Header Ads

ශ්‍රී ලංකා ධජය සහිත ඉන්ධන නැවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට.


ශ්‍රී ලංකා ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ඊයේ දිනයේදී මෙම නෞකාව සමග පැවති සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබූ අතර එය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත්තේ, අද දිනයේදී යි.

Aris 13 නමින් යුත් අදාළ නෞකාවේ සේවකයින් 8 දෙනෙකු සිටි බව Oceans Beyond Piracy ආයතනය නිවේදනය කර ඇත.

එම ආයතනය පවසා ඇත්තේ, ඊයේ පස්වරුවේ කුඩා බෝට්ටු දෙකක් අදාළ නෞකාව ලුහුබඳිමින් යාත්‍රා කළ බවට තොරතුරු වාර්තා වූ අතර පසුව නෞකාව අතුරුදන් වූ බව ය.

නෞකාවට සිදුවූ දේ පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විට ගුවන් යානයක් යවා තිබේ.

ටොන් 1800ක පමණ භාණ්ඩ ප්‍රවාහනයට ඉඩකඩ ඇති එම නෞකාව පැනමා සමාගමකට අයත් එකක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදු කරනුයේ එමීර් රාජ්‍යයේ සමාගමක් මගිනි.

ඇතැම් වෙබ් අඩවිවල එම නෞකාවේ කළමනාකරණ කටයුතු ප්‍රංශ ප්‍රවාහන අමාත්‍යංශය භාරයේ පවතින බව ද දැක්වේ.

මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ නැව සෝමාලියාවේ අලූලා වරයා වෙත රැගෙන යමින් පවතින බව රොයිටර් පුවත් සේවයට වාර්තා වී තිබේ.

2012 වසරෙන් පසුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ පළමු වෙළෙඳ නෞකාව මෙය වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.