Header Ads

හිමාලි සෙන්සේෂන් වැඩ අප්‍රේල් වෙනකම් නතර කරලා...


හිමාලි මේ දිනවල හොඳටම නටනවා නේද?

හිරු මෙගා ස්‌ටාර් වේදිකාව හින්දා වැඩ. ඒකේ තමයි මගේ උපරිම දක්‍ෂතා පෙන්වන්නේ.

කාලෙකට පස්‌සේ රියෑලිටි වැඩසටහනකට එක්‌වුණ හින්දා වෙනස්‌ම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?

ඔව්. මීට කලින් මෙම වෙනත් නාලිකාව රියෑලිටි වැඩසටහනක විනිසුරුවරියක්‌ විදිහට කටයුතු කළා. හැබැයි මේක මගේ පළමු රියෑලිටි වැඩසටහන. මට වෙනස්‌ම විදිහේ නර්තන ශෛලියන් පෙන්වන්න අවස්‌ථාව ලැබුණ හින්දා වෙනස්‌ම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා.

විනිසුරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සාධාරණද?

මේ තරගයට ඉදිරිපත්වෙන කොට විනිසුරුවන් කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් මම ඔවුන් දැනගත්තත් නැතත් ඔවුන් දෙන විනිශ්චය සමග වැඩකරනවා කියලා මුලදීම තීරණය කළා. ඔවුන් දෙන විනිශ්චය ඕනෑ එකක්‌ මම භාරගන්න සූදානම්. හොඳ දෙයක්‌ කළොත් අපිට හොඳ ප්‍රතිචාර ලැබෙයි.

පිරිසක්‌ සමග එකට වැඩකරනකොට මත ගැටුම් එහෙම ඇතිවෙලාම නැතිද?

අම්මෝ තියෙනවා. ඇත්තටම අපි ගෞරවයෙන් හිතාගෙන හිටපු අය හරිම වෙනස්‌ කියලා මේ තරගය හරහා හඳුනාගත්තා. සුහදයි කියලා හිතපු අයගේ කිසිම සුහදත්වයක්‌ නැහැ. සුහද නැහැ කියලා හිතපු අය සුහදයි. ඒක නොහිතපු විදිහට වෙනස්‌වුණා. මතගැටුම් නැත්තේම නැහැ. මොකද මේක තරගයක්‌නේ. එකිනෙකාගේ අදහස්‌ වෙනස්‌ හින්දා අනිවාර්යයෙන්ම මතගැටුම් තියෙනවා. නමුත් ඒවා අභියෝගයක්‌ කරගන්නේ නැතිව කණ්‌ඩායම වෙනුවෙන් හොඳ ශක්‌තියක්‌ දෙන්න තමයි සූදානම.

අභියෝගයක්‌ තියෙන්නේ කාගෙන්ද කියලා කෙලින් කියන්න පුළුවන්ද?

නර්තනයෙන් මට එහෙම අභියෝගයක්‌ නැහැ. ගොඩක්‌ වෙලාවට අපි අපේ කණ්‌ඩායමේ අයම තමයි අභියෝගයක්‌ කරගත්තේ. අනෙක්‌ කණ්‌ඩායම් අභියෝගයක්‌ කරගත්තේ නැහැ. ඒක හින්දා තමයි ශාක්‍යයන්ස්‌ කණ්‌ඩායම ඉදිරියෙන්ම ඉන්නේa.

සමහර ප්‍රවීණ නිළියෝ තමන්ගේ තත්ත්වයට මදිපුංචිකමක්‌ කියලා රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධවෙන්නේ නැහැ නේද?

ඒක එකිනෙකාගේ කැමැත්ත. තව කෙනෙකුට එහෙම හිතෙන්නේ පුළුවන්. නමුත් මට එහෙම හිතුණේ නැහැ. දක්‍ෂතාවය තියෙනවා නම් මට එහෙම ප්‍රශ්නයක්‌ නැහැ. අපේ දක්‍ෂතාවය පෙන්වනඑක මම නම් මදිපුංචිකමක්‌ කියලා හිතන්නේ නැහැ.

රියෑලිටි හින්දා සෙන්සේෂන් වැඩ අතරමග නැවතිලා කියන්නේ ඇත්තද?

නැවතිලා නෙමෙයි. මම මේ වැඩසටහනට එනකොටම මට ඕනෑවුණේ තරගයට උපරිම දායකත්වය ලබාදෙන්න. සෙන්සේෂන් වැඩ විතරක්‌ නෙමෙයි මගේ නර්තන පන්ති කටයුතු පවා නවත්වලා තියෙන්නේ. මොකද වැඩගොඩම බදාගෙන කරන්න බැහැනේ. නර්තන කණ්‌ඩායමේ වැඩකටයුතු අප්‍රේල් වෙනකම් නැවැත්තුවා. ඒ වෙනකම් කිසිම ප්‍රසංගයක්‌ භාරගන්නේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි රංගන කටයුතු පවා නතර කළා.

කොච්චර කාලයකටද මේ වැඩකටයුතු නතර කළේ ?

අප්‍රේල් මාසය වෙනකම් නතර කළා. මේ තරගයේ අවසන් මහා තරගයෙන් පසුව නැවත මම වැඩ පටන්ගන්නවා. මොකද මේක ලොකු වගකීමක්‌.

සැමියා වැඩකරන නාලිකාවෙන් ආරාධනාවක්‌ ලැබුණ හින්දාද මේ වැඩේ භාරගත්තේ ?

නැහැ. ඇත්තම කිව්වොත් මේ වැඩසටහනින් ආරාධනාව ලැබෙනකොටත් ඔය කාරණාව බලපායි කියල මම ඒ වෙලාවෙත් හිතුවා. නමුත් අඩුම තරමේ මගේ ටෙලිනාට්‍යයක්‌වත් හිරු ටීවී නාලිකාවේ විකාශනය වෙලා නැහැ. සමහරුන්ට එහෙම කියන්න පුළුවන්. මගේ දක්‍ෂතාවය දැකලා තමයි ඔවුන් මට කතාකළේ. මම ඉදිරිපත් වුණේ හිරු ටීවී ආයතනය ගැන ලොකු විශ්වාසක්‌ ඇති නිසායි. අනික මේක හොඳ වැඩක්‌.

සැමියා සෙනෙෂ් නටන කරන වැඩවලට කැමැතිද?

ඔව්. එයා එක්‌ක මම සම්බන්ධතාවය පටන්ගන්නකොටම නර්තන ශිල්පිණියක්‌ වගේම රංගන ශිල්පිණියක්‌. අනෙක්‌ කාරණාව මම මේ ක්‍ෂේත්‍රයේ හොඳට නමක්‌ තියාගෙන ඉන්න චරිතයක්‌. ඒක හින්දා ඔහුගෙන් මට කිසිම බලපෑමක්‌ නැහැ. වැඩතෝරාබේරාගෙන කරන්න කියලා කියන්නේ.

රඟපෑමට ඔහුගෙන් සීමාවන් වැටෙනවාද?

නැහැ. ඔහු මගේ දේවල්වලට ඇඟිලි ගහලා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා නීතිදාන්නේ නැහැ. හැබැයි සීමාවන් තියෙනවා.

සැමියා වැඩකරන්න එපා කියපු නළුවෝ නිළියෝ එහෙම ඉන්නවාද?

අයියෝ නැහැ.

රඟපෑමට සීමාවන් ඕනෑමද?

අපි කරන්න කැමැති අකැමැති දේවල් තියෙනවා. ඒකත් එක්‌ක තමයි ඔය සීමාවන් කියන දේවල් පැනවෙන්නේ. ඒක මම විසින්ම පනවාගත්තු දෙයක්‌. නමුත් යම් යම් සීමාවන් මගේ තියෙනවා.

රන් සයුරට ලැබෙන ප්‍රතිචාර?

ලොකු ප්‍රතිචාර තවම නැහැ. චිත්‍රපටයක්‌ විදිහට ගත්තහම බයිස්‌කෝප් සංකල්පය තියෙනවා. ධීවරයන් වෙනුවෙන් කතා කරන චිත්‍රපටයක්‌. චිත්‍රපටය තිරගත වෙලා සුමානයක්‌ විතර වෙන හින්දා දැනට ලොකු හාහූවක්‌ නැහැ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.