Header Ads

ප්‍රා. ලේකම්ට වැඩ වරදී - චක්‍රලේඛය උල්ලංඝනය කරලා.


දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට නිසි පරිදි පිළිතුරු නොදී ජංගම දුරකථනය විසන්ධි කිරීමෙන් රජයේ නිලධාරීන්ගේ වගකීම් සහ සේවාලාභීන්ගේ අයිතීන්" පිළිබඳ 11/2015 දරන රාජ්‍ය චක්‍රලේඛය
උල්ලංඝනය කර ඇතැයි එම සිද්ධිය සම්බන්ධව කෙරෙන පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය. මහජනතාව දුරකථනය ඔස්‌සේ ඉහළ නිලධාරීන්ට සිය පැමිණිලි ඉදිරිපත් කරනවිට පිළිතුරු නොදී දුරකථන විසන්ධි කරන බවට ඔම්බුඩ්ස්‌මන් (දුක්‌ගන්නාරාළ) වෙත පැමිණිලි රාශියක්‌ ලැබී තිබූ බැවින් නිලධාරීන් මහජන පැමිණිලි සඳහා දුරකථනය ඔස්‌සේ පිළිතුරු ලබාදිය යුතු ආකාරය සඳහන් කොට 2015 වසරේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඉහත චක්‍රලේඛය නිකුත් කර ඇත.
රජයේ ඉහළ නිලධාරීන්ට නිවාස සහ කාර්යාලවලට දුරකථන පහසුකම් ද ජංගම දුරකථන සඳහා ප්‍රතිපාදන ලබා දී තිබියදී මහජන පැමිණිලි සඳහා පිළිතුරු නොදී දුරකථන විසන්ධි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව එම චක්‍රලේඛයේ දැක්‌වේ.
මහජන පැමිණිලි විමසා අවශ්‍ය පියවර ගතයුතුව තිබියදී ප්‍රාදේශීය ලේකම්වරිය එසේ නොකිරීමෙන් චක්‍රලේඛය උල්ලංඝනය කොට ඇතැයි ද එම කාරණාවද සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ සිද්ධිය පිළිබඳව රජය පරීක්‍ෂණ පවත්වන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
දිවුලපිටිය ප්‍රා. ලේකම් ගැන කිසිම පරීක්‍ෂණයක්‌ අරඹා නෑ
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් මේ වනවිට කිසිම ආයතනයකින් කිසිම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර නැතැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් සුනිල් ගලගම මහතා 'දිවයින'ට ඊයේ (31 වැනිදා) පැවසීය. ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව පරීක්‍ෂණයක්‌ කිරීමට නම් කිසියම් අයකු විසින් ගම්පහ දිසාපතිවරයාට හෝ පොලිසියට පැමිණිලි කළ යුතු බවත් එවැනි පැමිණිල්ලක්‌ ඊයේ (31 වැනිදා) තෙක්‌ කිසිවකු හෝ කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීම සම්බන්ධයෙන් විද්යුත් මාධ්‍යවල ප්‍රචාරය වූ දෙබස්‌වලට පෙර අනවසරයෙන් පස්‌ කැපීම සම්බන්ධයෙන් තමාට නීතිමය පියවරක්‌ ගත නොහැකි බව ප්‍රා. ලේකම්වරිය විසින් නි. අමාත්‍යවරයාට පහදා දී ඇති බවද ගලගම මහතා කීය.
ඉන් පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා බැණ වදින ආකාරය ප්‍රචාරය වූ බවත් එහිදී අමාත්‍යවරයාට ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනයෙන් පිළිතුරු දෙන අවස්‌ථාවේ දුරකථනය විසන්ධි කිරීමක්‌ නොව විසන්ධි වීමක්‌ සිදුවී ඇති බවත් පැවසූ හෙතෙම ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනය විසන්ධි කළා නම් නැවත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධතාවට එක්‌නොවී එය මගහැරීමට කටයුතු කළ යුතු බවද කීය. එම නිසා දුරකථන ඇමතුම විසන්ධි කිරීමක්‌ නොව විසන්ධි වීමක්‌ සිදුව ඇතැයි ද ඔහු කියා සිටියේය.
දිවුලපිටිය ප්‍රදේශයේ පස්‌ කැපීම නිසා මහජන පීඩාවක්‌ සිදුවී ඇත්නම් එය නතර කිරීමට ප්‍රාදේශීය ලේකම්වරියට බලයක්‌ නොමැති බවත් එය නැවැත්විය හැක්‌කේ පොලිසියට හෝ ඊට අදාළ ප්‍රදේශයේ පවතින පළාත් පාලන ආයතනයට බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අකරගම පස් කැපීම ගැන තීන්දුව අද
මේ අතර මත භේදයට ලක්ව තිබෙන දිවුලපිටිය, අකරගම පස් කපන භූමි ප්‍රදේශය තුළ භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඊයේ (31) ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ අතර එහි වාර්තාව පදනම් කරගෙන එම ස්ථානය සම්බන්ධව අද (01) තීරණයක් ගැනීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය 26 වැනිදා එම ස්ථානයේ සිට නිලධාරීන් හා කළ සාකච්ඡාව අනුව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ හා පරිසර අධිකාරියේ නිලධාරිහු, දිවුලපිටිය සහකාර ප්‍රාදේශීය ‍ලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිසක් සමග ඊයේ (31) ස්ථාන පරීක්ෂණයක් කළහ.
දිවුලපිටිය ‍පොලිසියේ නිලධාරීන්ද මේ සඳහා එක්ව සිටි අතර පස් කැපීමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය වන අන්දමින් කටයුතු කර ඇද්දැයි හා පාරිසරික හානි සිදුව ඇද්දැයි නිරීක්ෂණය කළහ.
මෙම නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන නිරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන අදාළ භූමියේ පස් කපන ස්ථාන සම්බන්ධයෙන් අද (1) තීරණයක් ගැනීමට කටයුතු කෙරෙන බව එහි නිලධාරියෙක් පැවසීය. මෙම නිලධාරීන් ප්‍රදේශවාසීන් හා සාකච්ඡා කළ අතර ඔවුන් එක හෙළා ඉල්ලා සිටියේ සිදුවන පරිසර විනාශය වළක්වා දෙන ලෙසය.
කියුබ් 500 බලපත්‍රයෙන් පස් කියුබ් 61,000ක් කපලා
පස් කියුබ් 500ට අඩු ‘බී‘ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරිමේ බලපත්‍රරයක් යොදාගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරැවන් පස් කියුබ් 61000 ක් කපා ඇති බවට තොරතුරු අනාවරනය වි ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකමි කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක කිර්ති  තෙන්නකෝන් මහතා පවසන්නේ අද (31) දිවුලපිටියේ සංචාරයක නිරත වු පරිසර අධිකාරියේ හා භු විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් කණ්ඩායමක් විසින් මේ බව අනාවරනය කරගෙන ඇති බවයි.
දිවුලපිටියෙන් කපන පස් මුතුරාජවෙල ගොඩ කිරිම සදහා යොදාගන්නා බවත් එම කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ දේශපාලනඥයකු හා දේශපාලනඥයකුගේ සමීපතමයකු බවත් තෙන්නකෝන් මහතා පවසයි. පගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම මුල්කරගෙන ඝාතන 40 ක් පමණ සිදුවී ඇතැයි ද ඔහු කියයි.
මේ අතර ප්‍රාදේශීය ලේකම්වරිය ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කියමින් දුරකථනය විසන්ධි කරත් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම පස් කැපීමට විරුද්ධව ලිඛිතවම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ලට කිසිදු විසදුමක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ලබා දී නොමැත.එම පැමිණිල්ල ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇත්තේ 2016 දෙසැම්බර් 8 වන දිනය.එම පැමිණිල්ල පහතින් දැක්වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.