Header Ads

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය අගමැති යටතට


ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන දේශපාලන කාර්යාලය මාස කිහිපයකට හෝ තමා යටතට පත් කරන්නයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලිමක් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටු වීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුව තුල සම්මතවී ඇතත්, එම කාර්යාලය පවත්වාගෙන යන්නේ කවරකු යටතේදැයි ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගැසට් කර නොමැත.

2016 අගෝස්තු 11 දින ශ්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පළමු ස්ථිර ආයතනය පිහිටුවීම පිණිස නීතියක් පැනවූයේ එදින ය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට (OMP) අදාලව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කර තිබු සංශෝධනයක් අත්වැරදීමකින් සභාගතව නොතිබුන බැවින්, එය නැවත ඇතුලත් කිරීම සඳහා ද පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලෙන කාර්යාලයක් ස්ථාපිත කිරීම මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ද GSP + වල සහන ලබාගැනීමට ද අදාළ කාරණයකි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි, අතුරුදන් වූවන් පිළිබඳ දේශපාලන කාර්යාලය පිහිටු වීමට මෙතෙක් කටයුතුකර නැති බව උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා, පසුගිය සතියේ යාපනයේ සංචාරයක යෙදුන යුරෝපා සංගමයේ තානාපති මන් මාර්තිව් මහතා වෙත පැමිණිල්ලක්‌ කර තිබිණ.

OMP යනු ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කාර්යාලයකි.

OMP සාමාජිකයන් මානව අයිතිවාසිකම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය, මානුෂීය ගැටලූ හා කරුණු සෙවීම ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් පිළිබඳ විශේෂඥතාව සහිත ස්වාධීන පුද්ගලයන් විය යුතු ය. එක් එක් සාමාජිකයාට තුන් වසරක ස්ථාවර නිල කාලයක් හා නිල කාල දෙකක සීමාවක් ද පවතී.

කාර්යාලයේ මූලස්ථානය කොළඹ පිහිටුවිය යුතු අතර අවශ්‍ය පරිදි ක්ෂේත්‍ර කාර්යාල පිහිටුවිය හැකි ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.