Header Ads

එල්ලුම්ගහට යන්න වෙයි කියලා හිතුවනම් කවදාවත් මම විවාහ වෙන්නේ නෑ


ආසයි මට මගේ පොඩි කෙල්ලව දකින්න... 
එකම එක වතාවක් මට දුව බලන්න තියෙනවා නම් ඇති..
මැරෙන්නත් තව කොච්චර කල් බලාගෙන ඉන්නද..?

ජීවිතේ වරදින්න යන්නේ පුංචිම පුංචි වෙලාවක්. ඉක්මන් කේන්තිය නිසා ජීවිතේ හුඟක් දේ අපෙන් ඈත් කරනවා වගේම ප්‍රශ්න කන්දක් ජීවිතේට ලං කරනවා.

ඒ විදිහට ඉක්මන් කේන්තිය නිසා තමන්ගේ මහප්පව ඝාතනය කරලා මිනීරුවෙක් වුණු තරුණයෙක්ගේ ජීවිතය ගැන සංවේදී හෙළිදරව්වකි මේ.

මේ සිද්ධිය වෙද්දි වයස කීයක් විතර ඇතිද..?
මමයි මගේ ඥාති සහෝදරයයි තමයි මේ මිනීමැරුම කෙරුවේ.

එතකොට මට වයස අවුරුදු 15 ක් විතර ඇති. ඒ කාලේ ජීවිතේ ගැන ඒ හැටි තේරුමක් තිබුණේ නැහැ.

හිතේ තිබුණ තරහට තමයි මහප්පව මැරුවේ. හැබැයි අපේ මහප්පා මැරුනා කියන ආරංචියට ගමේ මිනිස්සු කිරිබත් උයාගෙන කෑවා.

මුලින් මුලින් ලොකු අම්මා අපිත් එක්ක තරහින් හිටියත් පස්සේ ඒගොල්ලොත් පිළිගත්තා අපි කරපු දේ හරි කියලා.

මිනිහෙක් මරන එක කොහොමද හරි වැඩක් වෙන්නේ..?
මිනිහෙක් මරන එක වරදක් තමයි. ඒත් අපේ ගමේ මිනිස්සුන්ට මහප්පගෙන් පුදුම කරදරයක් තිබුණේ.

මගේ තාත්තට සහේදරයෝ කිහිපදෙනෙක් හිටියා. මහප්පා තාත්තගේ වැඩිමල් සහෝදරයා.

මහප්පා කැමති නැහැ කවුරුවත් දියුණු වෙලා ඉන්නවට.

එයාට හැමදාම ඕන වුණේ අනිත් අයට වඩා ඉහළින් ඉන්න.

මහප්පා මරන්න හේතුව මොකක්ද..?
අපි අලුතින් ළිඳක් හැදුවා. බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා තමයි ළිඳ හදාගත්තේ.

ඒ නිසා අපිට ඒ ළිඳ හුඟක් වටිනවා. නමුත් ළිඳ හදලා ඉවරවෙලා පහුවදා උදේ බලනකොට ළිඳ හොඳටම අපිරිසිදු කරලා.

මට ඒ වෙලාවේ ලොකු තාත්තා එක්ක පුදුම තරහක් ඇති වුණේ.

මම ඊට ටික දවසකට පස්සේ ලොකු තාත්තගේ පුතාගෙන් ඇහුවා මහප්පා මරමුද කියලා.

එයා හා කිව්වා. අපි උදේ හතර විතර පාර දිගේ යනකොට මහප්පා නැද්දත් එක්ක අපි ඉදිරියට ආවා.

මමයි අයියයි අපේ අත්වල තිබුණු යකඩවලින් මහප්පට ගැහුවා.

මහප්පා පාර දිගේ දුවන්න ගත්තා. අපි දෙන්නත් එයා පස්සෙන් එලවලා ගිහින් ගැහැව්වා.

මහප්පා පාර මැද්දේ වැටුණා. මහප්පා ලේ පෙරාගෙන පාර මැද්දේ වැටුණට පස්සේ අපි දෙන්නා පිම්මේ දුවගෙන ගෙදර ආවා.

පස්සේ අපිට දැනගන්න ලැබුණා මහප්පා මැරුණා කියලා.

අපිට ඔක්කොම කිව්වා ගුටිකන්න නැතිව පොලිසියට ගිහින් බාරවෙලා ඇත්ත කියන්න කියලා.

අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා අපි ගිහිල්ලා පොලිසියට බාරවුණා. අපිව රිමාන්ඩ් කළා. බාල වයස්කරුවන් නිසා උසාවියෙන් අපිව ළමා නිවාසයකට දැම්මා.

මාස තුනයි දවස් දහයක් අපි හිටියේ ළමා නිවාසයක.

ගෙදරින් බලන්න එනවද..?
තාත්තගේ අයියගේ පුතා බලන්න එයාගේ ගෙදර අය එනවා.

එයාලා තමයි මාවත් බලන්නේ. නමුත් මගේ ගෙදරින් මාව බලන්න එන්න කෙනෙක් නැහැ.

අක්කා විවාහයෙන් පස්සේ මැදපෙරදිග රැකියාවකට ගියා.

අවුරුදු ගාණක් වුණා අක්කා ගැන තොරතුරක් නැහැ. මගේ අම්මා පිළිකාවක් හැදිලා මැරුණා.

මාව බලන්න ඇවිත් යන ගමනෙදි තමයි එයාට හොඳටම අමාරුවෙලා අම්මා මැරිලා තිබුණේ.

මගේ අම්මා මැරුනේ තාත්තා මැරිලා දවස් දාහතරකට පස්සේ.

මම දැන් අනාථයෙක්. අම්මයි තාත්තයි දෙන්නම මැරුණ බව මං දැනගත්තේ සෑහෙන කාලයකට පස්සේ.

ඒ දෙන්නගෙම මළගමට මට යන්නවත් ලැබුණේ නැහැ.

විවාහ වුණේ නැද්ද..?
ඇප ලැබිලා ගමට ගියාට පස්සේ අයියයි මමයි දෙන්නම විවාහ වුණා.

ඒත් අපිට වැඩිකල් සතුටින් ඉන්න ලැබුණේ නැහැ. අපිට නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වුණා.

අපි හිතුවේ අපිට නිදහස ලැබෙයි කියලා. එල්ලුම් ගහ නියම වෙයි කියලාහිතුවානම් විවාහ වෙන්නේ නැහැ.

මම හිරේ යනකොට මගේ දුවගේ වයස මාස එකහමාරයි.

මම හිරේ ආවට පස්සේ එකම දවසක්වත් බිරිඳ මාව බලන්න ආවේ නැහැ.

ගෙදර හිටපු අයියත් එක්ක එයා පවුල් කන්න පටන් අරගෙන. අයියා මහ ගේ විකුණලා දාලා දැන් ඒ ගොල්ලෝ කොහේ ඉන්නවද යන්නේ නැහැ.

ඒ වුණත් මට අයියා එක්කවත් බිරිඳ එක්කවත් තරහක් නැහැ.

මගේ බිරිඳ නොදන්න පිරිමියෙක් එක්ක ගියා නම් මගේ දරුවට වෙනස්කම් වෙන්න තිබුණා.

ඒත් මම දන්නවා අයියා මගේ දුවව ආදරෙන් බලාගනීවි කියලා.

එල්ලුම් ගහ නියම වුණා කියලා දැනගත්තම මොකද හිතුනේ..?
ඒ වෙලාවේ අපෙන් ඇහුවා නිදහසට කරුණු තියෙනවද කියලා.

ඒත් අපි මොනවා කියන්නද..? ඇත්තටම අපි මහප්පව මැරුවා. හිරගෙදර ඇවිත් මාස තුනක් විතරම මම හිටියේ හැඩූ කදුලින්.

හිරගෙදර ඇවිත් කොටු රෙද්දයි කොහු මෙට්ටෙයි යකඩ බකට් දෙකයි ලැබුණ දවසේ මට දැනුනා අපිට මේකෙන් ගැලවීමක් නැහැ කියලා. රෑට නින්ද ගියේ නැහැ. 

එල්ලුම් ගහට යන්න බයද..?
නැහැ. මම එල්ලුම් ගහට බය නැහැ. ඒත් මැරෙන්නත් තව කොච්චර කල් බලාගෙන ඉන්නද..? දැන් මට හිතෙනවා ගෙදර යන්න ලැබේවි කියලා.

ඒ කොහොමද..?
ලොකු අම්මලා අභියාචනයක් ඉදිරිපත් කරලා. ඒ ගමන නියෝගයක් ලැබිලා තියෙනවා. අපිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමයි කියලා.

එහෙම දඩුවම වෙනස් කරලා තියෙන්නේ මිනීමැරුම සිදුවෙද්දි අපි බාලවයස්කාරයෝ නිසා.

කොහොමද දවස ගෙවෙන්නේ..?
හෙට දවස ඉර පෑව්වත් ජීවිතේ කිසිම අලුත් බවයක් නැහැ. මම උදේ හවස බුදුන් වදිනවා.

මේ වෙනකොට මම අවුරුදු දහයක් හිරේ. දැන් මට වයස අවුරුදු 31 යි. ආර්ථික ප්‍රශ්න තිබුණ නිසා ඉගෙන ගන්න බැරිවුණා. ඉක්මන් කේන්තිය නිසා මිනීමරුවෙක් වුණා.

හැමදාම මම වෙච්ච වැරැද්දට මගෙන්ම සමාව ඉල්ලනවා.

මට හැම තිස්සෙම මගේ පුංචි දුව මතක් වෙනවා. එයා දැන් අවුරුදු 12 ක ගැහැණු ළමයෙක්.

ආසයි මට මගේ පොඩි කෙල්ලව දකින්න. එකම එක වතාවක් මට දුව බලන්න තියෙනවා නම් ඇති.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.