Header Ads

මගේ කාලයේ සතුටින් සිටි කාන්තාවන් මේ ආණ්ඩුව නිසා දුකට පත්වෙලා.


'සුරකිමු අම්මා' තේමාවෙන් මේ රටේ අම්මාවරුන් සුරකින්න ගත් තීන්දුව මුළු ලෝකයම සුරකින්න ගත් තීරණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පෙරේදා (07දා) විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් රැලියට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවැසුවේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

ලෝකයේ කාන්තා දිනය සමරන්නේ මාර්තු 08 වැනිදා. 1909 වසරේ ඉඳලා ලෝකයේ හැම රටකම කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පමණක් නොවෙයි ඔවුන්ට වන අසාධාරණය පිළිබඳවත් හඬ නඟන්න තිබෙන අවස්ථාවක් තමයි මේ කාන්තා දිනය. කාන්තාවන්ට තිබෙන පීඩනය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනෑ නැහැ.
ඒ පීඩනයට පත්වෙලා ඉන්න ඔබ එකතු වෙලා 'සුරකිමු අම්මා' කියලා තේමාවක් යොදාගෙන මේ හඬ නඟා කියන්නේ හැම කාන්තාවක්ම අම්මා කෙනෙක් කියලා. කාන්තාව සහ හිරුඑළිය නිසා තමයි මේ ලෝකය පවතින්නේ කියලා කියමනක් තිබෙනවා.

අපි ආරක්‍ෂා කරන්න කටයුතු කරන්න ඕන කාන්තාව පිළිබඳ වගකීම තමයි අද මේ ලෝකෙටම හඬගා කියන්නේ. කාන්තාව ලක්වන හිරිහැර අපි දන්නවා. 2005දී මම බලයට එන විට මේ රටේ කාන්තාවෝ පුදුමාකාර පීඩනයකට ලක්වෙලා හිටියේ. තමන්ගේ දරුවෝ නැවත ගෙදර එයිද කියලා බයේ මඟ බලාගෙන සිටියේ. දරුවා පාසලට යවලා, නැවත පාසල ඇරෙන තෙක් ඔවුන් පාසල ළඟ මුර කළා.

හැම පැත්තෙන්ම ඔවුන්ව පීඩනයට පත්වෙලා හිටියේ. ඒ යුගයේ තිබුණු මර්දනයේ ප්‍රතිඵල අදත් දකින්න තිබෙනවා. ඔබව බියෙන් මුදලා යම් විශ්වාසයක් ඇති කළා. බය නැතිව දරුවන්ව පාසල් යවන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. එහෙත් අද ඒ පරිසරය නැතිවෙමින් තිබෙනවා. අද හාල් සේරුවේ මිල වැඩි වන විට ජීවන වියදම ඉහළ යන විට කුස්සියේ ලුණු පොල් කටුවේ මිල රුපියල් 100ට වැඩිවෙන විට ඒක දැනෙන්නේ වෙන කාටවත් නෙවෙයි අම්මට. ඔවුන් අද ඒ පීඩනය විඳිනවා.

මෙතෙක් කල් තමන්ගේ දරුවත් එක්ක තුන්වේලම කෑව අම්මලා අද එක වේලක් කාලා තමන්ගේ දරුවව සනසනවා තේ කෝප්පයක් දීලා. මේක තමයි ගමේ ඇත්ත. මේ පීඩනය ආණ්ඩුවට දැනෙන්නේ නැහැ. කාන්තාවෝ අවුරුදු ගණනක් දුක් වින්දා එල්.ටී.ටී.ඊ. එක නිසා. දැන් දුක් විඳිනවා මේ ආණ්ඩුව නිසා, මේ පීඩනයෙන් මුදාගන්න ඕන.
මම දැක්කා බෝඩ් එකක් එල්ලගෙන යනවා. එදා යුනිෆෝම් දුන්න අද දෙනවා කූපන් කියලා. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස. කූපන් නැති වුණාට කේ‍රා්ටන් කොළයි, කොස් කොළයි තියෙනවානේ. මේ පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. කාන්තාව හා දරුවා පිළිබඳ වගකීම වගේම ඔවුන්ව ආරක්‍ෂා කිරීම ඇතුළු රටේ හැම දෙයක්ම මේ ආණ්ඩුව එක එක්කෙනාට භාර දෙනවා. රට විකුණනවා. විරැකියාවෙන් තරුණ තරුණියන් සහ කාන්තාවන් පෙළෙනවා. මේ කාන්තා දිනය හෙට තමයි සමරන්න තිබුණේ. එහෙත් ආණ්ඩුවෙන් ඉඩකඩ ලබා නොදුන් නිසා මෙහෙම හරි තියාගන්න ලැබුණා.

මේ රටේ නීතිය සකස් වෙන්න ඕන කාන්තාවට සිදුවන පීඩනය නැති කරන්න. දූෂණය, අපචාර නැති කරන්න වඩා හොඳ සමාජයක් ඇති කරන්න වගකීමකින් කටයුතු කරන්න ඕනෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය: වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අත්කරලා තියෙන ඉරණම කුමක්ද? රත්නපුර දිස්ත්‍රික්කයේ අෑත එපිට ගම්මානවල මිනිසුන් එක්ක දේශපාලනය කරන විට ශ්‍රී ලංකාවේ සුවහසක් අම්මාවරුන්ගේ වේදනාව දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට මටත් දැනෙනවා.

එහෙත් මේ ආණ්ඩුව කාන්තාවට අත්කරලා තියෙන ඉරණම පිළිබඳ අවධානය යොමු කරන විට මට කල්පනා වෙන්නේ මාලිනී බුලත්සිංහල මහත්මිය ගැයූ 'රජ මැඳුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි අම්මේ' කියන ගීතය.

ඒකේ පද අතර තියෙනවා 'ඉඳහිට මොලවන ළිපත් දනී, ලුණු රස සුනු සහලේ - දිව බොජුනක් සේ දිවගා ඇල්මෙන් අකුරට දිව යන්නේ' කියලා. අද අපේ දරුවන්ට සුනු සහල් කැඳවත් නැහැ. කේ‍රා්ටන් කොළ තමයි දැන් කන්න කියන්නේ. යස අගේට මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේ පොඩි දරුවට ලබාදුන්න පාසල් නිල ඇඳුම වෙනුවට අද වැරහැලි අන්දවලා දරුවන් පාසල් යවන තත්ත්වෙට වෙනසක් ඇති කළේ මේ රටේ මිනිස්සුම තමයි.

රටේ හාල් නැති වෙන කොට ඊට හේතුව ඉඩෝරයට පවරලා අපේ දරුවන්ට කේ‍රා්ටන් කොළ මැල්ලුම් හදලා කන්න කියලා උන්ගේ දරුවන්ට බේකන් කන්න වෙනස ඇති කළේ මේ රටේ මිනිස්සු.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ මුළු ලෝකයේම ආර්ථිකය කඩන් වැටුණා. ලෝකේ තෙල් අර්බුදයක් ආවා. සහල් අර්බුදයක් ආවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ මහා යුද්ධයක් තියෙද්දී හඳෙන් හරි හාල් ගෙනාව අප්පච්චි ඉවත් කරලා මේ හිවල් රැල පාලනයට ගේන්න මුල් වුණේ අපේ රටේ මිනිස්සුම තමයි.

දරුවට රුපියල් 10,000ක දීමනාවක් දෙනවා කිව්වා. එහෙත් ඒක ලැබිලත් නැහැ. කාන්තාවන් වෙච්ච අපි ඕනෑම කෙනෙක් කැමැතියි ආභරණ අඳින්න. මේ ආණ්ඩුව බලයට එන්න කාන්තාවන්ගේ මේ ආසාවත් මැතිවරණ පොරොන්දුවලට දැම්මා. රත්තරන් බඩුවල පොලිය ඉවත් කරනවා කියලා. මේ රටේ රත්තරන් බඩු උකස් කරලා ඔළුවේ ලොකු බරක් තියාගෙන ඉන්න අම්මගේ සංවේදී හැඟීම් එක්ක මේ කාලකණ්ණි දේශපාලනඥයෝ සල්ලාල දේශපාලන සෙල්ලමක යෙදුණා.

ගැබිනි මවුවරුන්ට දෙනවා කිව්වා රුපියල් 20,000ක දීමනාවක්. දැන් රෝසිත් නැහැ. පෝෂණ මල්ලත් නැහැ. පළමුවැනි දරුව ලැබෙන්න ඉන්න මවුවරුන්ට බලෙන් උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න කියලා මේ ආණ්ඩුව යම් උත්සාහයක් දරනවා දැක්කා. මානව හිමිකම් ගැන හොර වෙස්මූණ දාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහලාට අපේ කාන්තාවන්ගේ මානව හිමිකම් ගැන කැක්කුමක් නැහැ.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා කියන්නේ දරුවන් තුන්දෙනකුගේ පියෙක්. මහින්ද ජනාධිපතිතුමා තුළ මාතෘත්වය පිළිබඳ තිබෙන ගෞරවය රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ නැති බව වික්‍රමසිංහ මැතිනිය දන්නවා. වයසක අම්මලා මහින්ද රාජපක්‍ෂ මහත්තයාව සිප වැලඳ ගන්නේ ඔවුන්ගේ ආත්මයම නිදහස් කළේ එතුමා කියලා දන්න නිසයි. තමන්ගේ ඇකේ ඉන්න දරුවා එතුමා අතට දෙන්න අපි දැකලා තියෙනවා අම්මලා පොර කකා එන්නේ. ඒ ඔබතුමා තුළ තිබෙන දාරක ස්නේහය ගැන දන්න නිසයි.

කාන්තාවන්ට ලැබිය යුතු ගෞරවය ප්‍රතිපත්තිමය ලෙස ඔබගේ ආණ්ඩුවෙන් සිදුකළා. හැබැයි වික්‍රමසිංහ මහත්තයට එහෙම දේවල් ගැන කිසිම හැඟීමක් නැහැ. එයා දන්නේ සාගල ගැන, සාගල දන්නේ, අකිල ගැන, අකිල දන්නේ මංගල ගැන, මංගල දන්නේ රනිල් ගැන. මේ එක්කෙනෙක්වත් කාන්තාවන් ගැන දන්නේ නැහැ. කාන්තාවකට මාතෘත්වය පිළිබඳ තිබෙන අභිමානයවත් මේ අය දන්නේ නැහැ. මාතෘත්වය ගැන නොදන්න අය මාතෘභූමියට ඕන කරන්නේ නැහැ.

මේ වීර දියණියන්ට මවුවරුන්ට ආරාධනා කරනවා ආණ්ඩුව පෙරළන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා.

මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර: අපේ ජීවිතවල වටිනාකම ලබාදෙන්න කටයුතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතා. දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවන අවස්ථාවට අද කාන්තාවෝ පෙළගැහිලා ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශි්‍රයානි විජේවික්‍රම මහත්මිය: බලයේ සිටින මේ අය අද කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නයි කටයුතු කරන්නේ.

ලංකා සම සමාජ පක්‍ෂයේ සබරගමුව පළාත් සභා මන්ත්‍රිනි වත්සලා ජනාදරී මහත්මිය: ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් කියලා තිබුණා කාන්තාවන් වෙන අපි මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඉන්නේ එතුමාගේ උඩු රැවුලටයි හමේ පාටටයි ආකර්ෂණය වෙලා කියලා. එහෙත් ආසියාතික කාන්තාව එතරම් බොළඳ නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ප්‍රියංකා කොතලාවල:

පරණ පිනක් ඉහේ කඩා වැටිලා අගමැතිකම ලැබුණු වික්‍රමසිංහ මහත්තයත්, මේ ආණ්ඩුව පත් කරන්න එන්.ජී.ඕ. අයත් එක්ක එකට එකතු වෙලා පක්‍ෂය පාවා දුන්න ජනතා විමුක්ති පෙරමුණත් කොහේ හරි කාන්තා දිනය සමරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ සංසදයේ කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය: මුල්තැන දුන්නේ අම්මාටයි. දරු පැටියාගේ අනාගතය වෙනුවෙන් මවට අවශ්‍ය සහන ලබා දුන්නා. එහෙත් මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර කාන්තාවන්ට ලබාදුන් පොරොන්දු බොරු පොරොන්දු බවට පත්වී හමාරයි. වෙච්ච පොරොන්දු කිසිවක් ඔවුන්ට ඉටු කරන්න බැරිවෙලා තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.