Header Ads

පොලිසියත් එක්ක තනියම නඩුකියලා දිනපු ත්‍රීවීල් මල්ලී.


රටක් තුළ නීතිය ගොඩනැඟෙන්නේ එරට පුරවැසියන් සුරැකීමටයි. එම පුරවැසියන් රැකෙන්නට නම් එරට නීතිය සුරකින පුද්ගලයන් හා ආයතන එම ක්‍රියාවලිය සාධාරණව හා අවංකව කැපවීමෙන් ඉටු කළ යුතුය. එසේ නොවන තැන රටේ පුරවැසියන්ට සිදුවන්නේ යුක්තිය ඉටු කරවා ගැනීමට බොහෝ කල් සටන් කරන්නටය. ගම්පොළ, ඇත්ගාල ජනපදයේ පදිංචි නුවන් තුසිත කුමාරටද සිදුවූයේ නීතියෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට බොහෝ කල් සටන් කරන්නටය. මේ ගමනේදී ඔහු තමන්ට සිදුවූ අයුක්තියට එරෙහිව හඬ නඟාවි යැයි කිසිවකුත් සිතුවේ නැත.

තමන්ට හා තම දරු පවුලට, ඥාතීන්ට සිදුවූ අපවාදය අසාධාරණය දන්නේ තමන් පමණක් නිසා සාධාරණය ඉල්ලා ඔහු හඬ නැඟීය.

නුවන් තුසිත කුමාර තම ජීවිතයේ ඉතා කටුක අත්දැකීම්වලට මුහුණ දී අපමණ දුක් විඳි පුද්ගලයෙකි. කුඩා කලම තම පියාගේ වෙන්ව යෑම නිසා අසරණ වී ඇති ඔහුට ඉගෙනීමට වඩා ජීවත්වීමට වෙහෙසවීමට සිදුවී ඇත. මේ නිසාම පාසලේ හය ශේ්‍රණියට ගොස් ඇති ඔහු එයින් ඉවත්වී විවිධ රැකියාවල නිරත විණි. පසුව ලංගම රියැදුරු පාසලෙන් පුහුණුවී රියැදුරු සහතිකය රැගෙන ඇති නුවන් එතැන් පටන් ගම්පොළ නගරයේ ත්‍රිරෝද රථ රස්සාව අරඹා ඇත. තමාට කියා ත්‍රිරෝද රථයක් ගැනීමට වත්කමක් නොතිබූ ඔහු දවස් කුලියට ත්‍රිරෝද රථයක් සොයාගෙන කුලී ගමන් ඇරැඹීය.

ඒ අතරතුර ගම්පොළ, මාවතුර ප්‍රදේශයෙන් විවාහ වී ඇති නුවන් තම මවගේ ඉඩමේ කොටසක කුඩා කාමරයක් සාදා එහි පදිංචියට ගොස් ඇත. ඉටිරෙදි, තහඩු හා ලෑලි ගසා සකසා ගත් මෙම නිවෙසේ තම පවුලට එක් වූ දරු දෙදෙනකු සමඟ ජීවත්වීමේදී කෑමෙන් බීමෙන් මේ අයට අඩු පාඩුවක් තිබී නොමැත. නුවන් පවසන පරිදි ත්‍රිරෝද රථ රස්සාවෙන් ලැබෙන ආදායම ඒ සඳහා ප්‍රමාණවත් වී ඇති අතර අනෙකුත් අවශ්‍යතාවලටද එම ආදායම සෑහී ඇත.

මෙලෙස කාලය ගතවෙද්දී 2014 වසරේ අප්‍රේල් මස 20 වැනි දින දිවා කාලයේ හයර් දිවූ නුවන් රාත්‍රි නවයට පමණ ගම්පොළ, සිංහපිටිය ප්‍රදේශයට යමින් සිටියේ ඥාති නිවෙසක සිටි තම බිරිය කැටුව යෑම සඳහාය.

ගම්පොළ නිදහස් මාවත දිගේ ගමන් කරමින් සිටි නුවන්ට වැඩිදුර යෑමට නොහැකි විය. මාර්ග පරීක්‍ෂාවේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු නුවන් නවතා වාහනයේ ලියකියවිලි පරීක්‍ෂා කර ඇත. ඒවා නිසිලෙස තිබූ හෙයින් ඊළඟට යොමු වූයේ නුවන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකටය.

තමුසෙ බීලා නේද ඉන්නේ?' පොලිස් නිලධාරියා එක එල්ලේ බලා නුවන්ගෙන් විමසා ඇත. 'නෑ මම බීලා නෑ. නැන්දලාගේ ගෙදර යන්නේ. නෝනා ඉන්නවා. එයත් අරන් ගෙදර යන්න යන්නේ' නුවන් පැවැසීය.

නමුත් පොලිස් නිලධාරියා තමා කී දෙය ඉවත් කර ගැනීමට කැමැති නොවීය. 'නෑ තමුසේ බීලා' ඉන් පසු සිදුවූ දෙය නුවන් මෙසේ පැවැසුවේය.

මම බීලා නෑ කිව්වට එයා ඇහුවෙ නෑ. මමනේ දන්නේ මම බීලා නෑ කියලා. පස්සේ මට වාහනයට නඟින්න කීවා. බ්රේක් පාගන්න කීවා. වමට සිග්නල් දාන්න කීවා. දකුණට සිග්නල් දාන්න කීවා. හෙඩ් ලයිට් දාන්න කීවා. හෑන්ඩ් බ්රේක් අදින්න කීවා. මම උදේ ඉඳන් හයර් යන කෙනා. බීලා හිටියොත් මිනිස්සු වාහනේට නඟින්නේ නෑ. හයර් යන්නත් බෑ. මම කිව්ව දේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙන්නා ඇහුවෙ නෑ. මගේ කම්මුලට ගැහුවා. ඒ අය ත්‍රීවීල් එකේම මාව පොලිසියට ගෙනාවා.

ගෙනත් මට බැලුන් පුම්බන්න දුන්නා. මම ඒක පිම්බුවාට ඒකේ මත්ද්‍රව්‍ය සටහන් වුණේ නෑ. එතැන තවත් බීපු කෙනෙකුත් හිටියා. මට හතර පාරක් බැලුන් පුම්බන්න දුන්නා. එහෙම කරලා මාව එච්.කිව්.අයි. මහත්තයා විදියට හිටිය චන්ද්‍රා ජයවීර මහත්තයා ගාවට දැම්මා. එයා කීවා කූඩුවට දාන්න කියලා.

මාව පොලිස් කූඩුවට දැම්මා. එකේ ඉන්න බෑ. වැසිකිළි වළ පිරිලා උතුරලා. මම බැරිම තැන පාන්දර එළියට ගන්න කියලා කෑගැහුවා. ඒත් වැඩක් වුණේ නෑ.

පසුවදා මාව ගම්පොළ උසාවියට දැම්මා. මහෙස්ත්‍රාත්තුමා වරදකරුද නිවැරැදිකරුද කියා ඇහුවා. මම වරදක් කරලා නැති නිසා නිවැරැදිකරු කීවා. මට චෝදනා දෙකක් දාලා තිබුණා. බීමත්ව රිය පැදවීම හා රාජකාරියට බාධා කිරීම කියලා. පස්සේ මහෙස්ත්‍රාත්වරයා මාව 23 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. මම පල්ලේකැලේට අරන් ගියා.

නැවත උසාවි ගෙනාවට පස්සෙත් මම කීවේ නිවැරැදිකරු කියලා. මම නොකෙරූ දෙයක් පිළිගන්න මම කැමැති වුණේ නෑ.

ඊට පස්සේ නඩු කියන්න පටන් ගත්තා. අපිට කොහොමත් නඩු කියන්න දැනුමක් නෑ. තේරුමක් නෑ. ඒ නිසා මම නීතිඥ මහත්තයෙක් අල්ලා ගත්තා. එතුමා මට සාධාරණය ඉටු කරයි කියලා හිතුවා.

ඒත් නඩු වාර තුනක් යනතුරුම මම බලාපොරොත්තු වුණු දේ ලැබුණේ නෑ. මට තේරුණා එයා පොලිසිය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. මට මේ විදියට දිගට නඩු කියන්න මුදලුත් නෑ.

ලයිසන් උසාවියට ගත්ත නිසා මට කවුරුවත් නැවත ත්‍රීවීල් දෙන්න කැමැති වුණේ නෑ. ඒ වෙනකොට බීලා වීල් එක ඇල්ලුවා කියලා මුළු ගම්පොළම දැනගෙන හිටිය නිසා කවුරුවත් වීල් එකක් දුන්නේ නෑ. මගේ පාසල් යන දරුවයි අනෙක් දරුවයි ජීවත් කරවන්න විදියක් තිබුණේ නෑ. ගමෙන්ම අපිව කොන් වුණා. ඒත් මම පසු බැස්සේ නෑ. මට හිතුණා අපටත් කොහේ හරි සාධාරණයක් ඇති කියලා. මේ නිසා මම නීතිඥ මහත්තයට කීවා නැවත මගෙ නඩුවට පෙනී ඉන්න එපා කියලා.

එහෙම කියලා මම උසාවියට කීවා මේ නඩුව වෙනුවෙන් මින් ඉදිරියට මම පෙනී ඉන්නවා කියලා. තමුන්ට පුළුවන්ද හරස් ප්‍රශ්න අහලා නඩුව ඉදිරියට ගෙන යන්න කියලා මගෙන් ඇහුවා. මම කීවා මට වුණ අසාධාරණය දන්නේ මම විතරයි. ඒ නිසා මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ස්වාමීනි කියලා. හයේ පන්තියට ඉගෙන ගත්තු මම නඩු කියන්නේ කොහොමද කියලා මිනිස්සු හිනා වුණා.

ඒ ගමන් මම මගේ නඩුවටත් සූදානම් වුණා. මගේ අම්මා ආගමට දහමට කැමැති කෙනෙක්. එයාට දේව බැල්ම තියෙනවා. ඒ නිසා අම්මා බුදු කුටියක් හා දෙවිවරුන්ට කුටියක් හදලා ඒ ආවතේව කරනවා. මමත් වැඩට යන්නේ දෙවියන් බුදුන් වැඳලා. මම හැමදාම මගේ නඩු වාර්තාව දේව තැටියේ තියලා නඩු කියන්න පුරුදු වුණා. මම තනියම හරස් ප්‍රශ්න අහනවා. වෙච්ච දේ උසාවියට ගැළපෙන භාෂාවෙන් කතා කරන්න උත්සාහ ගන්නවා. මේ විදියට පුරුදු වෙලා නඩු වාර්තාව දෙවියෝ ළඟ තියලා පහන් පත්තු කරලා දෙවියන් බුදුන් වැඳලා මම වැඩට යනවා.

උසාවියේ නඩුවත් එකින් එකට පැවැත්වුණා. මම ඒවට සාර්ථකව මුහුණ දුන්නා. පොලිසිය උත්සාහ කළේම මම බීලා ඒ අයට කුණු හරුපෙන් බැනලා මරණ තර්ජනය කළා කියලා ඔප්පු කරන්න. මේ විදියට රාජකාරියට බාධා කළා කියලා උසාවියට කියන්න.

මේ ලෙස 2014 අප්‍රේල් මස සිට පැටලුණු නඩුව 2017 ජනවාරි මස අග දක්වා වසර තුනකට ආසන්න කාලයක් ඇදී ගියේය.

මෙලෙස ගම්පොළ හිටපු මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා ඉදිරියේ හා මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාග වූ අතර මහෙස්ත්‍රාත්වරිය මෙහි තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්වසන පරීක්‍ෂණය අවිධිමත් ලෙස කිරීම යන කරුණු අනාවරණය වීමෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොකර ඇති බවය. එමෙන්ම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චූදිතට එරෙහිව ඇති චෝදනාවද පොලිස් නිලධාරීන්ට ඔප්පු කළ නොහැකි වූයෙන් එම චෝදනාවෙන්ද නුවන් තුසිත කුමාර නිදහස් කෙරිණි. ඒ අනුව අසාධාරණ අයුක්ති සහගත චෝදනා දෙකකට මැදිවූ නුවන් තුසිත කුමාරට නීතියෙන් යුක්තිය ඉටුවිණි. මමත් මගේ දරු පවුලත් ලැබූ අපකීර්තිය වගේම මගේ ආර්ථික පරිහානිය සිදුවුණේ මේ අභූත චෝදනාවෙන්. ඉදිරියේදී මම මේ සඳහා සාධාරණ වන්දියක් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ අනුව පළමු අභියෝගය ජයගත් නුවන් ඊළඟ අභියෝගයට කෙසේ මුහුණ දේ දැයි සියලු දෙනා බලා සිටිති.

මව්බිම

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.