Header Ads

විවාහය ගැන මවට කියන්න ගමට යන අතරමගදි ජීවිතය හැරගිය මධූ, පෙම්වතා ඉදිරියේ Night Club එකකින් මතුවෙයි



මොනවද බොන්නේ වොඩ්කා හොඳයිද..?
මොකද ඔච්චර සිගරැට් බොන්නේ..

කැරොකේ සමාජ ශාලාව තුළ තිබෙන්නේ දැඩි ඝෝෂාකාරි බවක්. එැවැනි සමාජ ශාලාවක සිදුවූ සිදුවීමක් අලලා මධු නමැති යුවතියකට ආදරය කළ අයෙකු ගැන සිදුකල සංවාදයකි මේ.

බීමට ඇබ්බැහි වූ තරුණයෙකුගේ වරදින් එම තරුණිය අහිමිවූ හැටි ගැනත් මෙහි සඳහන් වනවා.

පහතින් දැක්වෙන්නේ එම සංවාදයේ කොටසකි. 

තැන තැන ඇති අසුන්වලට බරවී මධුවිත පානය කරමින් රිසි සේ සතුටුවන පිරිස බොහෝය. 

වැයෙන සංගීතයට නටන කැරොකේ කෙල්ලන් අතරින් මිදී කෙලවර තිබු සෝපාවකට මමද බර වුයෙමි.

“මොකද අද තනියම”

එක් කෙල්ලක් මා දෙස බලමින් නක්කලයට මෙන් විමසුවාය. මම ඇයට ඊට පිළිතුරක් නොදී සිනහවකින් සංග්‍රහ කළෙමි. එහෙත් ඇය මා අසළ වාඩි වුවාය.

“මොනවද බොන්නේ”

“වොඩ්කා”
මගේ පිළිතුරත් සමඟ ඇය එක හුස්මට එතැනින් පිටව ගියාය. විනාඩි කිහිපයකට පසුව වොඩ්කා බෝතලයක් සමඟ ඇපල් පීරිසියක් ද රැගෙන ඇය මා වෙත ආවාය. මම අත තිබු පැකට්ටුවෙන් සිගරැට්ටුවක් දල්වා ගතිමි. වොඩ්කා බෝතලයෙන් මඳක් වීදුරුවට හළා ගත්තෙමි.

“ඔයාත් ගන්න”

මගේ අවසරයෙන් ඇය ද ඉන් මඳක් වීදුරුවකට දමා ගත්තාය. එහෙත් ඇය වෙනදා මෙන් මා තුරුළට නොපැමිණියාය.

ඊට හේතුවක් ඇත. එය ඇය හොඳාකාරවම දනී. ඒ නිසා ඇය මා සමඟ වැඩි කතාබහක නියැළුණේ නැත. බොහෝ වේලාවක් යන තුරුම අප අතර පැවතියේ නිහඬතාවයකි. වොඩ්කා බෝතලය ද ටිකෙන් ටික හිස්වෙමින් තිබිණි. මම එක් සිගරැට්ටුවක් බී අවසන් වෙද්දී තවත් සිගරැට්ටුවක් දල්වා ගත්තෙමි.

“මොකද අනේ ඔච්චර සිගරැට් බොන්නේ....”

මම ඊට ද පිළිතුරක් නොදුන්නෙමි. තවත් පොඩ්ඩක් වීදුරුවට හලාගත්තෙමි.

“මොකද මැරෙන්නද බොන්නේ”

ඊට ද මම මුකුත් නොකීවෙමි. ඊට පිළිතුරු ලෙසින් සිගරැට් දුම් වළලු කිහිපයක් ශාලාව තුළ මුදාහල මම හරි බරි ගැසී සෝපාවේ හිඳ ගතිමි. මගෙන් සාර්ථක ප්‍රතිචාර නැති නිසාදෝ ටික මොහොතකින් ඇයද මා වෙතින් නික්ම ගියාය. එතැන් පටන් වොඩ්කා බෝතලය තනිවම හිස් කරන්නට මට සිදුවිය. මොහොතකින් මා හිස කැරකැවෙන්නට විය. නැගිට ගන්නවත් වාරු නැත. ඉදිරියේ කවුදෝ රැඳි සිටින අයුරු මට පෙනේ. මම දෙනෙත් පිසදා ඒ දෙස හොඳින් බැලිමි.

“දෙවියනේ මධූ... මගේ මධූ....”

මම එකවරම ඉදිරියට පැන ඇය බදා ගත්තෙමි.

“මහත්තයා.... මොකද අද හොඳටම වැඩියි” එතැන සිටි සේවකයකු මා තදින් අල්ලා ගෙන සෝපාවේ වාඩිකළේය.

“අද ටිකක් වැඩියි වගේ මහත්තයාට”

“සොරි. මල්ලී හොඳේ. ඉඳා සිගරැට් එකක් බීපං....”

සෝපාවට බර වූ මගේ දෙනෙත් පියවිණි. සිත ඈතට දිව යන්නට විණි. වෙනදාට මා සමඟ මේ සෝපාවේම සිටින මධු අද මා ළඟ නැත. ඒ වේදනාව මා සිත තුළින් තවමත් නික්ම ගොස් නැත. මට තව තවත් මධූ සිහිපත් විණි.

මධු මට හමුවුයේ නිතැතිණි. ඇය අන් කෙල්ලන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඇය මා දැන හඳුනා ගත් දින දා සිටම මා වෙනුවෙන් කැප වූ කෙල්ලකි. මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළ ඇය මට අහිමි වුයේ මගේම වරදින් බව දැන් මම හොඳින් දනිමි.

ඇගේ ගති පැවතුම් ද අනෙක් කෙල්ලන්ට වඩා වෙනස්ය. ඇය සංකර ලෝකයට බෙහෙවින් අකමැතිය. “ක්ලබ්” ගානේ යන්නට රෑ එළි වන තුරු සතුට විඳින්නට ඇය කැමැත්තක් නොදැක්වුවාය.

“අද අපි පන්සල් යමු...”

ඇය දිනක් මට කීවාය.

මට ඇය ගැන පුදුම හිතුණේ එදාය. වෙන කෙල්ලක් මට කිසිදා එසේ කියා නැත. ඇගේ ඉල්ලීම මත අපි එදා බෙල්ලන්විල පන්සල් ගියෙමු. මල් පූජා කළෙමු. බුදුන් වැන්දෙමු.

“මට අද හරිම සතුටුයි...”

“ඇයි ඒ....?”

“ඔයාව පන්සලකට එක්කගෙන එන්න පුළුවන් වුණානේ....?”

මා හිටියේ ද සතුටිනි. එදා පටන් අපි සතියකට වරක් බෙල්ලන්විල ගියෙමු. මගේ ජීවිතය කෙමෙන් කෙමෙන් වෙනස් විය.

ඇය මගේ ජීවිතය වෙනස් කරද්දී අන් කෙල්ලන් සමඟ මා තුළ තිබු ඇසුර ද කෙමෙන් අඩු විය. සමහර කෙල්ලන් මා දමා යද්දී මධූ තව තවත් මට ලංවිණි.

“ඔයා මගේ ජීවිතය වෙනස් කළා...”

මම දිනක් ඇයට කීවෙමි. එසේ කියද්දී ඇය මා දෙස බලා සිනාසුණාය.

“වෙනස් කළා නෙමේ...”

“එහෙනම්....”

“මම ඔයාට ඇත්තටම ආදරය කළා....”

එය ඇත්තක් බව මට හැඟිණි. අන් කෙල්ලන් සමඟ මා ඇසුරු කළේ ආදරයෙන් වුවත් ඔවුන් තුළ නියම ආදරය නොතිබුණු බව මට දැනුණේ මධූගේ ආදරය මා වෙත ලැබෙද්දීය.

“ඒත් ඔයා මට ආදරේ නෑ...”

“පිස්සු ද මධූ මමත් ඔයාට ආදරෙයි...”

“නැහැ... තවමත් ඔයාගේ හිත තියෙන්නේ අරගොල්ලෝ ගාව...”

“මොන ගොල්ලොද....?”

ඇය එසේ කියන්නේ මගේ හිත බලන්නට බව මම දනිමි.

“මම ඔයා ගැන අපේ අම්මට කිව්වා...”

“ඉතින් අම්මා මොකද කිව්වේ......?”

“අම්මා කිව්වා මම කැමැති නම් ඕන දෙයක් කර ගන්න කියලා...”

“ෂා... හොඳයිනේ...”

“අම්මා දන්නවා මම වැරැදි දෙයක් කරන්නේ නැති බව. අම්මට මාව විශ්වාසයි.

එදා පටන් ඇය මා සමඟ කතා කළේ අපේ විවාහය ගැන පමණි.

වෙනදාට සතියට දෙතුන් වරක් මිතුරන් සමඟ මධුවිතෙන් සතුටු වන මම ටිකෙන් ටික මධුවිතට ද තිත තැබුවෙමි. එයද ඇය නිසාය. එසේ වෙනස් වෙන්නට මගේ හිත වෙනස් කළේ ඇයයි.

“මම මේ පාර ගෙදර ගිහින් එන්නේ ඔයාව අපේ ගෙදර අරගෙනම යන්න....”

මධු අවසන්වරට මට කිව්හැටි මගේ මතකයේ තවමත් රැඳී තිබේ. අපි අපේ විවාහයට දිනද දා ගෙන සිටියෙමු. ඒ නිසා ඇය සිටියේ වෙනදාටත් වඩා සතුටිනි.

“අපේ අම්මා හරියට සතුටු වෙයි.”

“ඇයි මම වගේ කොල්ලෙක් එයාගේ බෑනා වෙන හින්දද?”

මම එසේ කියද්දී ඇය මට තුරුළු වූ අයුරු මා සිත තුළ තවමත් රැඳී ඇත.

අපි දෙදෙනාගේ විවාහය මවට කියන්නට ගමට ගිය මධු යළි මා සොයා ආවේ නැත.

“මධු ඇක්සිඩ්න්ට් වෙලා.... හොඳටම අමාරුයි...”

ලැබුණු පණිවිඩයත් සමඟ මම රෝහලට යන විටත් ඇය සිටියේ අසාධ්‍ය තත්ත්වයෙනි.

“මධු.... මොකද ඔයාට වුණේ....?”

ඇය මා දෙස බලා මගේ දෑත තරයේ අල්ලා ගත්තාය.

“මම මැරෙයිද....?”

“නැහැ... මධු ඔයා මැරෙන්නේ නැහැ....”

මගේ දෙනෙතින් වැටුණු කඳුළු ඇගේ මුහුණ තෙත් කළේය.

මට දැනුණේ දරාගත නොහැකි වේදනාවකි. දුකකි. මම ඇගේ අත අල්ලාගෙන බොහෝ වේලා ඇය දෙස බලා සිටියෙමි.

“මධු..” ඇය මා දෙස නැවත බැලුවාය. මම ඇගේ මුහුණට මගේ මුහුණ ළං කළෙමි.

ඇය කුමක්දෝ කියන්නට වෙර දරන අයුරු මට හැඟිණි.

“ඇයි... මධු...?” “ඔයා මට ආදරෙයි නේද....?”

“ඔව් සත්තකින්ම.”

“එහෙනම් මට පොරොන්දුවක් දෙන්න”

“මොකක්ද?”

“ආයෙත් බොන්න එපා...”

ඒ ඇගේ අවසාන ඉල්ලීම වුවාය. මොහොතකින් ඇය මා ඉදිරියේම දෙනෙත් පියා ගත්තාය. ඒ සිදුවීම තරම් මගේ ජීවිතයේ දුකක් දැනුණු වෙනත් දිනයක් නැති තරම්ය. රෝහල දෙවනත් වන්නට මම කෑ ගැසීමි.

මම මධුට පොරොන්දුවක් දුනිමි. එහෙත් එය මට ඉටුකළ නොහැකිවිය. ඊට හේතුව වුයේ ඇගේ වියෝවත් සමඟ මෑතදී මත්පැනට ඇබ්බැයි වීමයි.ගේ ඉල්ලීම ඉටු කරන්නට කිසිදා බැරි බව මම දනිමි.

“මට සමාවෙන්න කෙල්ලේ...”

මම ඉකි ගසමින් හැඬුවෙමි. මම මේසය මතම මුහුණ හොවාගෙන ඇතිවනතුරු හැඬුවෙමි.


(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.