Header Ads

වගා කිරීමට රජය සතු වතු, අක්කරය බැගින් ජනතාවට..

රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් පාඩු ලබන සියලු වතු වගා කිරීම සඳහා ජනතාව අතර බෙදා දීමට රජය තීරණය කර තිබේ. 

ඊට අවශ්‍ය වැඩපිළිවෙළ සති දෙකක් තුළ සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක් ද පත්කර ඇත. 

අදාළ කමිටුව ඊයේ (29) පෙරවරුවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශයේ දී රැස්විය.

මේ සඳහා අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, ලක්ෂ්මන් කිරිඇල්ල, කබිර් හෂීම්, එස්.බි. දිසානායක, රාවුෆ් හකීම්, අබ්දුල් හලීම්, සරත් ෆොන්සේකා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කමිටුව රැස්ව මෙම වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ. 

මෙම වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් පාඩු ලබන වතු එක් පුද්ගලයකුට අක්කරයක භූමි ප්‍රමාණයක් ලැබෙන සේ ජනතාව අතර බෙදා හැරීමට තීරණය වී ඇත.

එම ඉඩම් ලබාදෙන පුද්ගලයන් තමන්ට හිමි අක්කරයක භූමි ප්‍රමාණය වගා කර එහි අස්වනු රජයට ලබාදිය යුතුය. 

එම අස්වනු රජය මගින් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කෙරේ.

ඊට අමතරව එම වගාවන්ට අවශ්‍ය ‍පොහොර සහ අනෙකුත් ආධාර ද වැවිලි සංස්ථාව හරහා ලබාදීමට නියමිතය.

මේ අතර එම වතුවල කම්කරුවන් ලෙස සේවය කරන පුද්ගලයින්ට වගා නොකරන ප්‍රදේශවල නිවාස ඉදිකර ගැනීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට ද අදාළ කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.