Header Ads

මීතොටමුල්ල කුණු කන්දට යටවීමෙන් 30ක් මරුට: කන්ද නාය ගිය අවස්ථාවේ CCTV දර්ශන

මීතොටමුල්ල ඛේදවාචකයෙන් මේ වනවිට මියගිය ගණන 30ක් ලෙස වාර්තා වේ.

පොලීසිය පවසන ආකාරයට තවත් 6 දෙනෙකු අතුරුදන්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව තවමත් අතුරුදන්ව ඇතැයි අනුමාන කෙරෙන පුද්ගලයින් සංඛ්‍යාව 11කි.

ජීවිත දේපොළ අහිමි කරමින් මීතොටමුල්ල කසළ කන්ද එක්වරම කඩා වැටුණේ නව අවුරුද්ද උදාවී පැය කිහිපයක් ගතව යාමත් සමගිනි.

ව්‍යසනය සිදුවී දින 4 ක් ගතවෙද්දී තවමත් දහසකට අධික සහන කණ්ඩායම් සුන්බුන් ඉවත් කරමින් සිටිති.

විනාශ වූ නිවාස සමීපයේ තිබූ මාර්ගයේ කොටසක් මතුකර ගැනීමට අද ඔවුන්ට හැකිවිය.

මේ වනවිට ගණන් බලා ඇති අකාරයට විනාශ වී ඇති නිවාස ගණන 145 කි.

පවුල් 180 කට අයත් 625 දෙනෙකු අවතැන්ව සිටී.

මීතොටමුල්ලේ කාන්තාවක්

"කොළඹ නගරසභාවෙන් වැලිවේෂන් එක හදනකම් හිටපු මිනිස්සු තමයි යටවුනේ කළු බෝඩ් ගහලා තියනවා කළු නොම්බර ගහලා තියනවා ඒ ගෙවල්වල ඉන්න එපා අවදානම් කියලා අවදානම් නම් මිනිස්සු ඇයින්කරන්න ඕන යටින් ගහලා මේ ගොල්ලෝ බෙහත් එකක් ඒ බෙහෙත් එකේ විෂට තමයි ඔය උඩ ඇවිල්ලා තියෙන්නේ"

කසළ දුගඳ යටපත් කිරීම සදහා රසායනික ද්‍රව්‍යයක් යොදන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ අනුර මහතා අප කළ විමසීමේදී පිළිගත්තේය.

ඔහු පැවසුවේ මාස දෙකකට පමණ පෙර මීතොටමුල්ල කසළ කන්දට මෙම රසායන ද්‍රව්‍ය යෙදූ බව ය.

මෙම කසළ කන්ද අවට නිවාස 130 ක පදිංචිකරුවන් ඉවත් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් දී තිබේ.

එහි භූ විද්‍යා හා නායයාම් අධ්‍යන අංශ ප්‍රධානී, ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසුවේ කසළ කන්ද අවට අවදානම් කලාපයක් නම්කර ඇති බව ය.

මේ අතර මියගිය 11 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදුකෙරිණි.

මීතොටමුල්ලේ ජනතාව

"පොලිතින් එකක ගැටගලහා පෙට්ටියට බස්සලා සීල්කරලා තියෙන්නේ මේ එකක්වත් එම්බාම්කරලා නෑ මේක හරි අසාධාරණයි
මේ බොඩිය සීල් කරලා ගෙනාවේ ගෙනාවේ කොහොමද මෙතනින් වහලා මෙතනින් කපලා අපි ටෝච් එක ගහලා ඕන බොඩි එක බලන්න මේ බොඩි එක මෙතන්ට වෙනකම් පොලිතින්වලින් වහලා ටේප්කරලා තිබ්බේ ඔක්කොම මහත්තයා අපට සමාවෙන්න මෙන්න බොඩිය බලන්නකෝ මුන් කළේ කැත වැඩේ රුපියල් 1500 ක් පෙටියට යන්නේ
මියගිය 9 දෙනෙ‍කුගේ අවසන් කටයුතු සිදුකලේ කොලොන්නාව පොදු සුසාන භූමියේදී ය."

කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු එන්.කීර්ති රත්න මහතාගේ බිරිඳ, මිනිබිරිය හා බෑණා ද ඒ අතර වේ.

අද සොයා ගැනුණු රාජගිරිය ජනාධිපති විද්‍යලයේ දහවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අහමඩ් සාජික් සිසුවාගේ ඇතුළු තවත් දෙදෙනෙකුගේ අවසන් කටයුතු මාලිගාවත්තේදී සිදුකෙරිණි.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඒ අතර එකම පවුලේ දෙදෙනෙකු සිටි බව ය.

මේ අතර නීතීය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා යුද හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා සමග අද යළි ත් පැමිණ තත්ත්වය විමසා බැලුවේය.

නීතීය හා සාමය පිලිබද අමාත්‍ය සාගල රත්නායක මහතා

"අපි තව සොයන අතුරුදහන් පුද්ගලයින් සංඛ්‍යාව 6 ක් ග්‍රාම නිලධාරීතුමා කියනවා ‍මේක සියයට 90 ක් විතර නිවැරදි වෙන්න පුළුවන් කියලා අපි කියමු තව 10 ක් විතර අපි වැඩිම වශයයෙන් හොයනවා ඉතිං ඒ අනුව අද අපි කටයුතු සැලසුම්කරගෙන ඒ මල සිරුරු 6 හෝ 10 දක්වා හොයන්න අපි වැඩකටයුතු කරගෙන යනවා තව දුරට හානි වෙන්න පුළුවන් නිවාස ජීවිත තියනවා නම් ඒවා ඒ ප්‍රදේශවල ජනතාවත් අපි සුදුසු ස්ථානවලට ගෙනියනවා වී අලෙවි මණ්ඩලයේ ගොඩනැගිල්ලක් එතන්ට ගෙනියන්න කටයුතු කරනවා විශේෂයෙන් ජපානයෙන් තාක්ෂණික කණ්ඩාමක් අපි බලාපොරොත්තුවෙනවා මේ සතියේ ඔවුන් එන්නේ තවදුරටත් මෙතන තිබෙන අවධානම ගැන ඒ වගේම මේ කුණු කන්ද ඉවත්කරන්න අපට තාක්ෂණික දැනුම දෙන්න. ආවේග තියනවා මේ වෙලාවේ ඒ ආවේගවලට අපි ඉඩදෙන්න ඕන."

මේ අතර අවදානමට ලක්ව ඇති මීතොටමුල්ල 101 වත්තේ පිරිසක් තම නිවාසවලින් ඉවත්වීමට එකඟතාවය පළ කළ ලියැවිල්ලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිදෙල්පිටිය මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට අද භාර දුන්නේය.

අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ විපතය පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇති බව ය.

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක් හා දේපොළ වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 25 ක් දක්වා වන්දි ලබාදෙන බව එම නිවේදනයේ සඳහන් ය.

2016 ස්වභාවික ආපදාවලදී රටම ආවරණයවන පරිදි රක්ෂණ භාර අරමුදල හරහා ක්‍රියාත්මක රක්ෂණ ක්‍රමයෙන් වන්දි ලබාදීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබේ.

මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මැයි මස 01 වනදා සිට
නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිඳු ඉඩමකට කුණු බැහැර කිරීම තහනම් බව ය.

යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කිරීමට භූමියක් අවශ්‍ය වන්නේ නම් එම ආයතන, සතු ප්‍රතිපාදන වලින් අදාළ වියදම පියවාගත යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මීතොටමුල්ල කුණු කන්දට කසළ බැහැර කිරීම අත්හිටුවන ලෙස ත්, විකල්ප ස්ථාන හඳුනාගන් ලෙසත් කොළඹ මහනගර සභාවට උපදෙස් දී ඇතැයි අදාළ නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් වේ.

මේ අතර අද කොළඹ නගරයේ තැන තැන කසළ එක් රැස්ව තිබූ අයුරු ද දැකගත හැකිවිය.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.