Header Ads

ඍණාත්මක සිතිවිලි මොළයට බලපාන හැටි


මතක කළ යුතු දේවල් ලෙහෙසියෙන් අමතක නොවන්නේ ඇයිද යන්න බොහෝදෙනා විමසන කරුණකි. මකතයේ තබාගත යුතු දෑ පුදුමාකාර ලෙස මතකයෙන් ගිලිහී ගිය ද, අප්‍රසන්න, කටුක හා නිෂ්ප්‍රයෝජන අත්දැකීම් මේ සා ප්‍රබල ලෙස යළි යළිත් මතකයට නැගෙන්නේ ඇයිද යන්න සැබැවින්ම සොයා බැලිය යුතු කාරණයකි.

මනසට වධ දෙන, ණාත්මක හා අප්‍රසන්න සිතිවිලි යළි යළිත් මතකයට නැගීම අප කල්පනා කරනවාට වඩා බරපතළ ප්‍රතිඵල ගෙන දෙන්නක් බව පැවසිය යුතුය. ඔබ ද මම ද කෙළවරක් සොයාගත නොහැකි ලෙස මෙලෙස ණාත්මක සිතිවිලි ජාලවල පැටලී ඇත්තෙමු. අපට ලැබුණ අගය කිරීමකට වඩා අප ලද බැණුමක් වැඩි කාලයක් අප මතකයේ රැඳී තිබිමේ අරුමය ද අප අත්දැක ඇත්තෙමු.

බෙහෝ විට මිනිස් මනසේ ස්වභාවය වන්නේ ‘හොඳ’ දෙයට වඩා ‘නරකෙහි’ ඇලීමය. අනෙක් අතට අතීතයේ සිටම මිනිසාට සිදුව ඇත්තේ යහපත් ක්‍රියාවක යෙදීමට සැලසුම් කිරීම පසෙකලා මුහුණ දෙන්නට සිදුවන තර්ජනවලට හා අභියෝගවලට පිළිතුරු සොයන්නට වෙහෙසීමයි. අභියෝග ඔස්සේ තෘප්තිය සොයා යෑමය. අද දිනයේ යම් අභියෝගයකට සාර්ථකව මුහුණ දුන්නේ වුව හෙට උදයේ ඔබ අවදි වන්නේ තවත් අභියෝගයකට මුහුණදීමේ සැලසුම් සහිතවය. සැබැවින්ම එය වූ කලී කටුක සත්‍යයකි. කටුක බව තුළින්ම සැපත සොයාගත යුතුය යන පිළිගැනීම මිනිස් මනස තුළ ඒ ආකාරයෙන් පැළපදියම් වී තිබිම ද ණාත්මක සිතිවිලි යටපත් කර ගැනීමේ අපහසුවට හේතුවකි.

මේ නිරන්තර කටුක සිතිවිලිවලින් මිනිස් මොළයට ඇතිවන අහිතකර බලපෑම් ගැන සිදුකර ඇති අධ්‍යයන ගණනාවකි. නිරන්තර අභියෝගවලට මුහණ දීමට සිදුවීමේ ස්වභාවය හේතුකොටගෙන පීඩනය, ආතතිය ආදී විවිධාකාර මානසික රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන්නට අද දවසේ ප්‍රජාවට සිදුවී තිබේ. මේ පීඩාකාරී තත්ත්වය, වෙන කවර කාලයකටත් වඩා අද ඉතා ඉහළ මට්ටමකින් අත්විඳින්නට මිනිසාට සිදුවී තිබේ. එබැවින් අපි හැමෝම අඩු වැඩි වශයෙන් මෙකී පීඩනයට හසුවෙමු. ණාත්මක සිතිවිලිවල පැටලීමෙන් දෝමනස්ස සහගත බවක් ඇතිවීම පිළිබඳව වරක් Institute for Women’s Policy Research අධ්‍යයනයක් දියත් කළේය.
යම් සේවා ස්ථාන කිහිපයක් පදනම් කොටගෙන සිදු කරන ලද මෙකී අධ්‍යයනයට අනුව එළිදරව් වූ කාරණයක් වූයේ අවුරුදු 18-34 වයස් ප්‍රමාණවල සිටින්නා වු කාන්තාවන් මේ ආකාරයෙන් ණාත්මක සිතිවිලිවල පැටලීමෙන් පීඩාවට පත්වීමේ සාමාන්‍ය මසකට දින 4.9 වන බවයි. දළ වශයෙන් මසකට දින පහක් යැයි අපට එය ගණන් ගත හැකිය. පිරිමින් පිළිබඳව ද එකී අධ්‍යයනය එලෙසින්ම සිදු කරන ලදී. එහි සාමාන්‍යය වූයේ මසකට දින 3.6 වශයෙනි.

ස්නායුවේදය පිළිබඳ විද්‍යාඥයකු වන ආචාර්ය රික් හැන්සන් මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළ චරිතයකි. Wellspring Institute for Neuroscience and contemplatire Wisdom හි පුරෝගාමියා මෙන්ම ප්‍රසිද්ධ ‍ලේඛකයකු ලෙස ද ගැනෙන ආචාර්ය රික් ණාත්මක සිතිවිලි හා මිනිස් මොළය ගැන කල්පනා කරන්නේ මේ අන්දමිනි.

“අපේ මොළය හා ස්නායු ක්‍රියාකාරිත්වය වඩා බර හොඳ පැත්තට වඩා නරකටයි. ඉතා ඉක්මනින් ණාත්මක දේ හඳුනාගන්නටත් එය අලවාගන්නටත් මොළයට පිළිවන්. මම ඒ ගැන සරල උදාහරණයක් පෙන්වන්නම්. හිතන්න ඔබ ගුරුවරයෙක් හරි දේශකයෙක් හරි කියලා.  ඔබ ඉදිරියෙන් සිටින පිරිස අතර අසහනයෙන්, කනගාටුවෙන් සිටින මුහුණක් ඔබට වහා අඳුනාගන්න පුළුවන්. ඔවුන්ගේ මුහුණ කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්ව පෙන්වන කැඩපත. ඔවුන් මේ හැඟීම නිසා කෝපාවිෂ්ට වෙලා ද පලායන්න ලැහැස්ති වෙලාද කියලා ඔබට පහසුවෙන් කියන්න පුළුවන්. ධනාත්මක සිතිවිලි අපේ හිතට ඇලෙන්නේ නැහැ කියන එක ‍නෙවෙයි මං මේ ඉස්මතු කරන්න හදන්නේ. හැබැයි ඒකට අපි හිතාමතා වෙහෙසෙන්න ඕනෑ. ඒත් මොළය ණාත්මක සිතිවිලි අප නොදැනුවත්වම ඉතා ඉක්මනින් අල්ලා ගන්නවා.”
මේ සියලු කාරණා සිදුවන්නේ ඇමිග්ඩලාව (Amygdala) හරහාය. එය සත්තකින්ම මොළයේ එලාමය (සීනුව) යැයි කිවහොත් නිවැරදිය. එහි නියුරෝන ප්‍රමාණයෙන් තුනෙන් දෙකකටත් වඩා ප්‍රමාණයක් මග බලා හිඳින්නේ නරකක් අල්ලාගන්නටය.

නොඑසේ නම් ණාත්මක බවට මුල්තැන (Primed to go Negative)  දෙමිනි. අප ලැබූ ණාත්මක, කටුක, හිත් පාරවන අත්දැකීම් ලහිලහියේ එහි සටහන් වෙයි. තැන්පත් වෙයි. ධනාත්මක, යහපත්, සුබවාදී සිතිවිල්ලක් කෙටි කාලීන මතකයේ සිට දීර්ඝ කාලීන මතකයට හැරවීමේ ක්‍රියාවලිය සඳහා ගතවන්නා වූ කාලය ණාත්මක අයහපත් හෝ අසුබවාදී සිතිවිල්ලක්, අත්දැකීමක් එසේ හරවන්නට මොළයට අවශ්‍ය වන්නා වූ කාලයට වඩා වැඩිය.

මීළඟට අවධානය විය යුත්තේ මෙකී අසුබවාදී සිතිවිලි මොළය තුළ ඇති කරන වෙනස්කම් මොනවාදැයි පැහැදිලි කර ගැනීම ගැනය. වරක් ණාත්මක හැඟීමක් මොළයෙහි ගතහොත් එය විටින් විටම විවිධ අවස්ථාවන්වල දී ඉස්මතු වීම එහි ඇති ප්‍රධානතම ලක්ෂණය. එය ඉතා පහසුවෙන් ස්වයංක්‍රියව සිදුවන්නකි. අනෙක් අතට එකී අත්දැකීමට කෙලෙසින් හෝ සබඳකමක් නොමැති සුළු සිදුවීමක දී පවා ඉහත කී අසුබදායක සිතිවිල්ල ක්ෂණිකව ඉස්මතු වෙමින් ණාත්මක සිතිවිලි ජාලාවක අප අතරමං කරන්නට මේ තත්ත්වය හේතු වෙයි.

එය අපගේ සෞඛ්‍යයට එතරම් හිතකර තත්ත්වයක් නොවේ. මේ ඇදබැඳ ගැනීම, වැමෑරීම අපගේ චිත්තවේග, මතකය හා හැඟීම් පිළිබඳ නියුරෝන ව්‍යුහවලට හානි කරන්නට සමත්ය. බාගවිට අපගේ පීඩනය හෝ තැවිල්ල මුළුමනින්ම පාහේ හිතින් මවාගත් (hypothetical) කාරණයක් ගැන විය හැකි නමුත් ඇමිග්ඩලාව හා තැලමසය (the amygdala and the thalamus)  ඒ කාරණාව හඳුනාගැනීමට අසමත්ය.

ඒවාට එකී සිතිවිල මනඃකල්පිත ද නැද්ද යන්න හඳුනාගැනීම අවශ්‍ය නැත. ඒ වෙනුවට විටින් විටම වඩා තදබල ලෙස එය ඉස්මතු කරමින් අන්තයේ දී එකී උපකල්පන හැබෑ ඇත්තක් යැයි අපගේ මොළයට පත්තියම් කරමින් ක්‍රියාත්මක වෙයි. එය ඉතා හානිකර තත්ත්වයකි. පදනම් විරහිත හෝ පදනම් සහිත සැකය සරල සිද්ධීන් අනවශ්‍ය ලෙස විශ්‍ලේෂණය කොට දික්ගස්සවා ගැනීම, ආත්ම විශ්වාසය බිඳගැනීම වැනි කාරණා සරලව ආරම්භ වුවත්, මෙකී ක්‍රියාකාරිත්වය නිසා අන්තයේ දී මහත් ව්‍යසනවලට මුහුණ දෙන්නට යමෙකුට සිදුවන්නට පුළුවන.

කෝර්ටිසෝල් (Cortisol) යනු හි‍පොකැම්පසයේ හටගන්නා වූ හෝමෝනයකි. නව මතකයන් ඇතිකිරීමෙහි ලා උදව් වන්නේ මෙකී හෝමෝනයයි. සාමාන්‍යයෙන් Cortisol ක්‍රියාකාරිත්වය අධිකව දකින්නට හැකි වන්නේ පෙරවරුවේයි. එහෙත් Cortisol හෝමෝනය ණාත්මක සිතිවිලි සම්බන්ධ වැඩි වශයෙන් නිපදවෙන්නට පටන්ගතහොත් එය යටපත් කොටගෙන නව මතකයක්, සුබවාදී සිතිවිල්ලක් ඇතිකර ගැනීම ඉතා අපහසුය. යමෙකු යම් දෙයක් පිළිබඳව සිතා ඉන්නා ආකාරය වෙනස් කරන්නට අපහසු මේ කාරණය නිසා යැයි කිව හැකිය. කොපමණ එකී මනඃකල්පිත හෝ අසුබවාදී සිතිවිල්ල යටපත් කරන්නට උත්සාහ කළත් ඉතා සුළු සිදුවීමක දී පවා ඒ සියල්ල පෙරළා දමා එකී ණාත්මක සිතිවිල්ලම ඉස්මතු වීම බලවත් ගැටලුවකි.
ආචාර්ය හැන්සන් මේ සම්බන්ධව අපූරු කියමනක් ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ ඔබ සිතන පතන ආකාරයට අනුව මොළය හැඩගැසෙන බවකි. (The brain takes its shape from what the mind rests upon) එය තවත් පැහැදිලි කරගතහොත් අපේ අත්දැකීම් හා සිතිවිලිවලට නව synapse (නියුරෝන අතර සබඳතාව ඇති කරන්නා වූ නියුරෝන අතර සංඥා හුවමාරුවට උදව් වන්නා වූ) ජනනය කරන්නට හා වර්ධනය කරන්නට පුළුවන. එය අන්තයේ දී අපගේ ජාන ද මොළයේ ව්‍යුහය ද වෙනස් කරන්නට තරම් බලවත් විය හැකිය.

ණාත්මක සිතිවිල්ලකට ගොදුරු වීම අභාග්‍යයකි. මන්ද යත් ඒ මත පාලනයක් ඇතිකර ගැනීම ඉතා අපහසු කාරණයක් වන බැවිනි. එකී අපහසුව, සිතිවිල්ල විටින් විටම ඕනෑම වේලාවක ඉස්මතු කරන්නට මොළය සූදානම්ව සිටින නිසාය. එබැවින් අසුබදායී සිතිවිලි ගැන වඩා විවෘතව කල්පනා කිරීම හා ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදුවන අසුබදායී හා අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳ සැක ඉවත් කළ තීන්දුවකට පැමිණීම වැදගත්ය. එසේ නොවන්නේ නම් කිසිදා මිදෙන්නට නොහැකි ණාත්මක සිතිවිලි ගොන්නකින් අපේ ජීවිත වැසීයනු නියතය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.