Header Ads

කෝටි ගණන් ගසා කෑ නිමාවින් හිමිකරු රිමාන්ඩ් කරයි


නිමාවින් හවුසින් ඩිවලොපර්ස් ආයතනයේ හිමිකරු දුමින්ද ලංකා ලියනගේ නැමැත්තා කිසිදා ඉදිනොවන මනොස්කල්පිත මහල් නිවාස සංකිර්ණයක් මවා පා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක් වංචා කළ බව කියන චෝදනාවට බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ඔහුට අයත් සුඛෝපභෝගී නිවසේ සැඟවී සිටියදී කොළඹ වංචා විමර්ශන අංශය මගින් පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව ඊයේ (21) වන විට වංචා විමර්ශන අංශයට පැමිණිලි 43ක් ලැබි ඇති අතර එම පැමිණිලිවලට අනුව වංචා කළ මුදල රුපියල් තුන්කෝටි හතළිස් දෙලක්ෂය ඉක්මවන බව ‍පොලිසිය කියයි.

මට්ටක්කුලියේ අක්කර පහක ඉඩමක මධ්‍යම පාන්තිකයන් සඳහා තට්ටු විස්ස බැගින් වූ කුලුනු පහක නිවාස තුන්දහස් දෙසියයක් ඉදිකිරීම සඳහා සැලසුම් කර එක් නිවසකට පහළොස් ලක්ෂ අසූදහස බැගින් මිල කර විකිණීමට මුදල් ලබාගෙන ඇත.

රුපියල් පන්දහසක් ගෙවා අදාළ නිවස වෙන් කර ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක්ද, මාසිකව රුපියල් 25000 බැගින්ද ලබාගෙන ඇත. එම නිවාස සඳහා බදු ගිවිසුම අනුව 2016 දෙසැම්බර් 26දා නිවාස ඉදිකර භාරදීමට නියමිත විය.

එසේ වුවද මෙම සැකකරු මට්ටක්කුලියේ ඉඩමේ අක්කර දෙකහමාරකට විකිණුම් ගිවිසුමක් ගසා එම ඉඩම අවට ඇති ඉඩම්ද පෙන්වමින් අක්කර පහක මෙම නිවාස ඉදිකර දෙන බව පෙන්වා දී ඇත. මෙහිදී විකුණුම් ගිවිසුමට අනුව තමාට රුපියල් මිලියන 390ක් ලබා දෙන බව කියා ලක්ෂ එකසිය දහයක් පමණක් ගෙවා බදු ගිවිසුම කඩ කළ බවට සැකකාර නමාවිත් හවුසින් ඩිවලොපර්ස් ආයතන ප්‍රධානියාට එරෙහිව මට්ටක්කුලියේ ඉඩම් හිමිකරු සිවිල් නඩුවක්ද පවරා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. නිවාස ව්‍යාපෘතිය සඳහා අක්කර පහක ඉඩම පෙන්වුවත් සැකකරුගේ නමට එම ඉඩමෙන් පර්චස් සියයක් මිලදී ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

මෙම නිවාස ව්‍යාපෘතිය කරගෙන යන බව පෙන්වා මුදල් ලබාගෙන ඇති නමුත් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා කිසිදු පළාත් පාලන ආයතනයකින් අවසර ගෙන නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරු නිවාස වෙනුවෙන් ගෙවූ මුදල්වලින් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යවල පුවත්පත් දැන්වීම් පළ කිරීමට පමණක් රුපියල් කෝටි දෙකක් වැයකර ඇති බවද හෙළි කර ඇත.

මට්ටක්කුලියේ නිවාස ව්‍යාපෘතියට අමතරව නිට්ටඹුව හා හොරණ ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති සඳහා ජාවාරම්කරු මුදල් ලබාගෙන වංචා කළ බවටද පැමිණිලි වංචා විමර්ශන අංශයට ලැබි ඇත.

බස්නාහිර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත වංචා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර මහත්මියගේ පූර්ණ අධීක්ෂණයෙන් වංචා විමර්ශන අංශයේ ඒකක 02 ස්ථානාධිපති ප්‍රධාන ‍පොලස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා ‍පොලිස් කොස්තාපල් විමලසිරි (74943), ‍පොලිස් කොස්තාපල් බන්දුල (70423), ‍පොලිස් කොස්තාපල් ගුණතිලක (81945) යන කණ්ඩායම සමග ගොස් දීර්ඝ කාලයක් ‍පොලිසියට වසන් වී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශනවලින් පසුව අලුත්කඩේ අංක 01 උසාවියට ඉදිරිපත් නළ පසුව ලබන 29 වැනිදා දක්වා රිමාණ්ඩ් භාරයට පත් කර ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.