Header Ads

එදා සමන්තියි මායි අතර වෙනස්ම බැඳීමක් ඇතිවුණා, මම කිව්වත් දරුවා එක්ක බාරගන්නම් කියලා එයා කෝච්චියට පැනලා


මම එයාට බලහත්කාරකම් කළා කියලා පැමිණිල්ලක් දාලා...
ඒ ආදරේ අවුරුදු ගාණක් හැංගිලා තිබුණු එකක්..

රූපයට සිත බැඳීම නිසා ඔහුගේ සිත ආශාවෙන් පිරුණේය. ඔහු මුළු හදින්ම ඇයට පෙම් කළාය. නමුදු ඇය ඒ ප්‍රේමයේ නාමයෙන්ම ඔහුව මුලා කළේය.

එහි අවසානය වුයේ ඔහුට වසර දහයකටත් වැඩි කාලයක් හිරගෙදර ළගින්නට සිදුවීමය.

එයා මගෙ ළඟට ආවේ හිනා වෙවි. හරියට සුරංගනාවියක් වගේ. මම ඒ හීනෙට හැමදාම රැවටුණා.

සමහර විට ඒ ආදරේ වැඩිකමට වෙන්න ඇති මම එයාව මේ තරම් ජිවිතේට ළංකරගන්න දැඟලුවේ. ඒත් එයා අන්තිමට මාව රැවැට්ටුවා.

ඔහු එසේ කියන්නට වුයේ දෑසේ වූ කඳුළු පිසදමමිනි. තවමත් ඔහු තරුණ වියේය. ජීවිතය වරද්දාගත් අය අතරින් ඔහු තවත් එක් අයෙකි.

එහෙම කොහොමද කියන්නේ ?
ඔයා කතාව දන්නේ නැහැනේ. ඒකනේ ඔහොම කියන්නේ. එත් මට එයාව කවදාවත් මගේ කරගන්න බැරි වුණා.”

ඒ කියන්නේ එයා ඔයා එක්ක යාළුවෙලා හිටිය ද?
මොන පිස්සු ද ? ඒකී මා එක්ක යාළුවෙනවා තියා මගෙ මුහුණවත් බැලුවේ නැහැ. මම තමයි පස්සෙන් ගියේ.”

ඇයි එහෙම වු‍ණේ? එයා සල්ලිකාරියක් ද?
පිස්සුද සමන්ති සල්ලිකාරියක් නෙමේ. සමන්තිගේ පවුගේ ඔක්කෝම නංගිලා මල්ලිලා පස්දෙනෙක්. . 

සමන්තිගේ තාත්තා කුලී වැඩකරලා ජීවත් වුණේ. ඒ නිසා ඒ ගොල්ලන්ට හරියට හිඟ පාඩු තිබුණා. 

ඒ නිසා සමන්තිගෙ අම්මා රට ගියා. අපිට නම් දෙවියනේ කියලා හොඳ ආර්ථිකයක් තිබුණා. ඒකට හේතුව තමයි මගෙ අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරපු නිසා. 

අම්මට දේපල තිබුණා. ඒ නිසා අපට කිසිම හිඟ පාඩුවක් තිබුණේ නැහැ. අපේ පවුලේ හිටියේ මමයි නංගියි විතරයි. 

නංගියි සමන්තියි දෙන්නම එකම වයසේ. සමන්තිගේ අම්මා රට ගියාට පස්සේ සමන්ති වැඩි වැඩියෙන් අපේ ගෙදර එන්න යන්න ගත්තා. 

ඒ වුණාට අපේ අම්මා කැමති වුණේ නැහැ සමන්ති ගෙදර එනවට. මේ කාලේ වෙනකොට මම උසස් පෙළ විභාගය කරලා ගෙදරට වෙලා හිටියේ. නංගි සාමාන්‍ය පෙළ විභාගය කරලා හිටියේ. හුඟක් දවස්වලට නංගි සමන්තිගේ නංගිලාට මල්ලිලාට කන්න බොන්න දේවල් ගෙනියන්න දෙනවා සමන්තිට” .

සමන්ති ලස්සනද?
මහා ලොකු ලස්සනක් නැහැ. ඒ වුණාට සමන්තිට හොඳ ප්‍රියමනාප පෙනුමක් තිබුණා. 

ඒ නිසාම සමන්ති දිහා බැලුවම කාගේ වුණත් හිත ඇදිලා යනවා. මම හැම මොහොතකම එයාව දකින්න කැමැත්තෙන් හිටියේ. එයා වුණත් මගේ දිහා අමුතු විදිහට බැලුවේ.

ඔයා සමන්තිට ආදරය කෙරුවද?
ඔව්. මම සමන්තිට ආදරේ කෙරුවා. ඒ ආදරේ අවුරුදු ගානක් මගෙ හිතේ හැංගිලා තිබුණ එකක්. ඒත් කාලයක් යනතුරු මට ඒක කියාගන්න බැරිවුණා. 

කොහොම හරි මම ඒක එයාට කිව්වා. නැහැ . ඒක වැරදි කතාවක්. එයා මගෙන් ඒක බලෙන් කියව ගත්තා.”

ඒ කොහොමද?
සමන්ති අපේ ගෙදර යන එන එක එකපාරටම නතර වුණා. 

ඒ ඇයි කියන්න මම දැනගෙන හිටියේ නැහැ. මම නංගිගෙන් ඇහුවා ඇයි සමන්ති අපේ ගෙදර එන්නේ නැත්තේ කියලා. 

එතකොට තමයි නංගි කිවේ සමන්ති ගෙදරටම වෙලා නංගිලා මල්ලිලා බලා ගන්නවා කියලා. ඒවගේම එයාගේ තාත්තා කිව්වලු අපේ ගෙදර යන්න එපා කියලා. 

අපි මුල ඉදලම දැන ගෙන හිටියා සමන්තිගේ තාත්තා අමු බේබද්දෙක් කියලා. මාස ගාණකට පස්සේ සමන්ති අපේ ගෙදර ආවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් වුණාට පස්සේ .

මොන ප්‍රශ්න තිබුණත් සමන්ති විභාගය හොඳට පාස් වෙලා තිබුණා. 

මගේ නංගිත් විභාගය පාස් වුණා . අපේ අම්මා සමන්තිට කිව්වා ඉහළට ඉගෙන ගන්න එයා උදව් කරන්නම් කියලා. 

සමන්ති ඒකට කැමති වුණා. එයා උසස් පෙළ පන්තියට ඇතුළු වුණා. අම්මා හැමදේම කළා. මෙහෙම ටික කාලයක් ගියා .ඔය අතරෙදි තමයි එයාට මේ කරදරය වෙන්න ඇත්තේ.

මොන කරදරයද?
සමන්ති එයාගේ තාත්තගේ අතින් කරදරේක වැටිලා.

ඔයා කොහොමද දන්නේ?
හැම දේම අපි දන්නේ කාලයක් ගියාට පස්සේ. සමන්ති මේ සිද්ධිය වුණාට පස්සේ මගෙ දිහා උවමනාවෙන් බලන්න ගත්තා . 

මම හිතුවා එය‍ා මගෙ දිහා බලන්නේ ආදරයෙන් කියලා. ඇත්තම කිව්වොත් එයා මට වචනයක් දෙනතුරු මං බලාගෙන හිටියේ. 

සමන්ති දවසක් හැන්දෑවක අපේ ගෙදරදිම මට ආදරෙයි කිව්වා. මම හිතුවා මට මුළු ලෝකයම ලැබුණා කියලා. මට ආදරෙයි කියලා සතියකට විතර පස්සේ සමන්ති ආයෙත් අපේ ගෙදර ආවා. එදා කවුරුත්ම හිටියේ නැහැ. 

එදා සමන්තියි මායි අතර වෙනස්ම බැඳීමක් ඇති වුණා. 

මම එයාට දහ අතේ පොරොන්දු වුණා කවදාවත් එයාව අමතක කරන්නේ නැහැ කියලා. 

ඒත් එදා සමන්ති මගෙ ළඟින් ගියේ අඬ අඬා. මේ සිද්ධිය වෙලා දවසකට පස්සේ පොලිසියෙන් අපේ ගෙදරට ආවා. 

ඒ වෙලාවේ අම්මයි තාත්තයි නංගීයි තුන්දෙනාම ගෙදර හිටියා . මගෙ දෙමව්පියෝ ඉස්සරහම මට පොලියෙන් ගැහැව්වා. 

මහ කැත විදිහට බැන්නා .අපිට වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුණා. මාව පොලීසියට ගෙනිච්චා.
ඒ ඇයි?
සමන්තිගේ තාත්තා එදා සමන්තිව එක්කගෙන ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දාලා . 

සමන්ති පොලිසියට කියලා මම එයාට බලහත්කාරකම් කළා කියලා. එයා ඒවාට සාක්කිත් දිලා. 

අම්මා මගෙන් ඇහුවා පුතේ මේ කතාව ඇත්තද කියලා. මම ඔව් කිව්වා. 

සමන්ති පොලිසියට කියලා තියෙන්නේ මම එයට සෑහෙන කාලයක් තිස්සේ කරදර කළා කියලා. ඒ කතාව බොරුවක් කියලා කිව්වට කවුරුවත් ඒක පිළිගත්තේ නැහැ. 

අන්තිමට වුණේ මට හිරේ යන්න . මගෙ අම්මා හුඟක් දුක් වුණා. තාත්තත් ඒ වගේමයි. ඒ වෙනකොට සමන්තිට දරුවෙක් ලැබෙන්න ඉදලා තියෙනවා . මේ කාලේ වෙන කොට සමන්තිගේ අම්මා ලංකාවට ඇවිත් තිබුණේ.”

සමන්තිට මොක ද වුණේ?
සමන්තිට දරුවෙක් ලැබුණලු. මාව බලන්න ආව නංගි තමයි හැම දේම කිව්වේ. 

සමන්තිගේ අම්මා ලංකාවට ආවට පස්සේ සමන්තිගේ තාත්තා වහ බීලා මැරිලා . 

එතකොට මම හිරේ ඇවිල්ලා අවුරුදු හයක් විතර ඇති. 

ඒ මිනිහා මැරෙන්න කළින් කියලා එයා එයාගේ දුවට කරපු හිරිහැර ගැන කියලා තියෙනවා. 

මට අවුරුදු දහයක හිර දඩුවමක් ලැබුණේ. හැම දේම වුණාට පස්සේ සමන්ති මාව බලන්න හිර ගෙදරට ආවා .

එදා එයා හොඳටම ඇඬුවා මට කරපු දේ ගැන . එයාගේ තාත්තාගේ බලකිරිමටලු එයා මා එක්ක ඒ විදිහට හැසිරුණේ. 

මේ දේවල් ඇහුවට පස්සේ මුලින්නම් මගෙ හිතේ ඇති වුණේ තරහක්. ඒත් ඒ අහිංසක කෙල්ල ගැන මගෙ හිතේ පහු වෙන කොට ආදරයට අමතරව අනුකම්පාවකුත් ඇති වුණා. 

මම එයාට කිව්වා කවුරු මොනවා කිව්වත් දරුවත් එක්ක පරිස්සමෙන් ඉන්න මම එළියට ආවාම එයා බාර ගන්නවා කියලා. 

ඒ වුණාට එයා ඒක ඇහුවේ නැහැ. එයා දරුවා එක්කම කෝච්චියට පැනලා තිබුණා. 

ඒ ආරංචිය අහලා මම හුඟාක් කම්පා වුණා. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ හිරගෙදර ඉදගෙන මම හොඳටම ඇඩුවා. 

වෙලාවකට හිතෙනවා මම මොකටද දුක් වෙන්නේ කියලා. එයාගේ තාත්තාගේ ‍බොරුව නිසා අපේ පවුලම නැති වුණා.

නංගිගේ ඉගෙනීම අතරමඟ නතර වුණා. මම හිරේ ආව හිතේ අමාරුවටම තාත්තා ලෙඩ වෙලා මැරුණා. මගේ නංගි නම් දැන් විවාහ වෙලා. නංගි තමයි අම්මාව බලා ගන්නේ.”

නිදහස්වෙලා ගිහිල්ලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ?
මට දැන් ජීවිතේ ගැන ආශාවක් නැහැ. 

කිසිම ඉදිරි බලාපොරොත්තුවක් නැහැ. මම හිතාගෙන ඉන්නවා පැවිදි වෙන්න . මට භික්ෂුන් වහන්සේ නමක් හමු වුණා. 

තව බොහෝම ටික කාලයයි මම මෙතැන ඉන්නේ. අම්මා කැමතියි මම පැවිදි වෙනවට. 

අම්මා කියන්නෙම “පුතේ උඹ ඔය ගෙවන්නේ සංසාර පවක්.කොහොම හරි පිං කරලා සංසාරයෙන් ගොඩ වෙයන්” කියලා. මම අම්මා වෙනුවෙන් ඒ දේ කරනවා. ඒ වගේම මම දන්නවා මටත් හිත හදාගන්න පුළුවන් එකම ක්‍රමයත් ඒක තමයි කියලා. ”
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.