Header Ads

දිනේෂ්ගේ පැටිකිරියත් එලියට. බිලියන ගනනක ගැහිල්ලක් හෙලිවේ?


දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ජලාපවහන හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ දී කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා සිදු කළ බව කියන රුපියල් බිලියන ගණනක රාජ්‍ය මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධව චූදිතයකු වී ඇති බව වාර්තා වෙයි.

මේ බව හෙළිව තිබෙන්නේ පසුගිය රාජපක්ෂ රෙජීම සමයේ සිදු වූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විමර්ශනය කරනු ලබන ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශනයකදීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ බ්ලොක් 2 හි ස්ථාපිත කර ඇති එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරන ලෙස 2014-07-23 වන දා පිරිනමන ලද අම්පාර කලවන්චිකුඩියේ බෙදාහැරීමේ ජලසම්පාදන ව්‍යාපෘතියට අදාළව කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා එවකට අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන රුපියල් 3,848,060,758.00 ක මුදලක් අතිරික්තව යොදාගෙන ඇත. ඒ සම්බන්ධව මූලික විමර්ශන සිදු කිරීමේ දී දිනේෂ් ගුණවර්ධනට එල්ල වන චෝදනාව ඉවත් කර ගැනීම වෙනුවෙන් එම මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවේ ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනකුගෙන් උපකාර ඉල්ලා ඇති නමුත් එම අමාත්‍යවරුන් පවසා ඇත්තේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශනයක් බැවින් තමන්ට ඒ වෙනුවෙන් මැදිහත් වීමට ඉඩක් නැති බවය.

අප කළ විමසුමක දී එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ අම්පාර බෙදාහැරීම් ජාල සම්පාදන ව්‍යාපෘතියට අදාළව දිනේෂ් ගුණවර්ධන එවකට අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට එම ව්‍යාපෘතියේ මූලික පිරිවැය ලෙස රුපියල් 3,000,000,000.00 දක්වා සන්පවර් කන්ට්‍රක්ෂන් සමාගම වෙත එය ලබා දීමට මැදිහත් වී ඇති නමුත් එම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් 6,848,060,758.00 ක් පිරිවැය වැඩිකර දී ඇති බවය. ඒ අනුව රුපියල් 3,848,060,758.00 ක මුදලක් වැඩිපුර වියදම් කිරීම සම්බන්ධව ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශනය සිදුව ඇති අතර අතිරික්ත මුදලක් ව්‍යාපෘතිය සම්බන්ධව වියදම් කිරීමට අදාළව අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මැදිහත් වී ඇති ආකාරය සම්බන්ධව ද විමර්ශන කටයුතුවල දී හෙළිව ඇත.

එනම් අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළ ටෙන්ඩර් කැඳවීමේ දී ඒ වෙනුවෙන් රුපියල් බිලියන 4.9ක් වැය වෙන බවට තක්සේරු ඉදිරිපත් වී ඇතත් පසුව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මැදිහත් වී ව්‍යාපෘතිය නිම කිරීමට රුපියල් බිලියන 3 කට හැකි බව පෙන්වා දී ඊට කැබිනට් අනුමැතිය ගෙන ඇත. ඒ හේතුවෙන් වෙනත් කිසිදු ටෙන්ඩර්කරුවකු අදාළ ව්‍යාපෘතියේ ටෙන්ඩරය සඳහා තක්සේරු ඉදිරිපත් කර නැති අතර ඒ හේතුවෙන් සන්පවර් කන්ට්‍රක්ෂන් සමාගම වෙත එම ටෙන්ඩරය ලබා ගැනීමට හැකි වී ඇත.

කෙසේ වුවත් මෙම ටෙන්ඩරය වෙනුවෙන් විකල්ප මිල ගණන් ඉදිරිපත් කළ නොහැකි බව දැනුම් දී ඇති නමුත් තමන්ට සන්පවර් කන්ට්‍රක්ෂන් සමාගම වෙත එම ටෙන්ඩරය ලබා දීමට සිදු වූයේ බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමට බව අවස්ථා කිහිපයක දී දිනේෂ් ගුණවර්ධන විසින් පවසා ඇති බව ද වාර්තා වෙයි. ඒ බව එසමයේ සිටි ප්‍රබල අමාත්‍යවරුන් සමඟ මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සමඟ ද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා ඇති නමුත් ජනාධිපති විශේෂ විමර්ශන ඒකක ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ නිල වශයෙන් මන්ත්‍රීවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බැවින් අදාළ චෝදනාව හමුවේ මන්ත්‍රීවරයා සෘජු වගඋත්තරකරුවකු කිරීමට තමන්ට සිදුව ඇති බවය.

එසේම මේ වන විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ජලාපවහන හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ ව්‍යාපෘති රැසක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධව මූලික දත්ත සහ තොරතුරු තමන් සතුව ඇති බවත් ජනාධිපති විමර්ශන ඒකක ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඊට අනුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා රාජපක්ෂ රෙජීමයේ ජලාපවහන හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අම්පාර කලවන්චිකුඩි ජල ව්‍යාපෘතිය හැරුණු කල ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත වාර්තා වී ඇති මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට සැක කටයුතු ජල ව්‍යාපෘති මෙසේය.

2014-07-23 වන දා කේ.ඩී.ඒ. වීරසිංහ සමාගමට පිරිනමන ලද රුහුණුපුර බෙදාහැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 150,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 1,929,610,730.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර, ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 429,610,730.00 ක් වාර්තා වී ඇත.

2014-07-23 වන දා කේ.ඩී.ඒ. වීරසිංහ සමාගමට පිරිනමන ලද බෙන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 790,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 1,239,477,158.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 449,477,158.00 ක් වාර්තා වී ඇත.

2014-07-23 වන දා ඇක්සස් ඉංජිනියරින් සමාගමට පිරිනමන ලද කොළඹ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 3,000,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල්1,239,477,158.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල්2,170,000,000.00 ක් වාර්තා වී ඇත.

2014-08-16 වන දා සියෙරා කන්ස්ට්‍රක්ෂන් සමාගමට පිරිනමන ලද කොළඹ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය (3වන පැකේජය): ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 4,000,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 10,049,419,008.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 6,049,419,008.00 ක් වාර්තා වී ඇත.

2014-08-14 වන දා ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්ටෝසියම් සමාගමට පිරිනමන ලද අවිස්සාවේල්ල සහ කොස්ගම ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 1,142,145,372.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 1,273,500,775.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 131,355,403.00 ක් වාර්තා වී ඇත.

2014-12-08 වන දා සී.එම්.එල්. සහ හෝවල් සමාගමට පිරිනමන ලද විල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 1,000,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 3,113,413,331.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 2,113,413,331.00 ක් වාර්තා වී ඇත.

2014-12-10 වන දා සී.එම්.එල්. සහ හෝවල් සමාගමට පිරිනමන ලද ලග්ගල නව ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 2,500,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 3,670,969,500.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 1,995,872,150.00 ක් වාර්තා වී ඇත.

2014-10-14 වන දා මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගමට පිරිනමන ලද ගලගෙදර, මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 700,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල්3,064,177,854.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල්2,364,177,854.00 ක් වාර්තා වී ඇත.

2014-12-16 වන දා මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගමට පිරිනමන ලද කොළඹ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය (2 වන පැකේජය).: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 3,000,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 3,663,606,994.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 663,606,994.00 ක් වාර්තා වී ඇත.

2014-11-28 වන දා සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට පිරිනමන ලද මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතිය. ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 1,300,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 1,500,031,008.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 200,031,008.00 ක් වාර්තා වී ඇත.

2014-11-11 වන දා ස්කෙයාර් මෙච් ඉංජිනියරින් සමාගමට පිරිනමන ලද ඌරගස්මංහන්දිය, ගෝනපීනුවල, දික්කුඹුර, වැලිගම ජල සම්පාදන ව්‍යාපෘතිය: ඒ වෙනුවෙන් මූලික පිරිවැය ලෙස රුපියල් 2,850,000,000.00 ක් දක්වා ඇති නමුත් පසුව එය අවසන් කිරීම සඳහා රුපියල් 1,595,263,402.00 ක වැඩිපුර මුදලක් වියදම් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සම්බන්ධව සමස්ත පිරිවැයේ වෙනස ලෙස රුපියල් 1,254,736,598.00 ක් වාර්තා වී ඇත.

ඒ සම්බන්ධව තවදුරටත් අප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව සම්බන්ධව (පසුගිය දා පාර්ලිමේන්තුවේ දී) ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක සිට කටයුතු කරමින් සිටින්නේ අදාළ චෝදනාව අතපසු කර තමන් දේශපාලන පළිගැනීමකට ලක්ව ඇති බව පෙන්වා දීමේ අරමුණෙන් බවය. කෙසේ වුවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ වත්මන් හැසිරීම තම විමර්ශන කටයුතුවලට බාධාවක් නොවන බවත් අදාළ ව්‍යාපෘති සම්බන්ධව මූලික පිරිවැය ව්‍යාජ ලෙස දක්වා රුපියල් බිලියන ගණනක රාජ්‍ය මූල්‍ය සැකකටයුතු ආකාරයකට පෞද්ගලික සමාගම් වෙත ලැබීමට මැදිහත් වීම සම්බන්ධව ඉදිරියේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාව ජනාධිපති විමර්ශන අංශය හමුවට කැඳවීමට නියමිත බව ද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දැඩි ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක සිටින බවට පෙන්වීමට කටයුතු කරමින් සිටින්නේ අදාළ චෝදනා සමාජය වෙතින් වසන් කර, එල්ල වී ඇති චෝදනා විභාග කිරීමේ දී එය දේශපාලන පලිගැනීමක් ලෙස සමාජගත කිරීමේ අරමුණෙන් යුතුව වන බවය.
http://lankaevoice.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.