොවි‍පොළක සේවය කළ, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 හැවිරිදි චින්තක කැළුම් අලුගොල්ල නමැති අයෙකි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුවී සිට පසුව වසර ගණනාවක් පුනරුත්ථාපන කඳවුරක සිට පැමිණි අයකු බවට ‍පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඔහු වැඩි කතා බහක් නොකරන අයකු බවත්, වැඩි වශයෙන් තනිවම කාලය ගතකර ඇතිබවද ‍පොලිසිය සඳහන් කරයි. ඔහු පරිගණක භාවිතයටද බෙහෙවින් ප්‍රියකර ඇත. මෑතකදී පස්යාල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කුකුළු ගොවි‍පොළක සේවයට පැමිණ ඇතැයිද අනාවරණය වී තිබේ. ඔහු ප්‍රදේශයේම නිවසක නවතැන්ගෙන සිට ඇත. ඔහු සෑම සතියකට හෝ සති දෙකකට වරක් සිය මව සහෝදරයින් බැලීමට කටුගස්තොට, සෙනරත්ගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇත. එසේ ඉකුත් 09 වැනිදාද ඔහු සිය නිවස බලා යාමට කුකුළු ගොවි‍පොළේ සිට පස්යාල මංසන්ධිය දෙසට යමින් සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි වරකා‍පොළ ‍පොලිසිය සඳහන් කරයි.

අදාළ කුකුළු ගොවි‍පොළ ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූ ගෙවල් බිඳීමේ සිද්ධීන් හේතුවෙන් ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් විමසිලිමත් වී ඇත. ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි පිරිසක්ද විය. ගම්වාසීන් විසින් සැකකරනු ලැබුවේ මෙම කණ්ඩායම විසින් මෙලෙස නිවාසවලට ඇතුළු වී සොරකමේ නිරතවන බවය. මෙලෙස සෝදිසියෙන් සිටි පිරිසට ඉකුත් 09 දා රාත්‍රි සිය නිවස බලා යමින් සිටි චින්තක කැළුම් මුණගැසී ඇති අතර එම පිරිසට ඔහු පිළිබඳව සැකසිතී ඇත.

පිරිස ඔහුගෙන් විවිධ ප්‍රශ්න අසා ඇතත් ඔහු ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නැත. ඉන් කිපුණු පිරිස ඔහුට පහරදී ඇති අතර, දැඩි ලෙස අතින් පයින් පහරදීමට ලක්වූ ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත.මෙම පහරදීමට ප්‍රදේශයේ පුද්ගලයින් හය දෙනකු පමණ සම්බන්ධ බවට ‍පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

පහරදීමට ලක්ව ඔහු මිය ගිය පසු, ඔහුගේ මුහුණ රෙදිකැබැල්ලකින් වසා, දෙඅත් බැඳ පහරදීමට සම්බන්ධ අයකුගේ වාහනයකින් එම ස්ථානයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි ඇත්නාවල, කළුදියවල ප්‍රදේශයට දමාගොස් ඇත්තේ එදින රාත්‍රියේදීමය.

ඇත්නාවල කළුදියවල ප්‍රදේශයේ මළ සිරුරක් ඇති බවට පසුදින (10) පෙරවරුවේ වරකා‍පොළ ‍ පොලිසියට ‍පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ තොරතුරක් ලැබි ඇත. වහා ක්‍රියාත්මක වූ ‍පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. ඔහුට පහරදුන් ස්ථානයේ තිබි ගමන් මල්ලක් සහ ඖෂධ වර්ග කීපයක් අවට විසිරී තිබෙනු දැක ඇත. ඒ අනුව මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිසියම් අසනීපයකට ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු බවත්, ඔහු ගමනක් යන අවස්ථාවේ මෙලෙස පහරදීමකට ලක්ව ඇතැයි ‍පොලිසිය අනාවරණය කරගන්නා ලදී.

පොලිසිය සැකකරුවන් සෙවීම සඳහා ‍පොලිස් නිල සුනඛයින්ද යොදාගන්නා ලදී.

චින්තක අපේ බෝඩිමක නැවතිලා හිටියේ. ඔහු අපි වගේ ‍නෙවෙයි. ටිකක් වෙනස් එක්කෙනෙක්.එයා තනියම ජීවත්වෙන්නේ. චින්තක දවස් තුනක ඉඳලා අසනීපෙන් හිටියේ. වැඩ‍පොළේ සර් එයාට කිව්වා අසනීප නිසා ගෙදර ගිහින් බෙහෙත් ගන්න කියලා.09 දා එයා බෝඩිමෙන් පිටත්වුණේ බෙහෙත් ගන්න යනවා කියලා. ඒ අතරමගදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.යැයි ඔහු සමඟ එකට සේවය කරන තරුණයෙක් කියා සිටියේය.

ඝාතනයට ලක්වූ චින්තක කැළුම්ට සහෝදරයින් තිදෙනකු සිටින අතර, ඔහුගේ පියා ඉතාලියේ සේවයේ නියුතුව සිටින්නේය.

මෙයාලට සල්ලි කිසිම අඩුපාඩුවක් නෑ. ගමේ අනිත් අයත් සමගත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන හිටියා. චින්තක කවදාවත් වැරදි වැඩක් කළේ නෑ. යැයි පවු‍ලේ සමීපතමයකු කියා සිටියේය.

චින්තක අයියාගෙන් වචනයකින්වත් කාටවත් කරදරයක් වුණේ නෑ. ඇයි ඒ අහිංසකයාට මෙහෙම අපරාධයක් කළේ. එයා රස්සාවට ගිහින් වැඩි කාලයක් නෑ. යැයි ඔහුගේ ඥාති සොහොයුරියක කියා සිටියාය.

පොලිසිය විසින් ඔහුට පහරදුන් පිරිස හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්ධිකර ඇතැයි ‍පොලිසිය පවසයි. ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ඊයේ සවස අත් අඩංගුවට ගත් බවත්, සැකපිට තවත් පුද්ගලයින් සිව් දෙනකුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් ‍පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පස්යාල, හග්ගල,නුගේගල පාර පදිංචිව සිටින හීලුආරච්චිගේ නන්දන පද්ම කුමාර නමැති අයෙකි. මෙම පුද්ගලයා හැර තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවද ‍පොලිසිය පවසයි. ඔහු යත්තල්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවසක සැඟව සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. මෙම  සිද්ධිය සම්බන්ධව වරකා‍පොළ ‍පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.