Header Ads

අනාගත මනමාලි බලන්න ඇවිත් ගෙට ෆුල් සුද්දයක් දෙයි.


තරුණියකට විවාහ යෝජනාවක් කර යක්කලමුල්‍ලේ පිහිටි ඇගේ නිවසට ගිය පුද්ගලයකු එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික මුදල් හා දේ‍පොළ සොරාගෙන ගොස් ඇතැයි අදාළ තරුණිය ඉකුත් 27 වැනි දින යක්කලමුල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. 

පැමිණිලිකාර තරුණිය සිය මව, පියා සහ සොහොයුරා හා ඔහුගේ බිරිඳ සමග යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිට ඇත. දිනක් මෙම තරුණිය කරාපිටිය ගිය අවස්ථාවක හඳුනාගත් පුද්ගලයකු ඇයට විවාහ යෝජනාවක් කර ඇත. මේ අනුව සැකකාර පුද්ගලයා මීට පෙර එක්දිනක් තරුණියගේ නිවසට පැමිණ ඇත.

පසුව නැවතත් ඉකුත් 27 වැනි දින මෙම මනමාලයා එම නිවසට පැමිණි අතර, තරුණියගේ මව, පියා සහ සහෝදරයා නොසිටි බැවින් ටික වේලාවකින් සැකකරු නිවසින් පිටව ගොස් ඇත.

මොහු පිටව ගිය පසුව තරුණියගේ නෑනා, දරුවන් රැගෙන ඒමට නිවසින් පිටව ගොස් තිබේ. තරුණිය නිවසේ කිසිවකු නොමැති හෙයින් ඉදිරි දොර යතුරු ලා ළිඳ අසලට ගොස් ඇත. පසුව පිටුපස දොර වසා නොමැති නිසා නැවත නිවසට පැමිණි තරුණියට මෙම පුද්ගලයා නිවස අසල සිට දිවගොස් යතුරුපැදියක නැගී යනවා දැක ඇත.

තරුණිය නිවසට පැමිණ බැලීමේදී කාමරයේ කැබිනෙට්ටුවක් මත තිබූ රුපියල් එක්ලක්ෂ හැට දෙදහසක් වටිනා රන් භාණ්ඩ, රුපියල් තුන්ලක්ෂ දසදහසක් වටිනා මුදල්, රුපියල් විසිහත්දහස් තුන්සීයක් වටිනා ජංගම දුරකථන තුනක් සොරාගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල ‍පොලිසියට පැමිණිලි කර ඇති අතර, යක්කලමුල්ල ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.