Header Ads

කටුනායක ගුවන්තොට අලුත්වැඩියාවට වසා දැමීමෙන් ශ්‍රී ලංකන් සමාගමට ඇ.ඩො.මි 40කට අධික අලාභයක්


අලුත්වැඩියා කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ වසා දැමූ කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40ක අලාභයක් සිදු වී ඇතැයි ගණන් බලා තිබේ.

ගුවන් පථයේ අලුත්වැඩියාවක් සඳහා පසුගිය ජනවාරි 5වන දා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෛනිකව උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා වසා දැමුණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මහතා පැවසූවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වැඩි ප්‍රමාණයක් එම කාලයේදී සිදුවන බව ය.

ගුවන් තොටුපොළ වසාදැමූ ජනවාරී මාසයේදී පමණක් ගමන් වාර 190ක් පමණ අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු ව ඇති අතර පෙබරවාරි සහ මාර්තු මාස වලදී ගමන් වාර 205ක් සහ 227ක් වශයෙන් අවලංගු කෙරිණි.

ඉදිරි මාසයේදී අවලංගු කර ඇති ගුවන් ගමන් වාර ගණන 40ක් පමණ වන අතර වසා දමා තිබූ කාලසීමාව තුළ, අවලංගු කෙරුණු මුළු ගුවන් ගමන් වාර ගණන දළ වශයෙන් 662ක් බව වාර්තාවේ.

විදේශීය, ගුවන් සමාගම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවලංගු කළ ගුවන් ගමන් වාර ගණන වැඩි බවත්, මේ හේතුවෙන් විශාල අලාභයක් සිදු වී ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ ය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, අශෝක අබේසිංහ පැවසූවේ,

අප්‍රේල් 6වන දා අපි සුබ මොහොතින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මේ ධාවන පථයට ගොඩබස්වලා අපි මෙය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.ඒවගේ ම අපි දෙවැනි අදියර විදියට අලුත් පර්යන්ත ගොඩනැගිල්ල හදන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට සිංගප්පුරුවේ ගුවන්තොටුපොළට පමණක් දෙවැනි වන ගුවන් තොටුපොළක් බවට පත්වෙයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ල අවසන් කලාට පසුව 

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිවහ්‍යුගත කිරීම සඳහා තෝරාගෙන ඇති ටි.පි.ජි හෙවත්, ටෙක්සාස් පැසිෆික් ගෘප් සමාගමට අමතරව තව ත් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් ඇතැයි පසුගිය දිනවල වාර්තා විය.

එවැනි පාර්ශවකරුවෙකු පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්වී නැතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා පවසා තිබේ.

ඔහු කියා සිටියේ ටී.පී.ජී සමාගම මෙම ආයෝජනව සඳහා වඩාත් සුදුසු වන අතර ඔවුන් ඒ සඳහාවන මූලික පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බව ය.

මේ අතර ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ, S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් නැමති සමාගම, ගුවන් බස් තුනක් ලබාගැනීමට අදාළව ඇති වූ ගැටලු මත ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලපෑමක් තිබූ නමුත් මේ වන විට එම ගැටලු විසඳා ඇති බව ය.

කුලී පදනම මත A 330 – 200 වර්ගයේ ගුවන් යානා ලබා ගැනීම සඳහා ඇති කරගත් ගිවිසුම දීර්ඝ කිරීමට සමාගම තීරණය කර ඇති අතර ගිවිසුම ප්‍රකාරව සියලු වාරික නියමිත කාල සීමාවට ගෙවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අතර ඩ්‍රයිලීස් පදනමට ගුවන් යානා ලබාදීම සඳහා ලංසු ඉදිරිපත් කරන්නැයි පාකිස්ථාන ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකන් ගුවන සමාගමට ඇරයුම් කර තිබේ.

ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මහතා පැවසුවේ, ඒ අනුව කාර්ය මණ්ඩල නිලධාරීන් සහ නඩත්තු නිලධාරීන් රහිත ගුවන් යානා දෙකක් කුලී පදනම මත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ය.
නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.