Header Ads

රේණු ඔයා මෙතන ඉන්න ඕන නැහැ, ඔයා එන්න මගේ ළඟට, මම එදා වගේම අදත් ඔයාගේ.


කෙල්ලෙක් ඇවිත් අතින් අල්ලලා නටන්න කතා කළා...
මොනවාදෝ මන්දා සුදු පාට කිරි වගේ...
මාව කරකවලා අතහැරියා වගේ...

ජීවිතය හරිම පුදුමාකාරයි. සිතන දේ නොලැබෙන වාර අනන්තයි.

නොසිතෙන දේ ලැබෙන වාරද අපමණයි.රේණු මට හමුවන්නේත් කිසිදා නොසිතූ විදිහටයි.

රේණු ඇත්තෙන්ම හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙල්ලෙක්. අපි දෙන්නා දැන හඳුනගත්තේ දහම් පාසලේදී.

ඉස්කෝලේ අවසන් වසර දක්වාම අපි දෙන්නා හමු වුණා.

අපි දෙන්නා අතර පුංචි හිතවත්කමක් තිබුණා. ඒක හරියට පුංචි ලෙන්ගතුකමක් වගේ.

එත් එයා උසස් අධ්‍යාපනය සඳහා කොළඹට ගියාට පස්සේ මම ගමේ තනි වුණා. 

අපි දෙන්නා ඈත් වුණා. පස්සෙ තමයි මට එයාගේ වටිනාකම දැනුණේ. මම එයා හොයන්න කොච්චර උත්සාහ ගත්තත් එයාව දකින්න කොළඹ යන්න තරම් මට ශක්තියක් තිබුණේ නැහැ. 

මිල මුදල් අතින්වත් අපි එච්චර වත් පොහොසත් අය නෙමේ. 

අපේ අප්පච්චිට තිබුණු කුඹුරු අස්වද්දන එක තමයි මට පැවැරිලා තිබුණේ. අප්පච්චි වයසට යද්දී අප්පච්චිගේ ව්‍යාපාර කටයුතු සේරම බාර වුණේ මට. 

මගේ ඉගෙනීම අතරමඟ නතර වුණේත් ඔය වගකීම නිසාම තමයි.

අප්පච්චි මියගියාට පස්සේ අම්මත් නංගිත් බලාකියා ගන්න එකේ වගකිම මම හොඳින් ඉෂ්ට කළා.

නංගී දීගෙක ගියාට පස්සේ අම්මා මටත් කසාදයක් හෙව්වා. 

අම්මට මහ ලොකුවට ඕන වුණේ අපේ කුලයේම ගැහැනියක් මට කසාද බන්දලා දෙන්නයි.

“දැන් ඕව හරියන්නේ නැහැ අම්මේ...!”

මම නිතරම අම්මට එහෙම කිව්වත් අම්මා “කුල”ප්‍රශ්නය ඇදල ගත්තා. ඒ නිසාම තමයි මට සුදුහාමිනේ කසාද බඳින්න වුණේ. 

එයාලාගේ අප්පච්චිලාත් වංසක්කාර අය තමයි. වංසේ තිබුණට සුදුහාමිනේට හැදිච්චකම ගෑවිලාවත් තිබුණේ නැහැ. ඒ නිසා මම වැඩිපුරම කාලය ගත කළේ බිස්නස් එක්ක...

වැඩිකල් ගියේ නැහැ. සුදුහාමිනේ අපේ ගෙදරින් යන්න ගියා. තවත් සුමානයක් ගියාම අම්ම ගිහින් සුදුහාමිනේව අපේ මහගෙදරට එක්කගෙන ඇවිත් දෙන්නව එකතු කරන්න උත්සාහ ගත්තා. ඒත් ඒ ගමනත් සති දෙකකට තුනකට සීමා වුණා.

“කොහෙද ආව වෙලාවේ ඉඳන්ම බිස්නස්, බිස්නස්. ගෑනියෙක් ඉන්නවා කියලා තඹ සතේකටවත් මේ මිනිහට වැඩක් තියෙනවැයි. අනේ අපේ අප්පච්චිලාත් කරපු මෝඩකමක්. මීට වඩා හොඳයි.... අර කුඹුරේ හිටවපු”

සුදුහාමිනේ කියාගෙන යනවා. මාව තඹයකට මායිම් කරන්නේ නැහැ. කියවලා කියවලා එයාම නතර කර ගන්නවා. අඬනවා.

ඇත්තටම සුදුහාමිනේ නිසා මට මගේ ජීවිතෙත් එපා වුණා. සල්ලි තිබුණට සතුටක් නැහැනේ. මොකටද ඉතින් සල්ලි.

ඔය ඉන්න අතරේ තමයි හදිසි වැඩකට පොල් කඩේ ජයසිරි මුදලාලි මාව කොළඹ එක්කගෙන ගියේ. එදා ටිකක් රෑ වුණ නිසා අපි හිතාගත්තා කොළඹ හෝටලයක කාමරයක් අරගෙන නතර වෙන්න.

“ඒක නෙමේ... කොළඹ ඇවිල්ලා හිස් අතින්ම ගමට ගිහින් වැඩක් නැහැ වරෙන්කෝ හොඳ තැනක් තියෙනවා පෙන්නන්න....”

ජයසිරි මුදලාලි මාව අරගෙන ගියේ පුදුමාකාර තැනකට. කොළඹ ආව ගියත් මම නම් ජීවිතේටවත් මේ වගේ තැනකට ගිහින් තිබුණේ නැහැ. ලස්සන ලස්සන කෙල්ලෝ. මුළු හෝල් එක පුරාම පාට පාට ලයිට්.

“මුදලාලි මීට කලිනුත් මෙතැනට ඇවිත් තියෙනවාද?”

මම මුදලාලිගේ කණට කරලා හිමින් ඇහැව්වා.

“ඕවා පස්සේ කතා කරමු... දැන් හොඳට මෙතැනට ආ ගිය කෙනෙක් වගේ හැසිරියන්”

“ඇයි.... ඒ?”

“නැත්නම් උඔ ගොඩේ එකෙක් කියලා දැනගනීවි...”

මුදලාලිගේ කතාවෙන් මම නිහඬ වුණා. ඩිස්කෝ සංගීතයට නටන කෙල්ලෝ දිහා මම බලා ගෙන හිටියේ ආශාවෙන්. මෙන්න වැඩක් එක කෙල්ලෙක් මාව අතින් ඇදගෙන නටන්න කතා කළා. මට හරිම ලැජ්ජයි.

“යනවා.... යනවා... ගිහින් නටනවා....”

මුදලාලි මට කියනවා. මොන නැටිල්ලක්ද, බයේ බැහැ. ඊට හපන් වස ලැජ්ජාව... ජීවිතේට කරපු දෙයක් ද?

“එන්නකෝ අනේ, ඔයා ගෑනු ළමයෙක් වගේනේ...”

මම කරකවලා අතහැරියා වගේ කරන්න දෙයක් නැහැ මමත් දන්න විදිහට නැටුවා.

“මේකත් ගන්න”

“මේ මොකක්ද?”

“ටිකිලා”

“මොකක්” “ටිකිලා අනේ... ටිකිලා...බොන්නකෝ”

මොනවාදෝ මන්දා සුදු පාට කිරි වගේ. මමත් එක උගුරට බිව්වා. මම ඒ වගේ තුන හතරක්ම බිව්වා. මාව කරකවලා අතහැරියා වගේ... මම ඉන්නේ සුරංගනා ලෝකයක වග මට තේරුණා.

මට මතක එච්චරයි. මට සිහිය එනකොට මගේ ළඟ ගෑනු ළමයෙක් වාඩිවෙලා හිටියා.

“මම මේ කොහේද?”

මම එයාගෙන් ඇහැව්වා. එයා මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා...

“මම කොහේද ඉන්නේ” මම ආයිත් ඇහුවා.

“ඔයාට මාව හඳුනන්න බැරිද?”

“ඔයාව.... බැහැනේ”

“හොඳට බලන්න”

“බැහැ”

“මම රේණු”

“රේණු රේණු... කවුද රේණු”

මම මතකය අවදි කළා.

“දෙවියනේ රේණු... ඔයා කොහේද මේ...”

මගේ අතීත ආදරවන්තිය...

“ඒක මමයි අහන්න ඕන... ඔයා කොහේද මේ කවදාවත් නැතිව“

මම රේණුගේ අත් දෙකම අල්ල ගත්තා.

“රේණු ඔයා කොහේද මේ...?”

රේණු ඒ කතාවට උත්තර දුන්නේ නැහැ. රේණු මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා. මට පියවි සිහිය ආවේ එතකොටයි. 

මම ඊයේ රෑ මෙතැනට ආව හැටිය මතක් වුණා. කෝ ජයසිරි මුදලාලි. මම ඇස් කරකවලා වටේම බැලුවා. මුදලාලි පුටුවකට බර වෙලා හොඳටම නිදි. 
බැරි බරගාතේ ගිහින් මම මුදලාලිව අවදි කරවා ගත්තා.

“ඔයාලා කාපු බීපුවල සල්ලි ගෙවලා නැහැ...”

මම මුදලාලි දිහා බැලුවා. මුදලාලි “ටක්ගාලා” පර්ස් එක ඇදලා බිල ගෙව්වා. මම හිතන්නේ තිස්දාහක් විතර ඇති.

“දැන් ඔයා කොහේද යන්නේ”

රේණු මගෙන් ඇහැව්වා.

“ගමට”

“අනේ ඇයි ඔයා මෙහෙ ඉන්නේ”

මම රේණුගෙන් ඇහැව්වේ දුකෙන්.

“ඒක දිග කතාවක්..ආයෙත් දවසක එන්න මම ඔයාට කියන්නම්.”

“ඇත්තෙන්ම මම එනවා”

“රේණු ඔයා නම් අදත් එදා වගේමයි.

මම කිව්වා. රේණු මගේ අතින් අල්ල ගත්තා.

එයාගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. මම එදා එයාගෙන් සමුගත්තේ හරිම දුකෙන් වේදනාවෙන්.

ඊළඟ සතියේම මම ආයෙත් මුදලාලිත් එක්කම රේණු හිටිය කැරොකේ එකට ආවා. 

එදා අපි දෙන්නා තනි වුණා. මම මගේ ජීවිත කථාව එයාට කිව්වා. එයා එයාගේ ජීවිතය ගැන මට කිව්වා. එයාගේ මහත්තයා ඇක්සිඩන්ට් එකකින් මැරිලා. 

එයා දරුවත් එක්ක තනිවෙලා. දරුවා හදාගන්න මේ රස්සාව කරනවා කිව්වා.

“නැහැ රේණු ඔයා මෙතන ඉන්න ඕන නැහැ. ඔයා එන්න මා ළඟට... මම එදා වගේම අදත් ඔයාගේ”

රේණු අද මගේ ජීවිතේ කොටසක්. රේණුගේ ජීවිතයට යම්තම් එළියක් දෙන්න හරි මට සිදුවුණේ අහම්බෙන්. ඒක තමයි මම මුලින්ම කිව්වේ ජීවිතය හරිම පුදුමාකාරයි. හිතන දේ නොලැබෙනවා... නොසිතන දේ ලැබෙනවා කියලා.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.