Header Ads

සුව සැරිය ගිලන් රථයක් තුළ දී ගාල්ලේ මවක් බිළිඳකු බිහි කරයි...


දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටි මවකට එම දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් හා වෛද්‍ය උපදෙස් ලබාදෙමින් නිරෝගී දරුවකු මෙලොවට බිහි කිරීමට උපකාර කිරීමට ගාල්ල ‍පෝද්දල ‍පොලිස් වසමේ රාජකාරි කටයුතු සිදුකරන සුව සැරිය (1990) හදිසි ගිලන්රථ සේවයේ නිලධාරිනිය හා රියැදුරුවරයා කටයුතු කිරීමේ පුවතක් පසුගිය දිනක මහමෝදර රෝහලින් වාර්තා විය.

කටඹුරාව, වදුරඹ ලිපිනයේ පදිංචිව සිටි එම්. ඒ. නදීකා දුලාංජලී (20) තරුණ මව සිය දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් සිට ඇත. එහෙත් ඇයට පසුගියදා (25) උදෑසන දරු ප්‍රසූතිය සඳහා වේදනාවක් ඇති වී ඇති අතර මේ පිළිබඳව ඇයගේ සැමියා හදිසි ගිලන් රථ සේවයට (1990) දුරකථන ඇමතුමක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම දුරකථන ඇමතුමත් සමග එම නිවසට පැමිණි අදාළ ගිලන් රථ සේවයේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරිනිය වන අයේෂා මධුවන්ති (22) මෙනවිය හා ගිලන් රථයේ රියැදුරු ලෙස කටයුතු කරන සුමුදු ගයාන් (30) මහතා මෙම මවගේ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය කටයුතු සිදුකර නිරෝගී දියණියක් මෙලොව බිහි කිරීමට මෙම මවට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප හා අදහස් දැක් වූ මෙම දරු ප්‍රසූතියට ලක් වූ මවගේ ස්වාමිපුරුෂයා වන ප්‍රසාද් හෙට්ටිආරච්චි (22) මහතා

මගේ නෝනාට දෙවැනි දරුවා ලැබෙන්න ආසන්නවයි හිටියේ. හැබැයි ඇයට පසුගිය (25) උදෑසන හදිසියේ වේදනාවක් ඇති වුණා. මට කිසිවක් හිතාගන්න බැරිවුණා. මට මතක් වුණා ලංකාවට අලුතින් හඳුන්වා දීපු හදිසි ගිලන් රථ සේවය (1990) මම ඒකේ නොම්මරයට කෝල් එකක් ගත්තා. කෝල් එක අරගෙන විනාඩි දහයක් ගියේ නැහැ ඒ ගිලන් රථය ආවා.

එකේ හිටපු මිස් ඉක්මනට බැහැලා ඇවිත් මගේ බිරිඳ පරීක්ෂා කළා. හැකි ඉක්මනින් ඇයට දරුවා මෙලොවට බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසුවා. පසුව දරුවායි අම්මායි ගිලන් රථයේ තබාගෙන පෙකණි වැල කපලා දරුවයි මවයි නිරෝගීව මහමෝදර රෝහලට රැගෙන ගියා. ඇත්තටම ඒ වෙලාවේ මේ ගිලන් රථය නොතිබුණා නම් මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ මිස්ටයි ආපු මහත්තයාටයි ගොඩක් පින්. දැන් අපට පුංචි දුවෙක් ඉන්නවා.

මෙම කාර්යයට සහය වූ ‍පෝද්දල ‍පොලිස් වසමේ මෙම හදිසි ගිලන් රථ (1990) සේවයේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරිනී අයේෂා මධුවන්ති ජයවික්‍රම (22) මෙනවිය තමන් මුහුණ පෑ එම අවස්ථා අපට මෙලෙස විස්තර කළාය.

පසුගිය දින (25) අපි සුපුරුදු විදියට උදෑසන රාජකාරි කටයුතු ආරම්භ කළා. පෙරවරු 10.50ට විතර අපේ කෝල් සෙන්ටර් එකින් අපට දුරකථන ඇමතුමක් ආවා දරුවකු බිහි කිරීමට සූදානම් මවකට අමාරුවෙලා කියලා. අපි හැකි ඉක්මනින් වදුරඹ ප්‍රදේශයේ පිහිටලා තිබුණු ඒ නිවසට ගියා.

අපි එම නිවසට යනවිට ඒ මවට දරුවා ලැබෙන්න ආසන්නයි. මම ඉක්මනින් ඒ කටයුත්තට අවශ්‍ය දේවල් සූදානම් කළා. මගේ සහයකයා සුමුදු අයියා ඒකට ගොඩක් උදව් කළා. කොහොම හරි දරුවා බිහිවෙමින් තිබුණේ. පස්සේ අපි දරුවයි අම්මවයි අපේ ගිලන් රථයට දාගත්තා. ඊට පස්සේ දරුවයි අම්මයි සම්බන්ධ වෙලා හිටිය පෙකණිවැල කපලා අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. පස්සේ දරුවාගෙයි අම්මගෙයි සෞඛ්‍ය මට්ටමට අපේ ගිලන් රථයේ තියෙන පහසුකම්වලින් අපි සෝදිසි කළා.

දරුවා හා මව සුවෙන් සිටියා. පස්සේ අපි දරුවයි අම්මවයි මහමෝදර රෝහලට ගෙනවිත් භාරදුන්නා. අපිට ලබාදීලා තිබුණු පුහුණුවයි අපේ ගිලන් රථයේ තිබෙන උපකරණ නිසා අපට මේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන් වුණා. අපිට හරි සතුටුයි ඒ දරුවයි අම්මයි අද නිරෝගීව මහමෝදර රෝහ‍ලේ ඉන්නවා. තව දින දෙකකින් විතර ඒ අයගේ ටිකට් කපයි.

මේ ගිලන්රථ සේවය ලංකාවට ආපු මුල් දවස්වල මේකට ගොඩක් විවේචන තිබුණා. ඒත් මේකෙන් ලොකු සේවයක් රටට වෙනවා. අසරණ රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරාගන්න අපට පුළුවන්වෙලා තියෙන්නේ මේ ගිලන් රථ සේවය නිසයි. මේ මවගේ ජීවිතය රැකගන්න පුළුවන් වුණේ මේ ගිලන් රථය නිසයි. මේක නොතිබුණා නම් ත්‍රිරෝද රථයක් වගේ එකකින් තමයි මේ මවට රෝහලට යන්න වෙන්නේ. අද ජනතාවට මේ නිසා ලොකු සෙතක් සැලසිලා. සේවයක් අවශ්‍ය ඕනෑම කෙනෙක් අපේ 1990 අංකයට කතාකරන්න. හැම දෙයක්ම නොමි‍ලේම ආරක්ෂාකාරිව ඉටු කරන්න අපි කැපවෙලා ඉන්නවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.