Header Ads

මන්ත්‍රීවරු 45ක් වාහන බලපත්‍ර විකුණයි


පාර්ලිමේන්තුව මේ වන විටත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 27 දෙනකු තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට අයුතු ලාභ ලැබූ මන්ත්‍රීවරුන් 27 දෙනකුට එරෙහිව තමා විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගහලන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඒ බව දැනුම් දුන්නේය. එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, සිසිර ද ආබෘෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

ඒ බව දැනුම් දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙසට පැමිණිලිකාර නීතිඥවරයාගෙන් ඉල්ලා සිටියේය. වගඋත්තරකාර අල්ලස් කොමිෂන් සභාව විසින් ලබාදෙන එම ‍පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් නොමැති බව පැමිණිලිකාර නීතිඥවරයා පෙන්වා දීම නිසා එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 09 වැනිදා කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

2014 වසරෙදී තමා එම පැමිණිල්ල කරනවිට මන්ත්‍රීවරුන් 24 දෙනකු ඔවුන්ට ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට ඇති බවට තොරතුරු අනාවරණය වූ නමුත් මේ වන විට එලෙස වාහන බලපත්‍ර අලෙවි කළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ නැග ඇති බවත් තමා ඒ සියලු තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කාර නීතිඥ නාගහලන්ද කොඩිතුවක්කු මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එමගින් රජයට රුපියල් මිලියන 6කට අධික පාඩුවක් සිදුවි ඇතැයි ද නීතිඥවරයා එහිදි අධිකරණයට පෙන්වා දුන්නේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.