Header Ads

නයිට් ක්ලබ් එකෙන් හමුවෙලා පෙම් කරපු නිසා අවසන් ගමන් ගිය වාසනා


ඔයානම් මාර කෙල්ලෙක් තමයි..
අපි කොහේ හරි යමු...

වාසනා කැරෝකේ සමාජ ශාලාවේ රැකියාවට ආවේ මීට මාසයකට දෙකකට පෙරය. ඇය එතැනට ගෙන ආවේ ඇගේ සැමියාය. වාසනා නැතිබැරිකමේ පතුලටම වැටී සිටියාය. මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිව සිටි වාසනා ගේ සැමියා ඇයව මේ තත්ත්වයට ඇඳ දැමුවාය.

වාසනා කැරෝකේ සමාජ ශාලාවේ සිටි ළාබාලම කෙල්ලය. ඒ නිසා ඇයව සෙසු කෙල්ලන් ඇමතුවේ “චුටි” කියාය.

“මම මෙතැනට ඇවිත් තවම සුමානයයි ”

“ඒකනේ මම නිතරම මෙතැනට එනවා... ඒත් ඔයාව මම කලින් දැකලා නැහැ....”

වාසනා මට හමු වූ මුල්ම දවස එදාය. මුලින් මුලින් කෝඩුකාර ගති පෙන්නුම් කළද සතියක් දෙකක් යනවිට ඇය මට වඩාත් කුලුපග වුවාය. ටික දිනක් යද්දී කාටත් හොරා මුණ ගැසෙන්නටත් අපි පුරුදු වුණෙමු.

වාසනාට සමාජය ගැන හරිහැටි අවබෝධයක් තේරුමක් තිබුණේ නැත. ඇගේ ජීවිතය මෙලෙස අගාධයට ඇද දමා තිබුණේ ඇගේ සැමියා වූ නිමල්ය. ඇයට ඔහු මුණ ගැසී ඇත්තේ උසස් පෙළ කරද්දීය. දෙදෙනාගේ ආදරය කෙළවර වුයේ නිමල් ඇයත් රැගෙන පැන යාමෙන් පසුවය.

නිමල්ට හරිහමන් රැකියාවක් තිබුණේ නැත. කොටහේන පැත්තේ මුඩුක්කු ගෙයක සිටි නිමල්ට බොහෝ යාළුවෝ සිටියේය. ඉන් වැඩිදෙනෙකු කුඩුකාරයන් ය. වාසනා ඒ වග දැනගන්නා විට ප්‍රමාද වැඩිය. ඇයට කළ හැකිව තිබුණේ හැම දෙයක්ම ඉවසා දරා ගැනීම පමණි.

“මත්ද්‍රව්‍ය” නිසා නිමල්ට කිහිප වරක්ම වැලිකඩ ද තපින්නට සිදුවිය. ඒ නිසා වාසනා තනි වූවාය. ජීවිතය කළකිරුණාය.

“ඔයා මෙතැන හිටියොත් වැඩිකල් නොගිහින්ම වල් ගෑනියෙක් වෙනවා. මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම්. මම දන්න කියන මහත්තයෙක් ඉන්නවා. තමුසේ එතැන වැඩ කරගෙන ඉන්නවා.”

ඊට පසු දිනම නිමල් ඒ මහත්තයා ළඟට වාසනා රැගෙන ගියේය. ඇය කැරෝකේ රැකියාවට ආවේ එලෙසය.

ළාබාල කෙල්ලක් නිසාදෝ වාසනා සොයා බොහෝ “කස්ටමර්ස්ලා” පැමිණියහ. ඒ නිසා අනෙක් කෙල්ලන් යටි සිතෙන් වාසනාට වෛර බැන්දේ. ඒත් ඒ වගක් වාසනාට කවුරුත් මුහුණට පෙන්නුවේ නැත..

වාසනා මට හමුවුයේ කැරෝකේ එකේදීය. ඒ හමුවීම නිසා අපි පුංචි කාලයක් තුළ පෙම්වත්තු වුයෙමු. මම ඇයට අත දිග හැර විදයම් කළෙමි. ඒ නිසාම ඇය මට බෙහෙවින් ළංවු බව මම දනිමි.

ටික කලක් යද්දී වාසනාට අවශ්‍ය වුයේ හැමදාම මා ඇය ළඟ තබා ගන්නටය. ඇගේ සැමියා සහ මා අතර මිතුරුකමක් ඇතිකරගන්නට ඇයට වුවමනා වූ වාය. ඒත් මම ඊට එකහෙළාම අකැමැති වුයෙමි. ඒ කවදා හෝ එය ප්‍රශ්නයක් වන බැවිනි.

“නැහැ... එහෙම වෙන්නේ නැහැ. මම එයාට ඔයා ගැන කියලා තියෙන්නේ...”

“ඇත්තටම ඔයාට පිස්සුද... ඕක කවදා හරි ලොකු “නඩුවක්. අපි මේ ඉන්න විදියට ඉඳිමු...”

“නැහැ.... අනේ.... එහෙම වෙන්නේ නැහැ. ඔයා බයවෙන්න එපා... “

“හරි... කවදාහරි ප්‍රශ්නයක් වුණොත්...”

“එහෙම වුණොත් මම ඒක බලාගන්නම්.මමයි බය වෙන්න ඕන. ඔයානේ බයවෙලා තියෙන්නේ...”

වාසනා කරන්නට යන්නේ භයානක වැඩක් බව මම දැන සිටියෙමි.

ඒ ඇයට තවමත් ජීවිතය ගැන හරිහමන් අවබෝධයක් නැති නිසා වන්නට ඇත. ඇගේ සැමියාට මා හඳුන්වා දිමෙන් සිදු වන්නේ ප්‍රශ්න වැළක ආරම්භයක් බව මම හොඳාකාරවම දනිමි. ඇගේ පෙරැත්තය නිසා එක් දිනක් මම ඇගේ සැමියා මුණ ගැසුණෙමි.

“නිමල් ...මේ මම අර ඔයාට කිව්ව අයිියා.”

“හා...ඇත්තද ඔයා ගැන වාසනා මට කියලා තියෙනවා. ඔයා ගොඩක් උදව් කරනවා කියලත්...”
ඇගේ සැමියාගේ කතාබහ ඉදිරියේ මම නිරුත්තර වුයෙමි. මද සිනහවක් පා ඔහු සමඟ වචන දෙක තුනක් කතා කරද්දීම ඇය එක්වරම මගේ අත අල්ලා ගත්තාය.

“ඔයා නම් මාර කෙල්ලෙක් තමයි”

“ඇයි...ඒ?...”
“ඔයා එයා ඉස්සරහම මගේ අත ඇල්ලුවේ”

“ආ... ඒකද?”

“ඇයි ඒක ප්‍රශ්නයක් නොවේද?”

“ඕවා ප්‍රශ්නද අනේ....”

වාසනා කියන්නේ කිසිදු බැරෑරැම් කමක් නැතිවය.

මේ කිසි දෙයක බරක් පතළක් ඇයට නොදැනෙන්නේ ඇයි? කෙසේ වෙතත් වාසනා දැන් මගේ පෙම්වතියයි. මම ද ඇයට ආදරය කරමි. අපි අපේම ලෝකයක තනිවුයෙමු.

ටිකෙන් ටික මේ වග ඇගේ සැමියා ද දැනගෙන තිබිණි. ඒත් ඔහු ඊට කිසිදු විරුද්ධත්වයක් නොපෑවේ එක්තරා කාරණයක් නිසාවෙනි.

“එයා කියනවා ඔයාගෙන් සල්ලි ඉල්ල ගන්නලු.”

“ඒ මොකටද?”

“මොකටද ඉතින් කුඩු ගහන්නනේ.”

ඔහු වාසනාට නිතරම මුදල් ඉල්ලා කරදර කරන්නට විය. ඒ නිසා ඔහු සිය කැමැත්තෙන්ම බිරිය මා වෙත එවයි. වරක් දෙවරක් ඇගේ පෙරැත්තය නිසාම මා ඔහු වෙත සුළු මුදලක් යැව්ව ද එය දිගින් දිගටම ඔහු අපේක්ෂා කරන බව මට වැටහිණි.

වාසනාට ඇති ළෙන්ගතුකම නිසා ඇයට පිටුපාන්නට මට නොහැකි විය. එහෙත් සැමියාට මුදල් දෙමින් ඇය මා ළඟ තබාගන්නටද මට අවශ්‍යතාවයක් නොතිබුණි. මෙහි කෙළවරක් තිබිය යුතු බව මම තීරණය කළෙමි.

“වාසනා මේක හැමදාම කරන්න බැහැනේ...”

“ඔව් අනේ.... මටත් එපා වෙලා තියෙන්නේ.... දෙපැත්තෙන්ම තැළෙන්නේ මමයි.”

“ඉතින් ඔයා තීරණයක් ගන්නකෝ.... “
“ඒ මොකක්ද?”

“එක්කෝ ඔයා එයා ළඟ ඉන්න. නැත්තම් මගේ ළඟට එන්න...”

මගේ කතාවෙන් විමතියට පත් වූ ඇය මා දෙස ඇසිපිය නොහෙළා බලා සිටියාය.

“මොකද කියන්නේ..?”

මම ඇගෙන් නැවත වරක් විමසුවෙමි. ඇගේ දෙනෙත් අබියස ඇත්තේ කඳුළුය. ඒ තීරණයක් ගත නොහැකි නිසා බව මම දනිමි.ඒ ඇය මට ආදරය කරන නිසාවෙනි. ඒත් මෙලෙස ජීවත්වීම මට මෙන්ම ඇයට ද වදයකි.

“මොකද කියන්නේ...?”

මම නැවතත් ඇගෙන් විමසුවෙමි.

“එතකොට එයා?”

ඇය හීන්සැරේ කීවාය.

“ඒක තමයි මම කියන්නේ එක්කෝ එයා නැන්තම් මම....”

“එයාට මොකද වෙන්නේ....?”

“මොකද වෙන්නේ. මිනිහා “කුඩු” නේ ගහන්නේ.... අපි එයාව පොලිසියට අල්ලලා දෙමු. “

මම මදක් තරහෙන් කීවෙමි. ඇය ඊට පිළිතුරක් නොදුන්නාය. දවසක් හෝ එකට ජීවත් වූ සිය සැමියා අමාරුවේ දැමීමට ඇය කැමැත්තක් නොදැක්වූවාය.

“නැහැ.... එහෙම ඕන නැහැ.... අපි වෙන කොහේ හරි යමු.”

ඇය දිග සුසුමක් පිට කරමින් කීවාය.

“එතකොට ප්‍රශ්නේ ඉවර වෙයිද?”

මම ඇගෙන් විමසුවෙමි.

“ඔව්...”

“එයා ඔයාව හොයාගෙන එන්නේ නැද්ද?”

“හොයයි. හොයලා හොයලා බැරිම තැන පැත්තකට වෙලා ඉඳිවි...”

“හරි. එහෙනම් ඔයා ලෑස්ති වෙන්න.”

“කොහේ යන්නද?”

“අපේ ගෙදර...”

“එතකොට ප්‍රශ්නේ ඉවරද?”

ඇය මා දෙස බලා ඇසුවාය.

“ඔව්. ඉවරයි.”
මා කිවේ තරහෙනි.

වාසනා මගේ ළඟට පැමිණියේ එළෙසිනි. ඒත් අපිට එකතැන ජීවත් වන්නට වරම් නොලැබිණි. ඊට දින දෙකක් පසුවද්දීම නිමල් ඇය සොයා කැරෝකේ සමාජ ශාලාව වෙත ගොස් තිබිණි.

“මාර වැඩේනේ... වාසනාට පිහියෙන් ඇනලානේ... “

මිතුරකු මට කීවේය. මම පුදුමයට පත්වුණෙමි.

“කවුද?”

“ ඒකිගේ මිනිහා...”

මා දැන් සිටින්නේ කොළඹ මහ රෝහලේ 72වන වාට්ටුවේය. වාසනාට තවමත් පියවි සිහිය ලැබී නැත.

ඇගේ උදරය හරහා එල්ල වූ පිහිපහර නිසා ඇය සිටියේ ජිවිතයත් මරණයත් අතර සටනකය. ඇයට ලේ අවශ්‍ය බව වෛද්‍යවරු කියති. ඊට මම ද ඉදිරිපත් විමි. මට ඕනෑ වුයේ ඇය කෙසේ හෝ බේරා ගැනීමටය.

“පව්... අහිංසක කෙල්ල.”

මට ඇය ගැන ඇතිවුයේ කියා නිම කළ නොහැකි දුකකි.

අනුකම්පාවකි. ඇයට මෙවන් ඉරණමක් අත් කළ ඇගේ සැමියා ඒ වනවිටත් පොලිසිය අත්අඩංගුවට ගෙන සිටියේය.

ඉන් මට ඵලක් නැත. මට ඕනෑ ඇගේ බාගෙට වැසුණු දෙනෙත් විවර කර ගැනිම පමණි. එතෙක් මම ඇය ළඟ සිටිමි. අදින් පසු මම ඇය තනි නොකරමි. මම ද තීරණයකට එළඹියෙමි. ඒත් මොහොතකට පසු ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය. ඒ මා පිස්සෙකු කරමින්ය.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.